හියුමන් පැපිලෝමා වෛරසයේ (Human papiloma virus) ප්‍රභේද 1000 කට වඩා වැඩියි. මේ අතර ලිංගික ප්‍රදේශවල ඉන්නන් ඇතිවීම බොහෝ විට සිදුවන්නේ හියුමන් පැපිලෝමා වෛරසයේ 6 සහ 11 යන ප්‍රභේද නිසා. මේවා ලිංගිකව සම්ප්‍රේෂණය වන වෛරස ප්රභේදයන් වෙනවා. ඒ වගේම හියුමන් පැපිලෝමා වෛරස 30 ක් පමණ හේතුවෙන්ද ලිංගික ඉන්නන් ඇතිවනවා. මේ ඉන්නන් බොහෝ විට ලිංගිකව සම්ප්‍රේෂණය වෙනවා. ඒ වගේම හියුමන් පැපිලෝමා වෛරසයේ 16 සහ 18 වන ප්‍රභේද ගැබ්ගෙල පිළිකා ඇතිවීමටද බලපානවා.
රෝග ලක්ෂණ මොනවාද?
හියුමන් පැපිලෝමා වෛරසය සම්ප්‍රේෂණය වුණ බොහෝ රෝගීන් රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නැහැ. මෙය ප්‍රතිශතයක් විදිහට සඳහන් කළොත් 80%-90% ක් අතර පිරිසක්. නමුත් සමහර රෝගීන්ගේ වෛරසය සම්ප්‍රේෂණය වී මාස 9 ක් පමණ ගත වනවිට ලිංගික ප්‍රදේශයේ කුඩා ගැටිති හෝ ඉන්නන් ඇතිවනවා. කලාතුරකින් මේවා ගෝවා මලක අකාරයේ විශාල ඉන්නන් පොකුරු ලෙස දකින්න ලැබෙනවා. නමුත් රෝගියාගේ ප්‍රතිශක්තිය අනුව ඉන්නන් සංඛ්‍යාව සහ විශාලත්වය තීරණය වෙනවා.
ලිංගික ඉන්නන් සඳහා ප්‍රතිකාර මොනවාද?
සමහර විට මෙම ඉන්නන් ප්‍රතිකාර නොමැතිව සුවවනවා. ඒ වෙනුවෙන් වසරක් හෝ දෙකක් පමණ කාලයක් ගතවනවා. නමුත් ලිංගික ප්‍රදේශයේ තිබෙන ගැටිති හෝ ඉන්නන් ඉක්මනින් ඉවත් කිරීමට අවශ්‍ය නම් ඒ වෙනුවෙන් ප්‍රතිකාර ගනණාවක් තිබෙනවා. එපමණක් නොවේ දිවයිනේ දිස්ත්‍රික්ක 25 ම ආවරණය වන පරිදි රජයේ රෝහල්වල පිහිටා ඇති ලිංගාශ්‍රිත රෝග සායන මඟින් ඒ සඳහා සුදුසු ප්‍රතිකාර ලබාගන්නටත් අවස්ථාව තිබෙනවා.
ලිංගික ප්‍රදේශයේ ඇතිවන සියලුම ගැටිති ඉන්නන්ද?
නැහැ. බොහෝ අවස්ථාලදී ලිංගික ප්‍රදේශවල තිබෙන සමහර තත්ත්වයන් (උදාහරණ ලෙස Fordyce sports, Pearly penile,papillae,Seborotreoc, Kerotinosis වැනි තත්ත්වයන් ) ලිංගික ඉන්නන් ලෙසින් වරදවා වටහා ගන්නා අවස්ථා තිබෙනවා. ඒ නිසා ලිංගික ප්‍රදේශය ආශ්‍රිතව මෙවැනි තත්ත්වයක් වෙතොත් ඒ ගැන සැක හැර දැනගැනීම වැදගත්. එවැනි රෝගීන් මේ ගැන නොසලකා හැරීම සුදුසු නැහැ. ඔබ පදිංචි ප්‍රදේශයට සමීප ලිංගාශ්‍රිත රෝග සායනයේදී ඔබට අවශ්‍ය උපදෙස් සහ ප්‍රතිකාර නොමිලයේම ලබා ගැනීමට පුළුවන්.
මේ වෙනුවෙන් Pap පරීක්ෂණයට යොමු විය යුතුද?
ගැබ්ගෙල පිළිකා පහසුවෙන් හඳුනා ගැනීම වෙනුවෙන් වූ පරීක්ෂණය හෙවත් Pap පරීක්ෂණය ගැන දැන් හැම දෙනකුම වාගේ දැනුවත්. ලිංගික ප්‍රදේශවල ඉන්නන් ඇති බැව් දැනගත් සෑම කාන්තාවක්ම මෙම පරීක්ෂණය වෙනුවෙන් යොමු කිරීම වැදගත්.ඒ වගේම තමන්ගේ ලිංගික සහකරුගේ ලිංගික ඉන්නත් වෙතොත් එවැනි පුද්ගලයකු ඇසුරු කරන කාන්තාවගේ ලිංගික ඉන්නන් තිබුණත් නැතැත් ඇය Pap පරීක්ෂණය වෙනුවෙන් යොමු වීම වැදගත්.
ඒ වගේම හියුමන් පැපිලෝමා වෛරසය ආසාදනය වුණ බොහෝ කාන්තාවන් බොහෝ විට රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නැහැ. ඒ නිසා වයස අවුරුදු 35-45 අතර වයස කාන්තාවන්ට දිවයින පුරා පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාල මගින් (MOH Office ) මඟින් මෙම පරීක්ෂණය නොමිලයේ සිදු කරගැනීමට පුළුවන්.
