අපේ ගලනාලය ආමාශයට සම්බන්ධ වන ස්ථානයේ තිබෙන කපාටය සාමාන්‍යයෙන් වැසී තිබෙනවා. අප ගන්නා ආහාර ගලනාලයේ සිට ආමාශයට ඇතුළු වනවිට මෙම කපාටය විවෘත වී ආමාශයික අම්ල කොටසක් විවෘත වූ තැනින් ඇතුළු වෙනවා. මෙය අපි හැම දෙනාටම පොදු සාමාන්‍ය තත්ත්වයක්. මේ අන්දමින් ගලනාලයට ඇතුළුවන අම්ල නිසා බොහෝ අයගේ ගලනාලයේ පටලය හානි වී රෝග ලක්ෂණ පෙන්වනවා. එවිට එය (Gastroesophageal Reflux Disease / GERD ) රෝග තත්ත්වයක් ලෙස හැඳින්වෙනවා.
GERD තත්ත්වය ඇතිවීමට හේතු තිබෙනවාද?
ආමාශයික අම්ලය ගලනාලයට ඒම පාලනය කිරීමට ඉහත සඳහන් කළ කපාටයේ ක්‍රියාකාරීත්වය, පිහිටීම වගේම ගලනාලයේ ක්‍රියාකාරීත්වයත් වැදගත්. එම තත්ත්වයේ දුර්වලතාවක් ඇතිවුණ විට පාලනයකින් තොරව ජෛව අම්ලය ගලනාලයට ඇතුළු වීම නිසා රෝගී තත්ත්වයක් ඇතිවනවා. උදාහරණයක් ලෙස Hiatus hernia තත්ත්වයේදී කපාටයේ පිහිටීම වෙනස් වීම නිසා මෙය නියමිත ලෙස වැසීමක් සිදු වෙන්නේ නැහැ. බොහෝ දෙනෙක් GERD තත්ත්වය ගැස්ට්‍රයිටිස් රෝග තත්ත්වයක් යැයි වරදවා වටහා ගන්නවා.
මෙම රෝග තත්ත්වයන් දෙක වෙන්කර හඳුනාගන්නේ කෙසේද?
GERD රෝග තත්වයේදී ගලනාලයේ පටලය ආසාදිතවීම නැත්නම් හානි සිදුවන අතර ගැස්ට්‍රයිටිස් තත්ත්වයේදී ආමාශයේ පටලයට හානි සිදුවනවා. කෙසේ හෝ වේවා ආමාශයේ ආම්ලිකතාව මේ රෝග තත්ත්වයන් දෙකටම බලපානවා. GERD රෝග තත්ත්වයේදී රෝගියා පෙන්නුම් කරන රෝග ලක්ෂණ ගැස්ට්‍රයිටිස් රෝග තත්ත්වයකදී රෝගියෙකු විසින් පෙන්නුම් කරන රෝග ලක්ෂණවලට වඩා වෙනස්. ඒ වගේම Endoscopy පරීක්ෂණයකින් ලබාගන්නා වාර්තාවන් මගින් වෛද්‍යවරයාට පැහැදිලිව රෝගය ගැන නිශ්චය කරන්න හැකියාව තිබෙනවා.
GERD රෝග තත්ත්වයේ රෝග ලක්ෂණ මොනවාද?
රෝගීන් විසින් සඳහන් කරන ප්‍රධාන රෝග ලක්ෂණ දෙකක් තිබෙනවා.
පපුව මැද ඇති වෙන දැවිල්ල (Heartburn)
ආහාර නැවත උගුරට ඒම ( Regurgitation )
මීට අමතරව පපුවේ කැක්කුම (Chest pain) සහ කැස්ස (Chronic cough ) වැනි රෝග ලක්ෂණ ඇතිවෙනවා. මෙහිදී පපුවේ කැක්කුම ගැන විශේෂ අවධානයක් යොමු කිරීම වැදගත්. පපුවේ කැක්කුම හෘදයාබාධයක් නිසාත් ඇතිවන්නත් පුළුවන්. ඒ නිසා ප්‍රථමයෙන් හෘදයාබාධයක් නොවන බව තහවුරු කරගැනීම වැදගත්. ඒ වගේම ගලනාලයට ඇතුළු වන අම්ල නිසා තවත් රෝග තත්ත්වයන් ඇතිවනවා.
දත් දිරා යෑම
සුව නොවන ඇදුම
කටහඬ වෙනස් වීම
රෝගය නොසලකා සිටියොත්
රෝගය ගැන නොසලකා සිටීම නිසා තව තවත් රෝග සංකූලතාවන් ඇතිවනවා.
1 – ගලනාලය තුවාල වීම
2 – ගලනාලය සිහින් වීම
තුවාල සුවවීමේදී ඇතිවන කැළැල් නිසා එම ස්ථාන සිහින් විය හැකියි. එවිට ආහාර ගලනාලය හරහා ගමන් කිරීම අපහසු නිසා රෝගියාට ගිලීමේ අපහසුතාවයන් ( Dysphagia ) ඇතිවීමට පුළුවන්.
පිළිකා තත්ත්වයන් ඇතිවීම
කාලයක් පුරා ගලනාලය පටලය දැඩි ලෙසින් අම්ලවලට නිරාවරණය වීම නිසා ගලනාලය ආශ්රිත සෛල වෙනස් වී පිළිකා තත්ත්වයක් හෝ Carcinoma තත්ත්වයක් ඇතිවීමටත් පුළුවන්.
