වයස අවුරුදු 46 ක සිවුදරු මවක් වන සිරියාවතී ඉතා රූමත්, මැදිවියේ කාන්තාවක්. දරුවන් සිවු දෙනකු ලැබුවද සුරූපී තාරුණ්‍යය තවමත් ඇය හැර ගොස් තිබුණේ නෑ. ඇයටත් වඩා ඇගේ රූපය ගැන ආඩම්බර වූයේ ඇගේ ස්වාමියා වූ සිරිපාලයි. සිරිපාල වෘත්තියෙන් මේසන් බාස් කෙනකු වූ අතර තම වෘත්තිය පිළිබඳව තිබූ විශේෂිත දක්ෂතාවයත්, තමා කරන වැඩය ගැන තිබූ දැඩි කැපවීම හා වගවීමත් නිසාම ඔහුට දැඩි ඉල්ලුමක් තිබුණා. ඒ නිසාම මුදල් අතින් ඔහුට එතරම් අඩුපාඩුවක් තිබුණේ නෑ. තවද උපයන මුදල් තම පවුලේ උන්නතිය සඳහාම පමණක් වියදම් කළ නිසාත් දුම්වැටි, බුලත් විට සහ මත්පැන් වැනි විනාශකාරි දේවල් සඳහා මුදල් නාස්ති නොකිරීමත් නිසා ඔහුට සැලකිය යුතු මුදලක් ඉතිරි කිරීමටත් පුළුවන් වුණා. සිරියාවතී කලින් පර්යන්ත රෝහලක සෞඛ්‍ය සහායිකාවක ලෙස සේවය කළත් තම පළමු දරු ප්‍රසූතියෙන් පසුව එම රැකියාව අතහැර දරුවන්ගේ සහ සිරිපාලගේ වැඩ කටයුතු කරගෙන නිවසට වී සිටීමට තීරණය කළා.
ඔන්න ඔය අතරේ තමයි මේගොල්ලන්ගේ ගෙදර ඉදන් ගෙවල් කිහිපයක් එපිටින් වූ ගෙදරක මරණයක් සිදුවුණේ. ඒ ‘කමලා ටීචර්.’ ඇයට එච්චර වයසක් නෑ. වයස 48 ට සම්පූර්ණ වෙලා තිබුණේ ගිය මාසේ. කාලයක් ඈ රෝගාතුර වෙලා සිටියා. හැබැයි ගමේ කවුරුවත් දැනගෙන හිටියේ නෑ ඇයට තිබුණු අසනීපය මොකක්ද කියලා. බොහෝ කාලයකින් ගමේ අය ඇයව දැකල තිබ්බෙත් නෑ.
හිතාමතාම කමලා ටීචරුයි ඇගේ පවුලේ අයයි ගමේ අයව මගහැර හිටියා වෙන්නත් පුළුවන්. මළ ගෙදරට ගියාම තමයි දැනගන්න ලැබුණේ ඇය පියයුරු පිළිකාවකට අවුරුදු දෙකක් විතර බෙහෙත් කළා කියලා. හැබැයි අවාසනාවකට ඇගේ පිළිකාව හඳුනාගන්න කොට තරමක් ඇඟ පුරා පැතිරිලා තිබුණේ. පියයුරේ ගෙඩියක් තියෙනවා කියල දැනගෙනත් මාස තුන හතරක් යනකම්ම ඇය ඉස්පිරිතාලේ ගියේ නැත්තේ ඇගේ වැඩිමහල් දියණියගේ උසස් පෙළ විභාගය තිබ්බ නිසාලු.
“අනේ පව්! කුරා කූඹියෙකුටවත් මේ වගේ විපතක් නම් වෙන්න එපා!” මළ ගෙදරට එන බොහෝ දෙනෙක් කියන්නට වුණා.
“අපි කාටවත් මේ ගැන කිවුවේ නෑ. ඒ මේ ලෙඩේ ගැන තිබ්බ බයටයි, ලජ්ජාවටයි. එහෙම නැතිව වෙන දේකට නෙමෙයි.” ඇඬූ කඳුළෙන් ඉස්කෝලේ මහත්තය මළ ගෙදරට එන අයට කියන්නට වුණා.
“අනේ අපිට පොඩ්ඩක් හරි කිව්වා නම් මේ අමාරු වෙලාවේ පුළුවන් විදියට ගමේ අය හැටියට මොනවා හරි උදවුවක් කරනවනේ. කෑම වේලක් හරි හදලා ගෙනත් දෙනවනේ.”
