දරුවන් කියන්නෙ කුතුහලයෙන් පිරුණ, දකින දකින දේ ගැන විමසිල්ලෙන් සිටින පිරිසක්. ඒ නිසාම වැඩිහිටියන් නොදකින පුංචි වස්තු පවා දරුවන්ගේ ඇස ගැටෙනවා. ඒ වගේම ඔවුන් ඇසට දකින සහ අතට හසුවෙන දේ කටේ දමා ගැනීමටත් දක්වන උනන්දුව නිසාම බොහෝ විට දරුවන් මුල් කරගත් අනතුරු සිදුවන්න පුළුවන්.
වයසක් නැහැ
තොටිල්ලේ සිටින විට නම් දරුවාගේ ලෝකය බොහොම සිමිතයි. ඒ නිසා දෙමවුපියන්ට බොහොම පරිස්සමෙන් දරුවා රැක බලා ගන්න පුළුවන්. ඒත් තොටිල්ලේ ලී වැටෙන් පිටතට පැමිණි වයසේ පටන් එනමි වයස අවුරුදු 1 සිට 5 දක්වා වූ කාලයේදී ඔවුන් තමන්ගේ අතට අසුවන දේවල් කටේ දා ගන්නවා. විශේෂයෙන් දණ ගාන වයසේ දරුවකුට බිම වැටී තිබෙන පබළු ඇටයක්, වීදුරු බෝලයක් විතරක් නොවෙයි සමහර විට බොත්තම්, බැටරි පවා කටට දාගන්න පුළුවන්. මේවා දරුවා ගිලීම නිසා ශ්වසන මාර්ගයේ හිර වුණොත් හුස්ම ගැනීම පිළිබඳ ගැටලු ඇතිවන්න පුළුවන්. ඒ නිසා මවුපියන් විදිහට ඔබ දරුවා අහුලාගෙන කටේ දා ගැනීමට හැකියාවක් ඇති අවදානම් දේවල් හැකිතාක් දුරට දරුවාගෙන් ඈත් කර තැබීම ඉතාම වැදගත්.
අපි හිතන්නේ ලොකු දේවල් ගැනයි
ළදරු වයසේ දරුවකුට මිදි ගෙඩියක් එහෙමත් නැත්නම් කුඩා මස් කැබැල්ලක් වුණත් හිර වී හුස්ම ගැනීමේ අපහසුතාවන් ඇතිවීමට ඉඩ තිබෙනවා. ඒ නිසා මවුපියන් විදිහට ඔබ දරුවාට ආහාර ලබා දීමේදී මේ ගැනත් වැඩි අවධානයක් දැක්වීම ඉතාම වැදගත්.
● මිදි වැනි පලතුරු කුඩා කැබලිවලට සකස් කර දෙන්න.
● තද එළවළු පිසීමෙන් පසුව පොඩි කරන්න.නැත්නම් අඹරන්න.
● ඇට වර්ග සහ වෙනත් තද ආහාර දරුවාට දීමෙන් වළකින්න.
● දරුවාට සෙල්ලම් බඩු තෝරන විට වයස පිළිබඳව ලබා දී තිබෙන නිර්දේශ අනුගමනය කරන්න.
● බැටරියෙන් ක්‍රියා කරන, බිඳෙනසුළු මතු පිටක් ඇති සෙල්ලම් බඩු දරුවාට ලබා දෙන්න එපා.
● නිරාවරණය වුණ පුළුන් සහ ලිහිල් ඉස්කුරුප්පු ඇණ සහ බොත්තම් නිසා දරුවාට අවදානමක් ඇති වීමට පුළුවන්.
● නිවසේ තිබෙන අවදානම් දේවල්, කුඩා දේවල් දරුවාට සමීප වීමට නොහැකි උසකින් තබන්න.
ඇහැ ගහගෙන හිටියත් බැහැ
සමහර විට ඔබ ඇහැ වගේ දරුවා රැක්කත් හදිසියේ හෝ ඇතිවන සුළු ප්‍රමාදයක් නිසා දරුවා යමක් ගිලින්න පුළුවන්. ඒ නිසා දරුවාගේ හුස්ම හිරවන තත්ත්වයක් ඇතිවීමටත් ඉඩ තිබෙනවා.
දරුවා යමක් ගිල ඇති බව හඳුනා ගන්නේ කොහොමද?
සාමාන්‍යයෙන් දරුවා බිම වැටී තිබුණ දෙයක් ගිලීම ඔබ දුටුවේ නැතැත් වෙනත් අයකු දකින්න පුළුවන්. එවැනි අවස්ථාවකදී දරුවාට කැස්ස තත්ත්වයක් හෝ හුස්ම හිරවන ගතියක් ඇතිවනවා. කැස්ස ඇති වුණොත් ඔබට යම් සැකයක් ඇති වෙනවා. ඒ වගේම දරුවා තුළ දකින දේ කටේ දමා ගැනීමේ පුරුද්දක් ඇතිවිට වගේම රෝග තත්ත්වයක් නොමැතිව කැස්සක් ඇති වුණොත් ඒ ගැන විමසිලිමත් වීම ඉතාම වැදගත්.
ශ්වසන මාර්ගය අවහිර වුණොත්?
ආගන්තුක යමක් ගිලීම නිසා දරුවාගේ ශ්වසන මාර්ගය අවහිර වුණොත් දරුවා වෙනදා නොමැති අන්දමට දරුණු ලෙස කහින්න පුළුවන්. ආශ්වාස කරන විට අධික ලෙසින් ශබ්දයක් ඇසීම, කැස්ස සහ හුස්ම ගැනීමේ අපහසුතාව තවත් වැඩි වී දරුවාට අඬන්නට පවා නොහැකිව සුදුමැලිවීම හෝ නිල් පැහැයට හැරෙන්න පුළුවන්.
