“වැරිකෝස් වේන්ස් ‘එහෙම නැත්නම් බොහෝ දෙනෙකුගේ කට වහරට හුරු “නහර ගැට ගැසීම” වැඩි වශයෙන්ම පාද ආශ්‍රිතව බහුලව දක්නට ලැබෙන රෝග තත්ත්වයක්’ ඒ වුණත් මෙය ශරීරයේ වෙනත් ස්ථානවලත් ඇති වීමට පුළුවන්.
නහර ගැට ගැසෙන්නේ ඇයි?
පාදවල සිට රුධිරය හෘදය වස්තුවට ගෙන යන නාල ධමනි ලෙසත් හෘදය වස්තුවෙන් නැවත රුධරය ගෙන යන නාල ශිරා ලෙසත් හැඳින්වෙනවා. ශිරා මගින් අපිරිසිදු රුධිරය ශරීර පර්යන්තයේ සිට හෘදය වස්තුව වෙත ගෙන ගොස් එම රුධිරය පෙනහලුවලට යොමු කර නැවත පිරිසිදු වන රුධිරය ශරීරය පුරා බෙදා හරිනු ලබනවා. මේ අන්දමින් එක් දිශාවකට රුධිරය ගමන් කිරීම සඳහා ශිරා ඇතුළත කපාට (Valves) පිහිටා තිබෙනවා.
අපේ පාදවල සිට අපිරිසිදු රුධිරය හෘදය වස්තුව කරා ගෙන යෑමේ ක්‍රියාවලිය සාමාන්‍යයෙන් සිදු වෙන්නේ ගුරුත්වාකර්ෂණයට විරුද්ධ විදිහටයි. පහළ සිට ඉහළට රුධිරය ගෙන යෑමේදී මුලින් සඳහන් කළ පරිදි ගුරුත්වාකර්ෂණයට විරුද්ධ ක්‍රියාවලියක් සිදු වෙනවා. ඒ නිසා කපාට දුර්වල වුණොත් රුධිර ගමනාගමනය නිසි පරිදි සිදුවන්නේ නැහැ.එසේ ගෙන යන විට කපාට මගින් රුධිරය ආපසු පහළට ඒම වළක්වනවා. මේ අන්දමින් රුධිරයේ කාන්දු වීම වළක්වන ශිරා රාශියක් තිබෙනවා.
- මතු පිටින් දක්නට ලැබෙන ශිරා
- මාංශ පේෂි අභ්‍යන්තරයේ ඇති ශිරා
මතු පිටින් දක්නට ලැබෙන ශිරා
මතුපිටින් දක්නට ලැබෙන සියලුම ශිරා අවසානයෙදී ඉකිලිය ප්‍රදේශයේදී අභ්‍යන්තර ශිරාවට සම්බන්ධ වෙනවා. මේ සම්බන්ධ වෙන තැනත් ප්‍රධාන කපාටයක් තිබෙනවා. මීට අමතරව මෙම මතුපිට ශිරාවල දිගටම කපාට පිහිටා තිබෙනවා. එම කපාටවලින් රුධිරය ආපසු ඒම වළක්වනවා. බැරිවෙලාවත් එම කපාට දුර්වල වුණොත් ශිරාවට දරා ගැනීිමට අපහසු නිසා රුධිර කඳක් එම ශිරාවේ එකතු වෙනවා. එවිට එම ශිරාව දඟර ගැහෙනවා. මේ අන්දමින් දඟර ගැසෙන ශිරාව අපි “ වැරිකෝස් වේන්ස් ” යනුවෙන් හඳුන්වනවා.
නහර ගැට ගැසෙන්නේ ඇයි? යන්නට දැන් පිළිතුර ඔබ වෙත ලැබී ඇති. බොහෝ වේලා සිට ගෙන සිටීම නහර ගැට ගැසීමට හේතුවක් යැයි ඔබ සිතනවා ඇති. වැරිකෝස් වේන්ස් තිබෙන අය බොහෝ වේලාවක් සිට ගෙන සිටින අයට නහර ගැට ගැසෙන්න වැඩි ඉඩක් තිබෙනවා. උදාහරණයක් ලෙස සඳහන් කළොත් පොළිස් නිළධාරීන්, ශල්‍ය වෛද්‍යවරුන්, ගුරුවරුන් දවසේ දිගු වේලාවක් සිට ගෙන සිටින නිසා ඔවුන්ගේ පාදවල නහර ගැට ගැසීමට වැඩි ඉඩක් තිබෙනවා.
නහර ගැට ගැසීමේ සංකුලතාවන් මොනවාද?
