විවිධ රෝග තත්ත්වයන්හිදී ලබාදෙන ප්‍රතිකාර අතර බාහිරව රුධිරය ලබාදීමට සිදුවන අවස්ථාවන් ‘රුධිර පාරවිලයනය’ යනුවෙන් හඳුන්වනවා. පරිත්‍යාගශීලීන්ගෙන් ලබාගන්නා රුධිරය ලේ බැංකුවේදී සංඝටක අනුව වෙන් කරනවා.
රතු රුධිරාණු
හදිසි අනතුරකදී සිදුවන රුධිර ගැලීමකදී, දරු උපත් සම්බන්ධව ඇතිවන රුධිර වහනයකදී, ශල්‍යකර්ම වැනි අවස්ථාවලදී මේ රතු රුධිර සෛල ලබාදීම මගින් රෝගී ජීවිත බේරා ගැනීමට අවස්ථා ලැබෙනවා. රක්ත හීනතාව, තැලසීමියාව ඇති දරුවන්ට වගේම රුධිර පිළිකා තත්ත්වයන්ගෙන් පසුවන රෝගීන්ට ප්‍රතිකාර වශයෙන් රතු රුධිර සෛල බාහිරව ලබාදෙනවා.
රුධිර පට්ටිකා
රුධිර පට්ටිකා ඌණතාවකදී බාහිරව රුධිර පට්ටිකා ලබාදීම සිදුවනවා. ලංකාවේ වැඩිම ප්‍රමාණයක් රුධිර පට්ටිකා ලබාදීම සිදුවන්නේ පිළිකා රෝගීන් සහ පිළිකා ප්‍රතිකාර ලබන රෝගීන් වෙනුවෙන් බව කිව යුතුයි.
රුධිර ප්ලාස්මා
රුධිරය කැටි ගැසීමේ ගැටලු ඇති රෝගීන්ට බාහිරව රුධිර ප්ලාස්මා ලබාදෙනවා. මේ අන්දමින් විවිධ රෝගී තත්ත්වයන්හිදී පරිත්‍යාගශීලීන්ගෙන් ලබාගන්නා රුධිරය රෝගීන්ට ලබාදීම සිදුවනවා. රෝගියකු වෙනුවෙන් නීරෝගී පුද්ගලයකු විසින් රුධිරය ලබාදීමේදී අදාළ දායකයාගේ සෞඛ්‍ය තත්ත්වයත් ඉතා වැදගත්. ඒ නිසා රුධිරය ලබාදීමේදී ඊට අදාළ නිර්ණායකයන් සම්පූර්ණ කර තිබීමත් වැදගත්.
රුධිරය පරිත්‍යාග කිරීමට අවශ්‍ය සුදුසුකම් මොනවාද?
වයස
රුධිරය පරිත්‍යාග කිරීමේදී පරිත්‍යාගශීලියාගේ වයස අවුරුදු 18 ඉක්මවා තිබීම වැදගත්. ඒ වගේම මුල්ම වතාවට ලේ දන්දෙන පුද්ගලයෙක් නම් ඔහුගේ වයස අවුරුදු 55 ට වඩා අඩුවීම වැදගත්. එහෙත් මීට පෙරාතුව ලේ දන් දී තිබෙන පුද්ගලයෙක් නම් වයස අවුරුදු 60 ක් වෙන තෙක් රුධිරය පරිත්‍යාග කිරීමට පුළුවන්.
ශරීරයේ බර
රුධිර පරිත්‍යාගශිලී පුද්ගලයකුගෙන් රුධිරය ලබාගැනීමේදී ඒ පුද්ගලයාගේ ශරීර බර අවම වශයෙන් කිලෝ ග්‍රෑම් 50 ක් හෝ ඊට වඩා වැඩි වීම වැදගත්. රුධිරය ලබාදෙන පුද්ගලයාගේ රුධිරයේ හිමොග්ලොබින් අගය ඩෙසිලීටරයකට ග්‍රෑම් 12. 5 කට වඩා වැඩි වීම.නිදන්ගත රෝග තත්ත්වයන් නොමැති නීරෝගී පුද්ගලයෙකු වීම.රුධිර පරිත්‍යාග කිරීමට පෙරාතුව දායකයාගේ තොරතුරු ලබාගැනීමට පත්‍රිකාවක් ලබා දෙනවා. මේ පත්‍රිකාව මගින් දායකයාගේ සුරක්ෂිතතාව වගේම ලබාදෙන රුධිරය සුරක්ෂිත බව තහවුරු කරගැනීමට හැකියාව ලැබෙනවා.
