අපස්මාර රෝග තත්ත්වය බහුල ස්නායු රෝගයක් වුණත් මෙය පාලනය කළ හැකි බෝ නොවන රෝගයක්. අපේ මොළයේ සෛල අතර පණිවිඩ යැවීම සඳහා විද්‍යුත් සංඥා භාවිත කරනවා. යම් ලෙසකින් මේ සංඥාවන්ගේ පාලනය කළ නොහැකි අධි ක්‍රියාකාරී ඇතිවුණොත් එය අපස්මාර තත්ත්වයකට හේතු වනවා. ලොව පුරා මිලියන 50 ක් පමණ පිරිසක් අපස්මාර රෝග තත්ත්වයට ගොදුරු වී සිටිනවා. ගෝලීය වශයෙනුත් දක්නට ලැබෙන ස්නායු රෝගවලින් එකක් ලෙස අපස්මාරය සැලකෙනවා. සාමාන්‍ය වශයෙන් පාසල් කාලයේ කුඩා දරුවන්ට සහ වැඩිහිටියන්ටත් රෝගය වැලඳෙන හැකියාවක් තිබෙනවා. සෑම පුද්ගලයන් සිය දෙනෙක් අතරට එක් අපස්මාර රෝගියෙක් වාර්තා වීමේ සම්භාවිතාවක් ඇත. නමුත් සෑම ගැස්මක්ම අපස්මාර රෝග තත්ත්වයක් නොවන අතර සාමාන්‍ය වශයෙන් සිහිසන් නැතුව ගැස්සීමේ හෙවත් Fit තත්ත්ව දෙකක් හෝ වැඩි ගණනක් ඇතිවීම අපස්මාර රෝග තත්ත්වයක් ලෙස සලකනවා.
අපස්මාරය ඇතිවීමට හේතු මොනවාද?
පාසල් කාලයේ දරුවන් අතර අපස්මාර රෝග තත්ත්වයන් ඇතිවනවා. එයට භයානක හේතුවක් නැහැ. ඉතා කුඩා අයට සහ වැඩිහිටියන්ට ඇතිවුණොත් පහත හේතු බලපාන්නට පුළුවන්.
- ජානමය සාධක.
- හිසට අනතුරක් වීමෙන් ඇතිවන තුවාල.
- පිළිකා රෝග.
- මොළයේ ආසාදනයක්.
- ආඝාත. ( Stroke )
- මොළය අභ්‍යන්තරයේ ඇතිවන අසාමාන්‍ය වර්ධනය.
අපස්මාර තත්ත්වය හඳුනාගන්නේ කොහොමද?
අපස්මාර තත්ත්වයන්හිදී ඇතිවන රෝග ලක්ෂණ එක් එක් රෝගියා අනුව වෙනස් වීමට පුළුවන්.
- හේතුවක් නැතුව සිහිසුන්ව බිම වැටීම.
- අත් පා ගැස්සීම.
- මුඛයෙන් පෙණ (සෙම ) ගැලීම.
- නොදැනුවත්ම මුත්‍රා සහ මලපහ පිටවීම
වැනි රෝග ලක්ෂණ ඇතිවනවා. එහෙත් හැම අපස්මාර අවස්ථාවකම මාංශ පේශි චලනය වීමක් සිදුවන්නේ නැහැ. සමහර රෝගීන් ප්‍රතිචාර නොදක්වන තත්ත්වයකටත් පත් වී පහත සඳහන් රෝග ලක්ෂණ ඇති වේ.
සිහි මද ගතිය.
දත කට පූට්ටු වීම.
ශරීරයේ සහ මනසේ අසාමාන්‍ය වෙනස්කම් ඇතිවීම.
රෝගයකු සම්බන්ධයෙන් කළ යුතු දේ
රෝගියා ආසන්නයේ ඇති තුවාල විය හැකි වස්තුන් දුරස් කරන්න. හේතුව රෝගියා ආසන්නයේ ඇති වස්තුන් පෙරළීමෙන් අනතුරක් වීමට ඉඩ තිබෙනවා.
අපස්මාර තත්ත්වය ඇති වූ වේලාව සටහන් කරගන්න. එය විනාඩි පහකට වඩා වැඩි නම් හෝ නැවත නැවත ඇතිවනවා නම් සහ තුවාලයක් හෝ හුස්ම ගැනීමේ අපහසුවක් ඇත්නම් ළඟම රෝහල වෙත රෝගියා ගෙන යන්න.