බොහෝ අයට නහර ගැට ගැසීම නිසා ඇති වෙන අවලස්සන බව මානසිකව පීඩනයක් බවට පත් වී තිබෙනවා. නමුත් ගැට ගැසුණ නහරවල වේදනාවක් හෝ ඉදිමුමක් හෝ නැත්නම් ඒ ගැන එතරම් සැලකිය යුතු නැහැ.
ඒත් සංකුලතාවයක් ඇති අවස්ථා තිබෙනවා
නහර ගැට ගැසීම නිසා සමහර විටෙක අපට අතුරු අපහසුතාවන් ඇති වීමට ඉඩ තිබෙනවා. එවැනි අවස්ථාවකදී නම් නහර ගැට ගැසීම ගැන නොසලකා සිටින්න බැහැ. මුලින් සඳහන් කළ අන්දමට දඟර ගැසුණ නහරය තුනී වෙලා හදසියේම පුපුරන්න පුළුවන්. එවැනි අවස්ථාවකදී පිපිරුණ තැනින් ලේ විදින්න පුළුවන්.
ඒ වගේ අවස්ථාවක් ඇති වුණොත්?
මේ විදිහට විශාල වශයෙන් රුධිරය ගලනවා නම් කකුල ඉහළට ඔසවා තබා එතැනට වෙළුම් පටියක් යොදන්න. සමහර විටෙකදී මුලින් සඳහන් කළ අන්දමේ ලේ වහනයක් නොවෙන්න පුළුවන්. නමුත් ඒ නහර ගැට ගැසුණ තැන් ඉදිමෙන්න පුළුවන්. පාදවල අපිරිසිදුකම නිසා විෂබීජ ගැටී අදාළ ස්ථානය කසන්න, සම ගැලවී යෑම වගේම කුෂ්ටයක් වැනි තත්ත්වයන් ඇති වීමට පුළුවන්. කොහොම වුණත් දියවැඩියාව සහ රුධිරය කැටි ගැසීමේ දුර්වලතාවන් ඇති රෝගීන් මෙහිදී වැඩි අවධානයක් යොමු කිරීම වැදගත්. දියවැඩියා රෝගීන්ගේ තුවාල සුව වීමට කාලය ගත වෙනවා. ඒ වගේම රුධිරය කැටි නොගැසෙන රෝග තත්ත්වයන් ඇති විටෙකදී අධික ලෙසින් රුධිරවහනය සිදු වීමට පුළුවන්. එවැනි අවදානම් තත්ත්වයන් ගැනත් වැඩි සැලකිල්ලක් දැක්වීම අවශ්‍යයි.
ලබා දෙන ප්‍රතිකාර
නහර ගැට ගැසීමට විවිධ ප්‍රතිකාර ලබා දෙනවා. අදාළ ගැට ගැසුණ තැනට Injection ලබා දී වෙලුම් පටි යොදා දින 14 කින් වෙළුම් පටි ඉවත් කරනවා. ඒ වගේම ඉකිලියේ කපාටය දුර්වල නම් නැවතත් නහර ගැට ගැසෙන්න පුළුවන්. ශල්‍යකර්ම මගින් නහර ගැට ගැසුණ තැන් ඉවත් කළත් අභ්‍යන්තර සහ බාහිරව ඇති ශිරා සම්බන්ධිකරන සම්බන්ධීකාරක ශිරා අඩපණ විමෙන් නැවතත් නහර ගැට ගැසන්න පුළුවන්.
අද වන විට ලේසර් තාක්ෂණයෙන් නහර ගැට ගැසීමට ප්‍රතිකාර තිබෙනවා. ඒවා සාර්ථකයි. එවැනි ප්‍රතිකර්ම මගින් නිට්ටාවටම සුවය ලබන්න පුළුවන්. ඇතැම් පුද්ගලයන්ගේ දණහිසට පහළින් නිල් පාට වුණ මකුලුවන් වගේ ගැට ගැසුණ නහර දකින්න ලැබෙනවා. මේවාට ප්‍රතිකාර කළ යුතු නැහැ.
ගර්භණී කාලයේදී දරුවා වැඩෙන විට ඇති වෙන බර පාදවලට දරා ගැනීමේ ඇතිවන වෙහෙස නිසා නහර ගැට ගැසෙනවා. නමුත් මේ නහර ගැට ගැසීම තාවකාලිකයි. දරුවා ලැබීමෙන් පසුව නැවතත් එය යථා තත්ත්වයට පත් වෙනවා. නහර ගැට ගැසීමට ජානගත සම්බන්ධතාවක් නැති වුණත් බොහෝ විට එකම පවුලේ අය අතර නහර ගැට ගැසීමේ රෝග තත්ත්වයන් සුලබව දක්නට ලැබෙනවා.
පුන්‍යා චාන්දනී ද සිල්වා