පච්ච කෙටුවොත් රුධිරය පරිත්‍යාග කිරීමට නොහැකිද…?
නිවැරදි ලෙස ජීවාණුහරණය නොකළ උපකරණ භාවිිතයෙන් සිදුකරන පච්චා කෙටීමේදී පුද්ගලයකුගේ ආසාදනයක් තවත් පුද්ගලයෙකුට උපකරණ හරහා සම්ප්‍රේෂණය වීමට යම් අවදානමක් තිබෙන බැවින් එවැනි පච්චා කෙටූ පුද්ගලයන්ට තාවකාලිකව රුධිරය පරිත්‍යාග කිරීමේදී වසරක වාරණයක් පනවනවා. නමුත් වසරකින් පසුව ඒ පුද්ගලයාට රුධිර පරිත්‍යාග කිරීමට අවසරය තිබෙනවා.
ඔබට අවශ්‍ය සෑම අවස්ථාවකදීම රුධිරය පරිත්‍යාග කිරීමට අවසරයක් නැතිද…?
ඔබේ රුධිරය පරිත්‍යාග කිරීමට කාල පරාසයක් අවශ්‍ය නැතැයි ඔබ සිතනු ඇති. නමුත් ඔබට කිසිම බාධාවකින් තොරව මාස හතරකට වතාවක් රුධිරය පරිත්‍යාග කිරීමට හැකියාවක් තිබෙනවා. රුධිර පට්ටිකා පරිත්‍යාග කරනවා නම් සති දෙකෙන් දෙකට ලබාදීමට පුළුවන්.
ඇටමිදුළු බද්ධ කිරීමේ අවශ්‍යතාවන් ඇති රෝගීන් පිළිබඳ අපට නිතරම අසන්නට ලැබෙනවා. ඇටමිදුළු කියන්නෙ මොනවාද?
අපේ සිරුරේ අස්ථි මැද පිහිටා තිබෙන අර්ධ ඝන පටක කොටස ඇටමිදුළු යනුවෙන් හඳුන්වනවා. මෙම ඇටමිදුළු තුළ රතු රුධිරාණු, සුදු රුධිරාණු, රුධිර පට්ටිකා නිපදවා රුධිරය වෙත නිකුත් කිරීම සිදුවනවා. ඇටමිදුළු තුළ ඇති ඉතා නොමේරූ රුධිර ජනක සෛල ( Stem cell) බෙදී විකසනය වී රුධිරයේ සංඝටක වගේම ප්‍රතිශක්තිය ලබාදීමට අවශ්‍ය සෛල බිහිවීම සිදුවනවා.
පිළිකා තත්ත්වයක් වර්ධනය වනවිට…
ජානමය වෙනස්කම් නිසා ඇටමිදුළු තුළ ඇති මෙම රුධිර ජනක සෛල අසාමාන්‍ය සෛල බවට පත්වී පරිණත වීමකින් තොරව ඉතා වේගයෙන් ව්‍යාප්ත වී ගොස් නොමේරූ සෛල ගොණුවක් ලෙසින් ඇටමිදුළු ආක්‍රමණය කිරීමක් සිදුවනවා. මේ තත්ත්වය උග්‍ර ලියුකීමියාව ( Acute Leukaemia ) යනුවෙන් හැඳින්වෙනවා.
මීට අමතරව ඇටමිදුළු ආශ්‍රිතව සෛල බෙදී යෑම සහ විශේෂණය වන විවිධ අවදිවලදී පිළිකා තත්ත්වයන් ඇතිවනවා. නිදන්ගත ලියුකේමියා ( Chronic Leukaemia ) ලිම්ෆෝමා ( lymphoma ) සහ Multitiple Myeloma එවැනි පිළිකා රෝග තත්ත්වයන්ට ඇතුළත් වෙනවා.
පිළිකාවක් කී විට අපේ හිතේ ඇතිවන්නේ මාරාන්තික හැගීමක්. නමුත් ඇතැම් පිළිකා රෝග ඉතා හොඳින් ප්‍රතිකාර ලබාදී පාලනය කළ හැකි අතර සමහර පිළිකාවන් නිට්ටාවටම සුවකිරීමේ හැකියාවත් තිබෙනවා.