උගුරේ හිරවුණ දේ ගන්නේ කොහොමද?
දරුවා උගුරේ යමක් හිර කරගත් විට මවුපියන් තමන්ගේ ඇඟිල්ල දරුවාගේ උගුරට යවා දරුවා ගිලගත් දේ පිටතට ගැනීමට උත්සාහ කරනවා. මෙය පහසුවෙන් පිටතට ගැනීමට නොහැකි විට තව තවත් ගැඹුරට ඇඟිල්ල යනවා. ඒ නිසා දරුවාගේ උගුර තුවාල වෙනවා. දරුවා කහිනවා නම් ඒ සමග හිරවුණ දේ පිටතට ඒමටත් හැකියාවක් තිබෙනවා. සමහරවිට දරුවාගේ හිර වී තිබෙන ද්‍රව්‍ය පිටතට ඒමට තරම් කැස්ස ඵලදායී නොවනවා නම් වෙනත් කෙනකුගේ උදව් ලබා ගන්න.
දරුවාගේ සිහිය හොඳින් තිබෙනවා නම් දරුවා මුනින් අතට හරවා පිටට තට්ටු කරන්න.දරුවාගේ වයස අවුරුද්දකට වඩා අඩු නම් ඔබ බිම වාඩි වෙන්න. දරුවාගේ මුහුණ ඔබේ කලවා මත හෝ බාහුවේ තබා ගන්න. ඔබේ අතින් දරුවාගේ පිටට සහ ඔළුවට ආධාරකයක් දෙන්න. දැන් උරහිස් අතරට ඔබේ අත්ලෙන් පස් වතාවක් තට්ටු කරන්න.
දරුවාගේ වයස අවුරුද්දට වඩා වැඩි නම් දරුවාගේ මුහුණ ඔබේ උකුල මත තබාගන්න. එය අපහසු නම් දරුවා මුනින් අතට දිගා කරන්න. දැන් පිටුපසින් පස් වතාවක් තට්ටු කරන්න. මේ අන්දමින් තට්ටු කරලත් දරුවා විසින් ගිලින ලද දේ පිටතට නොපැමිණියහොත් දරුවා තවම සිහියෙන් සිටිනවා නම් පපුවට තෙරපුම් පහක් ලබා දෙන්න. එවිට ඇතිවන කෘත්‍රිම කැස්ස නිසා ශ්වසන මාර්ගයේ හිර වී ඇති දේ පිටතට පැමිණීමට පුළුවන්.
වයස අවුරුද්දකට වඩා අඩු දරුවකුට පපු තෙරපුමක් ලබාදෙන්නේ කොහොමද?
දරුවාගේ වයස අවුරුද්දට වඩා අඩු නම් පපු තෙරපුමක් ලබා දීම එතරම් පහසු නැහැ. දරුවාගේ මුහුණ ඔබේ කලවා මත තබා ගන්න. දරුවාගේ පපු ඇටය මත ඔබේ මැද ඇඟිලි දෙක තබා තදින් පපුවට තෙරපුමක් ලබාදෙන්න. මෙය තදින් කරන්න. පපුව ප්‍රදේශයට පීඩනය ලබා දුන්නත් බල ඇට ප්‍රදේශයට අනවශ්‍ය ලෙසින් පීඩනයක් ලැබුණොත් එය අනතුරුදායක විය හැකියි.ඒ වුණත් තවමත් දරුවා විසින් ගිලින ලද දේ ඉවතට නොගියොත් දරුවා සිහියෙන් සිටිනවා නම් දිගින් දිගටම පිටට පහර දෙන්න. ඒ අතරිම පපු ප්‍රදේශය හෝ උදරයට පීඩනය ලබා දෙන්න.
මේ අවස්ථාවේදී තවත් කෙනෙකුගේ උදව් ඉල්ලා සිටින්න. ඒත් දරුවා තනියම තබා ගැනීම සුදුසු නැහැ. නැවතත් පිටට පහර දීම සහ පපු ප්‍රදේශයට පීඩනය ලබා දෙන්න. මේ උත්සාහයන් නිසා ගිලින ලද දේ පිටතට පැමිණියත් වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු වීම වැදගත්. ඔබ දැඩි උත්සාහයකින් යුතුව දරුවා විසින් ගිලින ලද දේ පිටතට ගත්තත් එහි කොටසක් සමහර විට රැඳී තිබෙන්න පුළුවන්.
ඒ වගේම ඔබ විසින් මෙතෙක් සිදු කරන ලද ක්‍රියාවලිය නිසා දරුවාට යම් තුවාලයක් වීමටත් ඉඩ තිබෙනවා. ඔබ සමහර විට ළදරුවකුගේ මවුපියන් වීමට පුළුවන්. ඒ නිසා දරුවා යමක් හිර කරගත් වේලාවක ඒ වෙනුවෙන් ලබා දිය හැකි ප්‍රතිකාර තිබෙනවා.
ඒ නිසා දරුවෙක් යමක් හිර කරගත් අවස්ථාවකදී ලබා දිය යුතු ප්‍රථමාධාර ගැන දැනගැනීම වැදගත් වනවා. එවිට හදිසියේ හෝ ඔබේ දරුවා යම් අනතුරක් කරගත් අවස්ථාවකදී ලබා දිය යුතු මූලික ප්‍රථමාධාර හඳුනාගැනීමෙන් දරුවාගේ ජීවිතය ආරක්ෂා කරගැනීමේ හැකියාව ඔබට ලැබෙනවා.
● පුන්‍යා චාන්දනී ද සිල්වා