ශ්‍රි ලංකාවේ වයස අවුරුදු 10 සම්පූර්ණ වුණ ගැහැනු දරුවන්ටත් ගැබ් ගෙල පිළිකා අවදානම වළක්වා ගැනීමේ අරමුණෙන් Quentrivalent එන්නත ලබා දෙනවා. මෙය මාත්‍රා දෙකකින් එනම් පළමු එන්නත ලබා මාස හයකින් දෙවැනි එන්නත ලෙසින් මාත්‍රා දෙකකින් ලබාදෙනවා.
මෙයින් 6,11,16 සහ 18 වැනි වෛරස ප්‍රභේදයන්ගෙන් ආවරණය වෙනවා. නමුත් ලිංගික ප්‍රදේශවල ඉන්නන් ඇතිකළ හැකි වෙනත් හියුමන් පැපිලෝමා වෛරස ප්‍රභේද ආසාදනය වුණොත් ලිංගික ඉන්නන් ඇතිවීමේ සුළු ඉඩක් තිබෙනවා. නමුත් ලිංගික ඉන්නන් ඇතිවීමට හේතුවන හියුමන් පැපිලෝමා වෛරසයේ 6 සහ 11 ප්රභේදයන් මඟින් ලිංගික ඇතිවීමේ අවදානම ඉහත එන්නත ලබාගත් කාන්තාවන්ට ඉතාමත් අඩු බැව් සඳහන් කළ යුතුම වෙනවා.
මීට අමතරව ගැබ්ගෙල පිළිකා ඇතිවීමට හේතු හියුමන් පැපිලෝමා වෛරසයේ 16 සහ 18 යන ප්‍රභේද දෙක පමණක් අඩංගු Bivalent මෙන්ම ඉහතින් මා සඳහන් කළ වැක්සිනයයත් ගැහැනු පිරිමි දෙපාර්ශ්වයටම පෞද්ගලික රෝහල් මගින් ලබා ගත හැකියි. මෙම වැක්සිනයෙන් වඩාත් හොඳ ප්‍රතිඵල ලබාගැනීමට නම් එය ලිංගික එක්වීමට ප්‍රථමව ලබාගැනීමත් වැදගත්.
නමුත් මෙම හියුමන් පැපිලෝමා වෛරසයෙන් ආසාදනය වුණ රෝගියකු මෙම වැක්සිනය ලබාගැනීමෙන් පසු ඔවුන් මෙතෙක් ආසාදනය නොවුණ හියුමන් පැපිලෝමා වෛරසවලින් මතුවට ආරක්ෂා වීමේ හැකියාව ලබාගන්නවා. ඒ වගේම ලිංගික ඉන්නන් වෙනුවෙන් ලබාදෙන ප්‍රතිකාරවලටත් ඉතා හොඳ ප්‍රගතියක් දක්වනවා. ලෝකයේ වෙනත් රටවල හියුමන් පැපිලෝමා වෛරසයේ 6, 11, 16, 18, 31, 33, 45, 52 සහ 58 යන ප්‍රභේද ආවරණය වන Nine valent වැක්සිනයත් දැන් වෙළෙඳපොළට පැමිණ තිබෙනවා.
ලිංගික ඉන්නන් ප්‍රතිකාර මගින් ඉවත් කළත් නැවත ඇතිවිය හැකිද?
ඔව්. ප්‍රතිකාර මගින් ඉවත් කරන්නේ ලිංගික ඉන්නන් පමණයි. හියුමන් පැපිලෝමා වෛරසය ශරීරගත වූ විට එය ප්‍රතිශක්තිය අඩු වූ අවස්ථාවක නැවත ඇතිවීමට ඉඩ තිබෙනවා. ලිංගික ඉන්නන් ඉවත් කිරීමෙන් වසරක් හෝ දෙකක් ගිය පසු නැවත ලිංගික ඉන්නන් ඇති වීමේ අවස්ථාවන් දුලබයි.ඒ වගේම ලිංගික ඉන්නන් ඇති පුද්ගලයින් සිෆිලිස්, උපදංශ වැනි රෝග තත්ත්වයන්ට ගොදුරු වීමටත් වැඩි අවදානමක් තිබෙනවා.
ගර්භනී මවකට ලිංගික ඉන්නන් ඇති වුණොත්?
ගර්භනී මවකට ලිංගික ඉන්නන් එකක් හෝ දෙකක් තිබුණොත් එය ප්‍රසූතියෙන් පසුව නැති වී යනවා. නමුත් යෝනි මාර්ගය අවහිර වන පරිදි ලිංගික ඉන්නන් තිබුණොත් සිසේරියන් සැත්කමකින් දරුවා ලබාගැනීමට සිදුවනවා.
ඒ නිසා ගර්භණී කාලයේදී නිසි ප්‍රතිකාර මගින් ඉන්නන් ඉවත් කරගැනීම වැදගත්. මෙය ඉතා ප්‍රවේසමෙන් කළ යුතු ප්‍රතිකාරයක්. ඒ නිසා අවශ්‍ය ප්‍රතිකාර තෝරාගැනීම වැදගත්. එවැනි ගර්භණී කාන්තාවක් ලිංගාශ්‍රිත රෝග සංයනයකදී විශේෂඥ වෛද්‍යවරයකුගේ උපදෙස් ලබාගැනීම ඉතාම වැදගත්.
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️