පිළිකා රෝග වෙනුවෙන් ලබාදෙන ප්‍රතිකාර ක්‍රම කීපයක් තිබෙනවා
Chemotheraphy Radiotheraphy
ප්‍රතිශක්තිකරණ චිකිත්සා ( Immunotheraphy)
ඉලක්කගත ප්‍රතිකාර (Target theraphy)
රුධිර ජනක සෛල බද්ධය ( Stem cell transplant )
මේ අතරින් පිළිකා රෝගීන් සඳහා රුධිර සෛල ජනක බද්ධ ප්‍රතිකාර වෙනුවෙන් විශාල මුදලක් වැය වෙනවා. ශ්රීි ලංකාවේ 2016 වසරේ පටන් රුධිර ජනක සෛල බද්ධ කිරීමේ ප්‍රතිකාර ක්‍රමය සිදුවනවා.මහරගම අපේක්ෂා රෝහලේ මෙම ප්‍රතිකාර ක්‍රමය ආරම්භ කළා.
මේ වනවිට රෝගීන් 300 ක් පමණ දෙනෙකුට රුධිර ජනක සෛල බද්ධ කිරීම සිදු කර තිබෙනවා. මේ අතරින් 99% ක්ම සිදු වුණේ රෝගියාගෙන් ලබාගන්නා රුධිර ජනක සෛල ඒ රෝගියාටම බද්ධ කිරීමක්. අපි ඒ ප්‍රතිකාර ක්‍රමය ස්වයං රුධිර ජනක සෛල බද්ධ කිරීම යනුවෙන් හඳුන්වනවා.
රුධිර ජනක සෛල බද්ධ කිරිමේ ප්‍රතිකාර
මෙය ක්‍රම දෙකකින් සිදුවනවා. රෝගියාගේ රුධිර ජනක සෛල ලබාගෙන රෝගියාටම බද්ධ කිරීම ( Autologous stem cell transplant ) දායකයෙකුගෙන් ලබාගන්නා රුධිර ජනක සෛල රෝගියෙකුට බද්ධ කිරීම ( Allogeneic stem cell transplant ) රෝගියාගේ රුධිර ජනක සෛල ලබාගෙන රෝගියාටම බද්ධ කිරීම ( Autologous stem cell transplant ) lymphoma” Hodgkin lymphoma” Non Hodgkin lymphoma ප්ලාස්මා සෛල සම්බන්ධ Multitiple Myeloma වැනි පිළිකා රෝග තත්ත්වයන්හිදී පිළිකා රෝගියාගෙන් ලබාගන්නා රුධිර ජනක සෛල රෝගියාට බද්ධ කිරීමක් සිදුවනවා. මෙය පියවර කීපයකින් සිදුවනවා.
පිළිකා රෝගියාට ලබාදෙන ඖෂධීය ප්‍රතිකාර මගින් පිළිකා තත්ත්වය උපරිම ලෙසින් සුව කිරීම.පර්යන්ත රුධිරයට රුධිර ජනක සෛල නිකුත් කිරීම සඳහා අවශ්‍ය ඖෂධ ලබාදීම. රුධිර ජනක සෛල වර්ධනය වීමට අවශ්‍ය උත්තේජක ඖෂධ ලබාදීම.රෝගියාගෙන් ලබාගන්නා රුධිර ජනක සෛල ගබඩා කරගැනීම.අධි මාත්‍රාවකින් පිළිකා නාශක ඖෂධ ලබා දී සැගවී ඇති සියලු පිළිකා සෛල විනාශ කිරීම.
විනාශ වුණ නිරෝගි ඇටමිදුළු ප්‍රතිස්ථාපනය සඳහා ගබඩා කරන ලද රුධිර ජනක සෛල නැවත රෝගියාට ලබා දීම.මීට අමතරව බාහිර පුද්ගලයකුගෙන් ලබාගන්නා රුධිර ජනක සෛල රෝගියාට රෝගියකුට බද්ධ කිරීම ( Allogeneic stem cell transplant ) අපේ සිරුරේ ජාන අතර ්යඛ් ජානය මගින් සිරුරට ප්‍රතිශක්තිය ලබාගැනීමට උපකාරී වෙනවා. සිරුරට බාහිරව ආගන්තුක දෙයක් ඇතුළු වූ විට සුදු රුධිරාණු සෛල වහාම ක්‍රියාත්මක වෙනවා. රෝගියකුට අවයව බද්ධ කිරීමේදී ගැළපෙන අවයවයක් සොයා ගැනීමේ කාර්යයට සමානව රුධිර ජනක සෛල බද්ධ කිරීමේදිත් රෝගියාට ගැළපෙන රුධිර සෛල බද්ධ කිරීම සිදුවීම වැදගත්.
ගැළපෙන රුධිර ජනක සෛලයක් බද්ධ කිරීමේදී පිළිකා රෝගියාට ලබාදෙන ඖෂධීය ප්‍රතිකාර මගින් පිළිකා තත්ත්වය උපරිම ලෙසින් සුව කිරීම.අධි මාත්‍රාවකින් පිළිකා නාශක ඖෂධ ලබා දී සැඟවී ඇති සියලු පිළිකා සෛල විනාශ කිරීම.
