ටෙනිස් එල්බෝ
අපේ සිරුරේ තිබෙන නැවෙන ස්ථාන සන්ධි යනුවෙන් හැඳින්වෙනවා. වැලමිට, දණහිස, උරහිස වැනි සිරුරේ නැවෙන සන්ධි ආශ්‍රිතව බොහෝ විට වේදනාවන් ඇති වෙනවා. සමහර අවස්ථාවලදී අපි මේ වේදනාවන් ගැන එතරම් සැලකීමක් කරන්නෙත් නැහැ. ඒ වගේම වේදනාවන් සමඟ ජීවත්වන අවස්ථාවන්ද තිබෙනවා. කෙසේ හෝ වේවා සන්ධි ආශ්‍රිතව ඇතිවන මේ වේදනාවට හේතුව ඔබේ සිරුරේ කායික වශයෙන් පවතින රෝග තත්ත්වයක් විය හැකියි. ඒ නිසා ඒ ගැන නොසලකා හරින්න එපා.
ටෙනිස් එල්බෝ Tennis Elbow
වැලමිට ආශ්‍රිතව ඇති වෙන මේ වේදනාව ටෙනිස් එල්බෝ වශයෙන් හැඳින්වෙනවා. ටෙනිස් ක්‍රිඩාවේ යෙදෙන ක්‍රීඩකයන් අතර මේ රෝග තත්ත්වය සුලබව දක්නට ලැබුණ නිසාම යුරෝපා රටවලදී මේ රෝග තත්ත්වය ‘ටෙනිස් එල්බෝ’ යන නමින් හඳුන්වා තිබෙනවා. නමුත් ටෙනිස් ක්‍රීඩකයන්ට පමණක් නොව වැලමිට නිතර නැවෙන, දිග හැරෙන රැකියාවල යෙදෙන අයටත් මෙය ඇතිවිය හැකියි. වැලමිට පිට ප්‍රදේශයේ මෙම වේදනාව ඇතිවනවා.
ටෙනිස් එල්බෝ රෝග ලක්ෂණ.
වැලමිට ආශ්‍රිතව ඇතිවන ටෙනිස් එල්බෝ රෝග තත්ත්වයේදී ඔබට වැලමිට පිට පැත්තේ වේදනාවක් දැනෙනු ඇත.ඒ වගේම වැලමිට පිට ප්‍රදේශයේ අස්ථිමය නෙරීමක් දක්නට ලැබෙනවා.මේ ප්‍රදේශය අල්ලන විටත් වේදනාව දැනෙනවා.වැලමිට අත්ල ප්‍රදේශයට දිග හරින විට වේදනාව වැඩි වෙනවා. මෙම වේදනාව ක්‍රමයෙන් අත්ල දෙසට පැතිරෙන්න පුළුවන්.
වේදනාව දැනෙන ආකාරය.
ඔබ අත වෙහෙසා යම් කාර්යයක් කිරීමෙන් පසු පැය 24 ක් වැනි කාලයක් ගත වුනාම වේදනාව ඇති වෙනවා. ඒ වගේම මැණික්කටුව වෙහෙසන කාර්යයක යෙදීමේදී මේ තත්ත්වය වැඩියෙන් දැනෙනවා.සමහර විට මෙය මද වේදනාවක් ලෙසින් දැනී එයින් අනතුරුව යමක් අල්ලා ගැනීමට පවා අපහසු තරම් වේදනාවක් දැනෙනු ඇත.ඒ වගේම බොහෝ රෝගීන්ට වේදනාව දැනෙන ස්ථානය නිවැරදිව හඳුනා ගැනීමත් අපහසුයි.
ටෙනිස් එල්බෝ රෝග තත්ත්වයට හේතු
අපි යම් කාර්යයක නිරත වෙන විට අදාල කටයුත්ත වෙත අවධානයක් දැක්වූවත් නිවැරදි ලෙසින් ඉරියව් පිහිටුවා ගෙන අදාල කාර්යයෙහි නිරත වීමට උනන්දුවක් දක්වන්නේ නැහැ. ඒ නිසා කම්කරුවන්, ක්‍රිඩකයන්, කාර්මිකයන් සහ ගෘහණියන් අතර ටෙනිස් එල්බෝ රෝග තත්ත්වය දක්නට ලැබෙනවා. වාද්‍ය භාණ්ඩ වාදනය කරන අයටත් මේ රෝග තත්ත්වය ඇති විය හැකියි.
ටෙනිස් එල්බෝ රෝගය හඳුනා ගන්නේ කෙසේද?
බොහෝ විට රෝගියා විසින් ඉදිරිපත් කරන රෝග ලක්ෂණ අනුව වෛද්‍යවරයා විසින් රෝග තත්ත්වය ගැන නිශ්චය කිරීමක් ලබා ගන්නවා. මේ වෙනුවෙන් වැඩිදුර පරීක්ෂණ අවශ්‍ය වෙතොත් ඒ ඉතාම කලාතුරකින් බවත් සඳහන් කරන්න ඕන.