ගමේ අයගේ කාරුණික හැඟුම්බර පිළිතුර එය වුණත් බොහෝවිට ශ්‍රී ලංකාව තුළ නම් සිදුවන්නේ ඊට හාත්පසින්ම වෙනස් දෙයක්. රෝගියාව වචනයෙන් හරි දිරිමත් කරනවා වෙනුවට ටොන් ගණනින් වැරදි උපදෙස් ලබාදීමේ නම් අඩුවක් නෑ. “අරක කරේ නැද්ද?” “මේක කරේ නැද්ද?” “අර වෙද මහත්තය ගාවට ගියේ නැද්ද?” ආදී වශයෙන් රෝගියා සහ පවුලේ අය නොමග යවන උපදෙස්වල නම් අඩුවක් නෑ.
මළ ගෙදර ගිහින් ආපු වෙලාවේ ඉඳන් සිරියාවතී බලාගත් අතම බලාගෙන කල්පනා කරන්න වුණා.
“මොකද සිරියාවතී මූණ එල්ලගෙන. මළ ගෙදර ගිහින් ආපු වෙලාවේ ඉඳන් හොඳටම අවුල්” සිරිපාල අහන්නට වුණා.
“අනේ පව්! කාටවත් වරදක් නැති මනුස්සයා. මොන කරුමෙකට මෙහෙම වුණාද මන්දා?”
පිළිකා හැදෙන එක තීරණය කරන්නේ තමුන් කරන පිං පව් අනුව නෙවේ. ඕනෑම කෙනෙකුට ජීවිතයේ ඕනෑම අවස්ථාවක පිළිකාවක් හැදෙන්න පුළුවන්. ගොඩක් පිළිකා හැදෙන එක වළක්වා ගන්න පුළුවන් වුණාට පියයුරු පිළිකා හැදෙන එකනම් වළක්වා ගන්න ක්‍රමයක් නෑ. හැබැයි කරන්න පුළුවන් හොඳම දේ තමයි ඒක පැතිරෙන්න ඉස්සෙල්ල හඳුනාගෙන, ශල්‍යකර්මයකින් ඉවත් කරගැනීම.
“මම අහල තියෙනවා පියයුරු පිළිකා කල් තියා හොයාගන්න පුළුවන් කියලා. මට නම් බයයි සිරිපාල, අපි ඩොක්ටර් කෙනෙක් හම්බවෙලා බලමුද?”
“ලෙඩක් නැතිව ඩොක්ටර් කෙනෙක්ව හම්බවෙන්න ඔයාට පිස්සුද? ඔන්න ඔහේ ගෙදරට වෙලා ඉන්න.”
“නෑ නෑ පියයුරු පිළිකා ලෙඩක් විදිහට මතුවෙන්න කලින් හඳුනාගන්න පුළුවන් කියලා මම අහලා තියෙනවා. එහෙම හඳුනගත්තොත් නිට්ටාවටම හොඳ කරගන්නත් පුළුවන්ලු.”
“හ්ම්! ඒකත් එහෙමද? එහෙනම් ඉතින් බලාගෙන ඉන්නෙ මොකටද හෙටම ගිහින් බලමු.”
ඔන්න ඔය විදිහට තමයි සිරියාවතීව එක්කගෙන සිරිපාල මාව හම්බවෙන්න මගේ පිළිකා සායනයට ආවේ.
“එන්න! මෙතනින් වාඩිවෙන්න. කියන්නකෝ මගෙන් මොකක්ද කෙරෙන්න ඕනේ කියලා.”
“ඩොක්ටර් මේ මගේ නෝනා. එයා ගොඩක් බයවෙලා ඉන්නේ. අපේ ගෙදර ළඟ දන්න කියන ගැහැනු කෙනෙක් මේ ඊයේ පෙරේදා පියයුරු පිළිකාවක් නිසා මැරුණා. පියයුරු පිළිකාවක් තියෙනවද නැද්ද කියල බලාගන්නයි අපි ආවේ.”
“හොඳයි නෝනගේ වයස කීයද?”
“මෙයාට දැන් හතළිස් හයක් වෙනවා.”
“මීට කලින් පියයුරු පිළිකා තියෙනවද කියල බලන්න මොනවා හරි පරීක්ෂාවන් කරලා තියෙනවද?
“නෑ ඩොක්ටර් පරීක්ෂණ කරන්න ඕනේ කියල අහල තිබුණට කරගන්න බැරි වුණා.”