අපස්මාර තත්ත්වය නැවතුන විට රෝගියාට පහසුවක් ලබාදෙන්න.
අපස්මාර තත්ත්වය ඇතිවිට රෝගියා පැත්තට හරවන්න. අපස්මාර තත්ත්වය ඇති රෝගියා පසුව ව්‍යාකූල තත්ත්වයට සහ වෙහෙසට පත්වන නිසා මේ තත්ත්වය හඳුනාගන්න.
අපස්මාර රෝගියකු සම්බන්ධයෙන් නොකළ යුතුයි
අපස්මාරය ඇති රෝගියෙක් අල්ලා ගැනීමට හෝ අපස්මාර තත්ත්වය නැවැත්වීමට උත්සාහ නොකරන්න. අපස්මාර රෝගීන් දිව සපා කෑමෙන් වළක්වා ගැනීමට යැයි සිතා ඇතැම් අය හැන්දක් වැනි වස්තුවක් මුඛයට ඇතුළු කිරීමට උත්සාහ කරනවා. නමුත් මෙය නොකළ යුතුයි. රෝගියා එය සපා කෑමට හෝ එයින් කැබැල්ලක් සපා ගැනීම නිසා හුස්ම හිරවීමට ඉඩ තිබෙනවා. වතුර හෝ කිසිම දෙයක් එපා.
දරු උපත හා සම්බන්ධ විශේෂ කරුණක්
දරු උපත සමග ඇතිවන ඇතැම් සංකුලතාවන් නිසා දරුවන් තුළ වගේම පසුකාලීනව වැඩිහිටි අවධියේදීත් අපස්මාර තත්ත්වයක් ඇතිවීමට හේතු වනවා. අලුත උපන් දරුවාගේ සීනි මට්ටම අඩු වීම Neontal hypoglycemia තත්ත්වය හෙවත් අපස්මාර තත්ත්වයට වගේම දරුවාගේ දෘශ්‍යාබාධිත බවට සහ මොළයට හානි වීමට හේතු වෙනවා.
නමුත් නව ජන්ම දරුවාගේ රුධිරයේ සීිනි මට්ටම පහසුවෙන් ප්‍රතිකාර කළ හැකි තත්ත්වයක්. ගර්භණී කාලය සැලසුම් කර ගැනීමෙන් සහ නිසි වේලාවට ප්‍රතිකාර ලබා දීමෙන් මේ තත්ත්වය වළක්වා ගැනීමට පුළුවන්.
Trumatic brain injury තත්ත්වය වළක්වා ගැනීම
මොළයට සිදුවන අනතුරු නිසා අපස්මාර තත්ත්වය ඇතිවන බැව් දැන් අපි දන්නවා. මේ තත්ත්වය වළක්වා ගැනීමට පුළුවන්. ලිස්සා වැටීම් වගේම මාර්ග අනතුරු නිසා ඇතිවන මේ තත්ත්වය නිසා පුද්ගලයන් දහ දෙනකුගේ එක් අයකුට වලිප්පු තත්ත්වය ඇති වීමට ඉඩ තිබෙන අතර පුද්ගලයන් පනස් දෙනකුගෙන් එක් අයකු පශ්චාත් කම්පන සහිත අපස්මාර තත්ත්වයට පත්වීමට ඉඩ තිබෙනවා. දිනකට පුද්ගලයන් 18 දෙනෙක් පමණ මාර්ග අනතුරුවලට ගොදුරු වන අතර බොහෝ අවස්ථාවලදී මොළය තුවාල වී ස්ථිර හා ආපසු සුවය නොලබන තත්ත්වයට පත්වීමට පුළුවන්.
යම් පුද්ගලයකුට අපස්මාර තත්ත්වයක් ඇතැයි සැකයක් ඇතිවුණොත්?
එවැනි සැකයක් ඇතිවුණොත් රෝගියා ශ්රිී ලංකා ජාතික රෝහල් පරිශ්‍රයේ පිහිටුවා ඇති සියලු අවශ්‍යතා සහිත නවීනතම ජාතික අපස්මාර මධ්‍යස්ථානය වෙත යොමු කරන්න. මෙම මධ්‍යස්ථානය හරහා වැඩිහිටි සහ ළමා අපස්මාර රෝගීන්ට ප්‍රතිකාර ලබාදීම සිදුවනවා. මෙම අධි තාක්ෂණික, විමර්ශන සහ ප්‍රතිකාර පහසුකම් නොමිලයේම ලබාගත හැකියි.
