උණ, වියළි කැස්ස, හිසරදය, වමනය, පාචනය වැනි රෝගි තත්ත්වයන් මේ දවස්වල අපට නිතරම අහන්න ලැබෙනවා. ඒ වගේම බොහෝ දෙනෙක් මේ රෝග තත්ත්වයන් ඇතිවුණාම ඒ සියල්ල ‘වෛරස් වෙන්නැති’ කියන නිගමනය තමන් විසින්ම ගන්නවා. ඒ විතරක් නොවෙයි පස් පංගුව, එහෙම නැත්නම් පැරසිටමෝල් මාත්‍රාවක් බිව්වාම හරි යාවි කියන තැන නැවතිලා වෛද්‍ය ප්‍රතිකාර නොලබා ගෙදරට වී සිටිනවා.
නමුත් මේ දිනවල කොළඹ ජාතික රෝහලේ ක්ෂුද්‍ර ජීවී අංශයෙන් ලබාගත් චිකිත්සාගාර වාර්තාවන්ට අනුව නම් මුලින් සඳහන් කළ අපහසුතාවන් වෛරස් උණ කියන ගොණුවට බැර කරලා නිහඬ වෙන්න බැහැ.
දැනට ප්‍රතිකාර වෙනුවෙන් යොමුවුණ රෝගීන්ගේ රසායනාගාර වාර්තාවන්ට අනුව මී උණ (Leptospirosis),ඉන්ෆුලුවන්සා ( Influenza ), ක්ෂය රෝගය(Tuberculosis ), උණ සන්නිපාතය (Typhoid fever ), කොවිඩ් 19 සහ පාංශු උණ ( Meliodosis) වැනි රෝගීන්ගේ වාර්තා වීම තරමක් වැඩිවෙලා තිබෙනවා.
ප්‍රවේසම් වෙන්නේ කොහොමද?
මී උණ වගේම පාංශු උණ නීරෝගී පුද්ගලයන්ටත් වැළඳීමට ඉඩක් තිබෙනවා. පුංචි දරුවන්ට වුනත් මී උණ හැදෙන්න අවස්ථා නැතුවාම නොවෙයි. පාංශු උණ ගැන සඳහන් කරනවා නම් දියවැඩියා රෝග තත්ත්වය පාලනයක් නොමැති රෝගීන්ට ඉහළ අවදානමක් තිබෙන බවත් සඳහන් කරන්න පුළුවන්.
රසායනාගාර වාර්තා මගිනුත් ඉහත රෝග තත්ත්වයන් ගැන තහවුරුවක් ලැබී තිබෙනවා නම් ඒ ගැන නොසලකා සිටින්න බැහැ. විශේෂයෙන් දියවැඩියා රෝගීන් තමන්ගේ රෝග තත්ත්වය හොඳින් පාලනය කරගැනීම වැදගත්. එහෙම නැතිවුණොත් මෙවැනි රෝග තත්ත්වයන්ට ගොදුරුවීමේ වැඩි අවදානමක් වගේම රෝගය නිසා ඇතිවිය හැකි අතුරු සංකුලතාවන්ද ඉහළ බවත් සඳහන් කරන්නම වෙනවා.
මී උණ සහ පාංශු උණ හැදෙන්නේ කොහොමද?
ඉහත සඳහන් කළ රෝග තත්ත්වයන් දෙකම බැක්ටීරියාවක් නිසා ඇතිවනවා. ඔබ මඩ සහිත තැනක වැඩ කරනවා නම් විශේෂයෙන් කොහිල කොටු වගේ ස්ථාන, ඉදිකිරීම් කරන ස්ථානයේ මඩ සහිත නම් ආරක්ෂිත බූට්ස් දෙකක් පාවිච්චි කරන්න.
මේ මඩ අංශුවල තිබෙන ඇසට නොපෙනෙන බැක්ටීරියා ඔබේ කකුලේ තිබෙන පුංචි තුවාල ඔස්සේ සිරුරට ඇතුලු වෙලා ඔබට මරණය පවා ඇතිකරන තරමටම දරුණු වීමට පුළුවන්.
මී උණ රෝග ලක්ෂණ
- හිසරදය.
- තද උණ.
- තද පාටට මුත්‍රා පිටවීම.
- ඇස් රතු වීම.
මී උණ රෝග තත්ත්වය උත්සන්න වුණොත් මොළයේ උණ වගේම වකුගඩු අක්‍රිය කරන්න පුළුවන්.