“මම කියල දෙන්නම් පියයුරු පිළිකාවක් තියෙනවද කියල බලාගන්න කරන පරීක්ෂාවන් මොනවද කියලා. වයස අවුරුදු 40 පැනපු සෑම ගැහැනු කෙනෙක්ම සෑම අවුරුද්දකට වරක්ම සායනික පියයුරු පරීක්ෂාව කරගන්න ඕනේ. මම තව ටිකකින් ඒ පරීක්ෂාව කරලා දෙන්නම්. වයස
40 න් පස්සේ සෑම අවුරුදු 2කට වරක්ම මැමෝග්රැපි පරීක්ෂාව කරගන්නත් ඕනේ. සාමාන්‍යයෙන් මෙම පරීක්ෂාවත් එක්කම පියයුරු දෙකේම අල්ට්රා සවුන්ඩ් ස්කෑන් පරීක්ෂාවකුත් කරනවා. මෙම පරීක්ෂාවන් දෙක මගින් ඇහැට නොපෙනෙන අතට අහුනොවන තරමේ කුඩා පිළිකා ගෙඩි හඳුනාගන්න පුළුවන්. හැබැයි මම මේ කියපු පරීක්ෂාවන් 3 ම මාසික ඔසප්වීම වෙලා දින 7ක් 10 ත් අතර කාලයකට පස්සේ තමයි කරන්න ඕනේ.
පියයුරුවල ඝනත්වය අඩුම මේ කාලයේදී නිසා තමයි මෙම පරීක්ෂාවන් කරන්න මේ කාලය තෝරාගන්නේ. හැබැයි මාසික ඔසප්වීම සිදු නොවන ආර්ථවහරණය සිදු වූ කාන්තාවන්ගේ නම් ඕනෑම දිනක මේ පරීක්ෂාවන් 3 ම කරන්න පුළුවන්. මීට අමතරව සෑම මාසයකම ඉහත කාල පරාසය තුළ තමන් විසින් තමන්ගේ පියයුරු පරීක්ෂා කර බලාගැනීම හෙවත් ස්වයං පියයුරු පරීක්ෂාව කරගන්න ඕනේ.”
ඊළඟට සිදුවූයේ සායනික පියයුරු පරීක්ෂාවයි. ඇගේ පියයුරු පරීක්ෂා කර බැලීමේදී පියයුරුවල හැඩයේ වෙනසක්, සමේ වෙනසක්, පියයුරුවල ගැටිති හෝ ගෙඩි, තන පුඩුවලින් අසාමාන්‍ය ස්‍රාවයක් පිටවීමක් නිරීක්ෂණය වුණේ නෑ. ඉන් පසුව ඇයගේ මැමෝග්රැපි පරීක්ෂාව සහ පියයුරු දෙකේම අල්ට්රා සවුන්ඩ් ස්කෑන් පරීක්ෂාව සිදුවුණා. මෙම පරීක්ෂාවන් දෙකෙන්ම දකුණු පියයුරේ තන පුඩුවලට ඉහළින් ඉතා සැක සහිත කුඩාවට වූ ප්‍රදේශයක් හඳුනාගත හැකි වුණා. එය ඉතා කුඩා වූ නිසා පියයුරේ කිසිදු වෙනසක් බාහිරයට නිරීක්ෂණය වුණේ නෑ. ඉන් අනතුරුව සිදුකරනු ලැබුයේ ඉහත සැක සහිත ස්ථානයෙන් ස්කෑන් පරීක්ෂණයක් කරන අතර තුරදීම පටක සාම්පලයක් ලබාගැනීමයි.
එය පරීක්ෂාගාරයට යවා දින කිහිපයක් ඇතුළතදීම පටක වාර්තාව ලබාගැනීමට හැකිවුණා. ඒ වාර්තාව අනුව ඇයට තිබුණේ ආක්‍රමණශීලී නොවූ ස්ථානීය පිළිකාවක්. එයට “ඩක්ටල් කාසිනෝමා ඉන් සිටු” හෙවත් “DICS” කියාත් කියනවා. එය ආක්‍රමණශීලී නොවන පූර්ව පිළිකා අවස්ථාවක් වෙනවා. මෙයට නිසි ප්‍රතිකාර නොකළහොත් පසුකාලීනව එය ආක්රමණකාරී පියයුරු පිළිකාවක් දක්වා වර්ධනය වන්නට පුළුවන්. මේ සියලුම කරුණු ඇයට සහ ඇගේ ස්වාමි පුරුෂයාට ඉතා සරලව පැහැදිලි කර දී මෙම තත්ත්වය සුවකිරීම සඳහා ශල්‍යකර්මයක ඇති අවශ්‍යතාව පැහැදිලි කරදුන්නා. මෙහිදී සම්පූර්ණ දකුණු පියයුරම ඉවත් කිරීමට අවශ්‍යතාවක් නොමැති බවත් පියයුරේ ඇති පිළිකා ගෙඩිය පමණක් ඉවත් කළ යුතු බවත් තවදුරටත් පැහැදිලි කරදුන්නා.
ඉහත ශල්‍යකර්මය පිළිකා ශල්‍ය විශේෂඥ වෛද්‍යවරයකු ලවා කරවා දීමට කටයුතු කළා. මෙහිදී ස්කෑන් පරීක්ෂාවන් කරන විශේෂඥ වෛද්‍යවරියක ලවා මේ සඳහාම යොදාගන්නා ජීවානුහරණය කරන ලද ඉතා සිහින් කම්බියක එක් තුඩක්, අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් පරීක්ෂාවක උපකාරයෙන්, පිළිකා ගෙඩිය මධ්‍යයේ රඳවා, ස්ථානගත කර එම කම්බිය වටා ඇති පටක කොටස ඉවත්කිරීම සිදුකළා.