ටෙනිස් එල්බෝ රෝගයට ප්‍රතිකාර.
වේදනා නාශක
ටෙනිස් එල්බෝ රෝගීන්ට වේදනාව කළමනාකරණය වෙනුවෙන් NSAID කාණ්ඩයේ වේදනා නාශක ලබා දෙනවා. මේ ඖෂධ නිසා වේදනාව තාවකාලිකව සමනය වෙනවා. නමුත් රෝගියා විසින් වෛද්‍ය උපදෙස් නොමැතිව නැවත නැවත මේ වේදනා නාශක ලබා ගැනීම අනතුරුදායකයි. ඒ නිසා වතාවක් ඔබට සහනයක් ලබා දුන් වේදනා නාශක වෛද්‍ය උපදෙස් නොමැතිව නැවත නැවත භාවිතා කිරීම කිසිසේත්ම සුදුසු නැහැ.
ඖෂධ එන්නත් කිරීම.
ටෙනිස් එල්බෝ රෝගයට ප්‍රතිකාර ලෙසින් Corticosteroids ඖෂධ කාණ්ඩයට අයත් ඖෂධ එන්නත් කිරීම සිදු වෙනවා. මෙම ප්‍රතිකාරය වේදනා නාශක ඖෂධවලට වඩා සාර්ථක බැවින් සති හයක පමණ කාලයක් ගෙවෙන තෙක් රෝගියා වේදනාවෙන් නිදහස් වෙනවා.
රුධිර ප්ලාස්මා එන්නත් කිරීම ( platelet – rich plasma & (prp )
රුධිර ප්ලාස්මා එන්නත් කිරීමේ ප්‍රතිකාරය අද ටෙනිස් එල්බෝ රෝගය වෙනුවෙන්ද අනුගමනය කරන තවත් ප්‍රතිකාරයකි. මෙහිදී රෝගියාගේ රුධිරයෙන්ම ලබා ගන්නා රුධිර පට්ටිකා බහුල ප්ලාස්මා එන්නත් කිරීම සිදු වෙනවා. මෙම ප්‍රතිකාරය ඉහතින් සඳහන් කරන ලද වේදනාව කළමනාකරණයේදී යොදා ගත් ප්‍රතිකාරයන්ට වඩා සාර්ථක බව සඳහන් කිරීමටත් අවශ්‍යයි. ඊට හේතුව වන්නේ මෙම Prp ප්‍රතිකාර මගින් රෝගියාට එදිනෙදා වැඩ කටයුතු කර ගැනීමේ පහසුවක් ලැබෙන අතරම දිගුකාලීනව රෝග තත්ත්වයෙන් නිදහස් වීමක් ලැබෙනවා.
භෞත චිකිත්සක ප්‍රතිකාර physiotheraphy
මෙහිදී රෝගියාට යම් ව්‍යායාම සැසියක් ලබා දෙනවා. මෙම ව්‍යායාම මගින් වැලමිට අස්ථිය, මාංශ පේශි සහ ඛණ්ඩරාවල දරා ගැනීමේ සහ ඇදීමේ හැකියාව ගොඩ නගනවා. අදාළ උපදෙස් අනුව මෙම ව්‍යායාම අනුගමනය කිරීමෙන් රෝගයට සාර්ථක විසඳුමක් ලැබෙනු ඇත.සන්ධිය විවේකීව තැබීම සහ ක්‍රියාකාරකම් වෙනස් කිරීම, සන්ධියට බර වැටෙන ක්රියාකරකකම්වලින් වැලකී සිටීම හෝ අඩු කිරීම ටෙනිස් එල්බෝ තත්ත්වයට කළ යුතු අත්‍යවශ්‍ය සහ පළමු ප්රතිකර්මයයි.
බ්රේස් (පටි) සන්ධිය තද වීමට පටියක් (ඔසුසල් වලින් මිල දී ගත හැකියි) බැඳීමෙන් සන්ධිය ඇදීම සහ බර වැටීම වළක්වා ගත හැකියි.ඒ නිසා ටෙනිස් එල්බෝ රෝග තත්ත්වයක් ඇති වුනොත් ඖෂධ පමණක් නොව ව්‍යායාම මඟින්ද ඔබේ රෝග තත්ත්වය කළමනාකරණයට අවස්ථාවක් ලැබී තිබෙනවා. නිසි ප්‍රතිකාර මගින් බොහෝ පුද්ගලයන්ට පූර්ණ සුවයක් අපේක්ෂා කළ හැකි අතර දිගුකාලීන ගැටළු නොමැතිව ඔවුන්ගේ සාමාන්‍ය ක්‍රියාකාරකම් වෙත ආපසු යා හැකියි.
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️