ඒ නිසා ඔබ මඩට බහින්න කලින් බූට්ස් පැළඳීම වගේම පදිංචි ප්‍රදේශයේ MOH මධ්‍යස්ථානයෙන් Doxcyline කරලක් ලබාගෙන සතියකට වතාවක් පාවිච්චි කරන්න.
පාංශූ උණ රෝග ලක්ෂණ
- දිගු කාලයක් තිබෙන උණ.
- සුව නොවන තුවාල.
- ආහාර අරුචිය.
- බර අඩු වීම.
පස් ආශ්රිත වැඩකරන පුද්ගලයන්ට පාංශූ උණ වැළඳීමට වැඩි අවදානමක් තිබෙනවා.
Influenza A රෝග ලක්ෂණ
- හදිසියේම ඇතිවන තද උණ.
- හිසරදය.
- මස්පිඩු වේදනාව.
- උගුරේ අමාරුව.
- හුස්ම ගැනීමේ අපහසුතාව.
- වියළි කැස්ස.
මේ රෝග ලක්ෂණ Influenza A රෝග තත්ත්වයේදී අඩු වැඩි වශයෙන් දකින්න පුළුවන්. ඒ වගේම කොවිඩ් 19 රෝග තත්ත්වයේදීත් මේ රෝග ලක්ෂණ දකින්න ලැබෙනවා. වැස්ස සහ වියළි කාලගුණය නිසා මේ වෛරස් වේගයෙන් පැතිරීම සිදුවනවා.ඒ නිසා නැවත මුව ආවරණ පැළඳීම, අත් සේදීම වගේම සෙනග ගැවසෙන තැන්වලින් හැකිතාක් දුරස්ව සිටීමත් වැදගත්.
උණ සන්නිපාතය
Salmonella විෂබීජය නිසා පැතිරෙන උණ සන්නිපාත රෝග තත්ත්වය විෂබීජ මගින් ශරීරගත වෙනවා. ඒ නිසා ඔබ පානය කරන ජලය වගේම ආහාර ගැනත් සැලකිළිමත් වෙන්න.
උණ සන්නිපාත රෝග ලක්ෂණ
- උණ.
- පාචනය.
- බඩේ කැක්කුම.
- සිහිමද ගතිය.
මෙවැනි රෝග ලක්ෂණ තිබෙනවා නම් ප්‍රමාද කරන්න එපා. හැකි ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමුවන්න. ඒ වගේම මේ දිනවල නිවසේදීම පිළියෙළ කරගත් ආහාරපාන පමණක් ආහාරයට ගන්න. උණුකර නිවාගත් ජලය පානය කරන්න. කඩවල්වලින් කෑම ගැනීමේ අවදානමක් තිබෙන නිසා මේ ගැනත් සැලකිළිමත් වීම වඩාත් යෝග්‍යයි.
ක්ෂයරෝගය: Tuberculosis ( TB )
බැක්ටීරියාවක් නිසා ඇතිවන ක්ෂය රෝගයේ රෝග ලක්ෂණ ගැනත් සඳහන් කිරීම වැදගත්.
- සති දෙකකට වඩා පවතින කැස්ස.
- ආහාර අරුචිය.
- සිරුර කෙට්ටු වීම.
- රාත්‍රි කාලයේදී වෙව්ලා උණ ගැනීම.
ඔබට මෙවැනි රෝග ලක්ෂණ තිබෙනවා නම් ප්‍රතිකාර ලබා ගැනීම තව දුරටත් කල් තබන්න එපා. ඔබ පදිංචි ප්‍රදේශයට සමීප රෝහලෙන් හෝ දිස්ත්‍රික් ළය රෝග සායනයෙන් සෙම් පටල පරීක්ෂාවක් නොමිලේම සිදු කරගැනීමට හැකියාව තිබෙනවා. ඒ වගේම ක්ෂය රෝගය නිසා ප්‍රතිකාර ලබාගැනීමෙන් සුව කරගත හැකියි.
ඉහතින් සඳහන් කරන ලද රෝග තත්ත්වයන් නිසා මේ වන විටත් අවාසනාවන්ත ලෙස රෝගීන් කීප දෙනකුම මරණයට පත්වුණා. රෝගය පැතිරීමත් වැඩිවන ප්‍රවණතාවයක් අපට දකින්න ලැබෙනවා. ඒ නිසා මෙවැනි රෝග ලක්ෂණ තිබුණොත් ඒ ගැන නොසලකා සිටීම වගේම ප්‍රතිකාර ලබාගැනීම කල් තබන්න එපා.
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️