අපස්මාරයට ප්‍රතිකාර කිරීමේදී ලබාදෙන ප්රතිවලිප්පු Anti seizure medciation ( ASM ) මගින් මොළයේ වලිප්පු පැතිරීම සීමා කරනවා. හොඳම ප්‍රතිකාර සැලැස්ම අවශ්‍ය අවස්ථාවන්හිදී ඖෂධයේ ප්‍රමාණය වෙනස් කිරීම හෝ නව ඖෂධ නිර්දේශ කිරීම සිදුවනවා. මෙම ඖෂධීය ප්‍රතිකාර මගින් රෝග තත්ත්වය 70% කින් පමණ අඩුකර ගත හැකියි.
වෛද්‍ය උපදෙස් නොමැතිව ඖෂධ මාත්‍රාව නැවැත්වීම හෝ වෙනස් කිරීම අතිශයින් අනතුරුදායක වන අතර එය රෝගියාගේ ජීවිතයට පවා අවදානමක් විය හැකිය. මෙම ප්‍රතිකාර නොමිලයේම ලබාගත හැකි අතර අදාළ සායනයන් වෙත රෝගියාගේ අඛණ්ඩ සහභාගීත්වය ඉතා වැදගත්.
අපස්මාර සැත්කම්
ඖෂධවලට ප්‍රතිචාර නොදක්වන රෝගීන් වෙනුවෙන් අපස්මාර සැත්කම් නිර්දේශ කරනවා. මොළයේ එක් ප්‍රදේශයකින් වලිප්පු තත්ත්වය focal seizure ඇතිවන විට එම ප්‍රදේශය ඉවත් කිරීම සහ අනාගතයේදී ඇතිවිය හැකි වලිප්පු තත්ත්වය පාලනය සඳහා ඖෂධ නිර්දේශ කිරීම සිදුවනවා.
ඖෂධ වෙනුවෙන් ප්‍රතිචාර නොදක්වන සහ ශල්‍යකර්මයක් වෙනුවෙන් යොමු කළ නොහැකි රෝගීන් සඳහා වෙනත් ප්‍රතිකාර ලබාදීම සිදුවනවා. බෙල්ල ප්‍රදේශයේ විශාල ස්නායුවකට සංඥා යැවීම Vagus nerve stimulater වැනි ප්‍රතිකාර සිදු කරනවා. ඊට අමතරව වෛද්‍ය උපදෙස් සහිතව සීමිත කැලරි සහිත අධික මේද අඩු කාබෝහයිඩ්ඩ්රේට සහිත කීටොජනික් ( ketogenic diet) ආහාර රටාවක් නිර්දේශ කරනවා.
අපස්මාර රෝගියකු විසින් නොකළ යුතු දේ මොනවාද?
- අපස්මාර රෝගියකු විසින් තමා මෙම රෝගය සමග ජීවත්වෙන රටාව පාලනය කර ගැනීම හෙවත් ස්වයං කළමනාකරණයක් ගොඩනගා ගැනීම වැදගත්.
- වෛද්‍ය උපදෙස් නොමැතිව ඖෂධ නැවැත්වීම හෝ වෙනස් කිරීම නොකළ යුතුයි.
- වලිප්පු ප්‍රේරක හෙවත් වලිප්පු තත්ත්වයන් ඇති කරන හේතු හඳුනාගන්න.
- වලිප්පු වාර්තා තබාගන්න.
- ප්‍රමාණවත් නින්දක් ලබාගන්න.
- ආතතිය අඩු කරගන්න.
ඔබට කළ නොහැකි දේ
මේ වෙනුවෙන් දැඩි සීමාවක් නැහැ. සාමාන්‍ය ජීවිතයක් ගතකළ හැකි වුණත් පිහිනිීම, උස් ස්ථානවල වැඩ කටයුතු කිරීම හෝ වෙනත් අවදානම් කටයුතුවලින් ප්‍රවේසම් වෙන්න.ඔබ අපස්මාර රෝගියෙක් නම් එය සාපයක්, මානසික ආබාධයක් යැයි සිතමින් කාලය ගත කරන්න එපා. නිසි වෛද්‍ය උපදෙස් සහ ප්‍රතිකාර මගින් ඔබට රෝගය සමග ගුණාත්මක ජීවිතයක් ගත කිරීමට කිසිදු බාධාවක් ඇතිවන්නේ නැහැ.

පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️