මෙහිදී සම්පූර්ණම පියයුර ඉවත් කිරීමට සිදුවූයේ නෑ. මෙහිදී ඉවත් කරන ලද පිළිකා ගෙඩිය පරීක්ෂණාගාරය වෙත යවා දින කිහිපයකට පසුව පටක වාර්තාව ලබාගත්තා. එහිදී සම්පූර්ණ පිළිකාවම DCIS වලින් සමන්විත වුණා. එය ‘හයි ග්‍රේඩ්’ වර්ගයට අයත් වුණා. එම පටක කොටස්වලින්ම ඊස්ට්‍රජන් ප්‍රතිග්‍රාහක (ER), ප්‍රොජෙස්ටරොන් ප්‍රතිග්‍රාහක (PR) කොපමණ ප්‍රමාණවලින් ඇත්දැයි බැලීම සිදුවුණා. මෙය ආක්රමණකාරී පියයුරු පිළිකාවක් නොවුණ නිසා Her -2- neu ප්‍රතිග්‍රාහක ඇති දැයි බැලීම සිදුකරනු ලැබුවෙ නෑ. ඊට හේතුව ආක්රමණකාරී පියයුරු පිළිකාවලදී මෙන් සායනික වැදගත්කමක් මෙහිදී නොමැති වීමයි.
දින කිහිපයකින් ඉහත පරීක්ෂාවන්ගේ ප්‍රතිඵල ලැබුණ අතර එහි ප්‍රතිඵලය වූයේ පිළිකාවේ සෛල ER 8/8 ක් (Positive) වීමත් PR 8$8 ක් (Positive) වීමත් ලෙස ඇති බවට අනාවරණය වීමයි. මින් අනතුරුව ඇයගේ සම්පූර්ණ දකුණු පියයුරටම විකිරණ ප්‍රතිකාරය ලබාදුන්නේ, ඇයගේ පූර්ව පිළිකා තත්ත්වය ‘හයි ග්‍රේඩ්’ වර්ගයට අයත් වීමත්, ඇය තවමත් වයස 46 ක් වැනි තරුණ වියේ පසුවීමත් නිසායි. ඉන් අනතුරුව හෝමෝන ප්‍රතිකාරය ලෙස ටැමොක්සිපේන් නම් ඖෂධය ලබාදුන්නේ අලුත් පූර්ව පිළිකා තත්ත්වයක් හෝ ඉහත DCIS තත්ත්වය නැවත මතුවීමත් වළකාලීමටයි. ඉහත හෝමෝන ඖෂධය අවුරුදු 5 ත් 10 ත් අතර කාලයකට ලබාගත යුතුව තිබුණා.
ටැමොක්සිපේන් ගන්නා විට ඒ කාලය තුළදී ගර්භණීතාවයකට පත් නොවිය යුතු බවත් අසාමාන්‍ය යෝනී ශ්රාවයක් සිදුවෙන්නේ නම් වහාම දැනුම් දිය යුතු බවටත් සාකච්ඡා වුණා. තවද අධික ලෙස ලේ නහරවල හෝ මස් පිඬුවල වේදනාවක් ඇතිවන්නේ නම් වහාම රෝහලට පැමිණ විස්තර සපයා දිය යුතුව තිබුණා. එහිදී ලේ නහරවල ලේ කැටි ඇත්දැයි ස්කෑන් පරීක්ෂණයක් කර දැනගත යුතු වෙනවා.
ඇසට නොපෙනුණ, අතට හසු නොවූ පියයුරු පිළිකාව මෙලෙස හඳුනාගැනීමට හැකිවූයේ මැමෝග්රැපි පරීක්ෂාව නිසයි. ඉන් පසු සිරියාවතී නිසි කලට මැමෝග්රැපි පරීක්ෂාව සිදුකර ගත්තා. ඇගේ පිළිකාව නිට්ටාවටම සුව වූවා. ඇය පියයුරු පිළිකාව පරාද කළේ ප්‍රමාදයකින් තොරව, පැතිරීමට කලින් පියයුරු පිළිකාව හඳුනාගෙන ඒ සඳහා සම්මත ප්‍රතිකාරයන් නිසි ලෙසට කරගත් නිසයි.මෙම ලිපිය කියවන ඔබ වයස අවුරුදු 40 ට වැඩි කාන්තාවක් නම් වසර දෙකකට වරක් මැමෝග්රැපි පරීක්ෂාව කරගන්නවා නේද?
හරින්දී ලියනගේ ✍️