මෙය අදියර කීපයකින් සිදුවන ක්‍රියාවක්
Barrett’s esophagus
High grade dysplasia
Carcinoma in situ (CIS)
Carcinoma
ඉහතින් දක්වන ලද රෝග තත්ත්වයන් අතරින් මුල් රෝග අවස්ථාවන් තුනම Endoscopy පරීක්ෂණ මගින් ප්‍රතිකාර කර සුවපත් කර ගත හැකියි. ඒ නිසා මුල් අවස්ථාවේදීම හඳුනාගැනීම වැදගත්. ඒ සඳහා Endoscopy පරීක්ෂණයට නිසි වේලාවට යොමු වීම අවශ්‍යයි.
Endoscopy පරීක්ෂණ සඳහා යොමුවිය යුතු රෝගීන් කවුද?
වයස අවුරුදු 45 ට වැඩි අය
ගිලීමේ අපහසුතාව (Dysphagia)
ශරීර බර අඩු (weight loss )
ආහාර අරුචිය (Loss of appitite )
රක්ත හීනතාව (Anemia)
දීර්ඝ කාලීනව රෝග තත්ත්වයෙන් පසුවන රෝගීන්
රෝග ලක්ෂණ ඖෂධ මගින් සුව නොවන රෝගීන්
Endoscopy පරීක්ෂණය මෙවැනි රෝගියෙකුට වැදගත් වන්නේ කෙසේද?
රෝගය නිශ්චිතව හඳුනාගැනීමට.
Endoscopy පරීක්ෂණය මගින් බොහෝ රෝගීන්ට මෙම රෝගය තිබේදැයි ස්ථිර කර ගත හැකියි. නමුත් බොහෝ රෝගීන්ට (70%) Endoscopy පරීක්ෂණයේදී කිසිදු අසාමාන්‍යතාවක් පෙන්වන්නේ නැහැ. එවැනි රෝගීන් Endoscopy negative GERD රෝගීන් ලෙස හඳුන්වා එවැනි රෝගීන්ට රෝගය තහවුරු කරගැනීම සඳහා PH Monitoring පරීක්ෂණයට යොමුකරනවා.
PH Monitoring කියන්නේ කුමක්ද?
ගලනාලයට ඇතුළු කරන කුඩා බටයක් හරහා ගලනාලයේ ආම්ලිකතාව පැය 24 ක් තුළ පටිගත කර ( Record ) එමගින් ගලනාලයේ අධික ආම්ලිකතාවක් ඇති බව හඳුනාගැනීම.
1- අධික ආම්ලිකතාවක් නොමැති අයට ගලනාලයේ ක්‍රියාකාරීත්වයට අදාළ රෝග (Functional disorders ) තිබේදැයි හඳුනාගැනීම.
2 – රෝගයේ සංකුලතා හඳුනාගැනීමට සහ ප්‍රතිකාර ලබාදීම.
රෝග ලක්ෂණ අනුව ආමාශයීය ආම්ලිකතාව අඩු කිරීමට හැකියාව ඇති ඖෂධ ලබාදෙනවා. ඒ අතර ආහාර රටාවේ යම් යම් සීමාවන් සහ පාලනයන් පවත්වා ගැනීම සඳහා රෝගියා දැනුවත් කරනවා. බොහෝ විට ආහාර මගින් ආමාශයික යුෂ උත්තේජනය වී ගලනාලය දිගේ පැමිණීම නිසා ඇතිවන අපහසුතාවන්ට පිළියමක් ලෙසින් එවැනි ආහාර පිළිබඳව සීමාවක් වගේම එවැනි ආහාර වෙනස් කිරීමට රෝගියාට උපදෙස් ලබාදෙනවා.
මෙම මූලික ප්‍රතිකාර මගින් රෝගියාට සුවයක් නොලද විට Endoscopy පරීක්ෂණයක් සඳහා රෝගියා යොමු කරනවා. සමහර අවස්ථාවලදී Endoscopy පරීක්ෂණයෙන් රෝග තත්ත්වයන් තහවුරු නොවන්න පුළුවන්. නමුත් රෝගියා රෝග තත්ත්වයෙන් පිඩා විඳිනවා නම් PH Monitoring පරීක්ෂණයට රෝගියා යොමුකරනවා.
Barrett’s esophagus තත්ත්වය ඇත්දැයි සැක ඇති වූ විට එම ස්ථානයෙන් ලබාගත් කුඩා කැබැල්ලක් ගෙන එය අන්වික්ෂයකින් ( Biopsy ) පරීක්ෂණයට යොමුකරනවා.
Biopsy මගින් High grade dysplasia රෝගය යැයි තහවුරු එය ඉවත් කර Ablation ප්‍රතිකාර සඳහා යොමුකරනවා.
ගලනාලය බිත්තියෙන් පිටතට පැමිණි ඇති මුල් අවධියේ පිළිකා තත්ත්වය Carcinoma in Situ යනුවෙන් හැඳින්වෙනවා.
මෙම තත්වයේදී Endoscopic ultrasound ( EUS ) පරීක්ෂණයකට යොමුකර ගලනාලය බිත්තියෙන් පිටතට පැතිරී නැති බවට ලබාගත් තහවුරුවෙන් පසුව එය යැයි තහවුරු වුණොත් Endoscopic Mucosal Resection (EMR ) මගින් ප්‍රතිකාර ලබාදීමට පියවර ගන්නවා.

පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️