පර්යන්ත රුධිරයට රුධිර ජනක සෛල නිකුත් කිරීම සඳහා අවශ්‍ය ඖෂධ ලබාදීම රුධිර ජනක සෛල වර්ධනය වීමට අවශ්‍ය උත්තේජක ඖෂධ ලබාදීම.දායකයාගෙන් ලබාගත් රුධිර ජනක සෛල රෝගියාට ලබාදීම.බාහිරව ලබාගත් රුධිර ජනක සෛල රෝගියාට ලබාදීමන් පසු රෝගියා තුළ ගොඩ නැගෙන ප්‍රතිශක්ති පද්ධතිය විසින් ආගන්තුක සෛලවලට පහර දීමට පටන් ගන්නවා. එය Graft Vs Host disease යනුවෙන් හැඳින්වෙනවා.අලුතින් රෝගියා තුළ ස්ථාපනය වන ප්‍රතිශක්තිකරණ පද්ධතිය රෝගියාගේ සිරුරේ වර්ධනය වන පිළිකා සෛල ආගන්තුක ලෙස හඳුනාගෙන ඒවාට එරෙහිව ක්‍රියාකිරීම Graft VS Leukaemia effect යනුවෙන් හැඳින්වෙනවා.
ස්වයං රුධිර ජනක සෛල බද්ධ කිරීමෙන් පසු…
ස්වයං රුධිර ජනක සෛල හෝ දායක රුධිර ජනක සෛල බද්ධ කිරීමට පෙර රෝගියාට ලබාදෙන ලද පිළිකා ඖෂධ ප්‍රතිකාර නිසා ප්‍රතිශක්ති පද්ධතිය අකර්මන්‍ය තත්ත්වයක පවතිනවා. අලුතින් ලබාදෙන ලද රුධිර ජනක සෛල ඇට මිදුළු තුළට ගමන් කර වසා සෛල සහ රුධිර සංඝටක හැදෙන තෙක් රෝගියා ඉතාම දුර්වලයි. ඉතා පහසුවෙන් ආසාදනවලට ගොදුරු වීමේ හැකියාව තිබෙන නිසා සති 3-4 අතර කාලයක් අඩු පීඩනය සහිත වායු පිරිපහදු කාමරයක රෝගියා තබා ගන්නවා.
රුධිර ජනක සෛල ලබාගැනීම…
රුධිර ජනක සෛල බද්ධ කිරීමේදී රෝගියකුට ගැළපෙන සෛල ලබාගැනීම ඉතා අපහසු කාර්යයක්. පවුලේ සහෝදර සහෝදරියන් අතර වුණත් ජානමය වශයෙන් ගැළපෙන රුධිර ජනක සෛල ඇත්තේ 25% ක් පමණයි. ජානමය වශයෙන් ගැළපෙන කෙනකු පවුලේ නැත්නම් 50% ක් හෝ ඊට වඩා වැඩිපුර ගැළපෙන රුධිර ජනක සෛල බද්ධ කිරීමක් සිදුවනවා.
බාහිරව රුධිර ජනක සෛල ලබාගැනීම සඳහා අපේ රටේ පහසුකම් නැහැ. එවැනි අවස්ථාවකදී අපට විදේශ රටකින් සෛල ආනයනය කිරීම, ඒවා ප්‍රවාහනය වැනි දීර්ඝ ක්‍රියාවලියක් සිදුවනවා. ඒ වෙනුවෙන් රෝගියකුට විශාල වියදමක් දරන්න සිදුවනවා. මේ වෙනුවෙන් ලක්ෂ 50 ක් පමණ වැය වෙනවා. නමුත් රටක රුධිර ජනක සෛල පරිත්‍යාග කිරීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වීමට කැමැත්තක් දක්වන දායක ලේඛනයක් (Stem cell doner register ) ඇත්නම් රෝගීන්ට ගැළපෙන රුධිර ජනක සෛල ලබාගැනීමට විකල්ප අවස්ථාවක් ලැබෙනවා.
ලෝකයේ රුධිර ජනක සෛල පිළිබඳ දත්ත පද්ධති Stem cell doner register 90 ක් පමණ පවත්වා ගෙන යනවා. මිලියන 42 ක් පමණ දෙනා දැනට මෙම දත්ත පද්ධතිවල ලියාපදිංචි වී සිටිනවා. මේ ක්‍රමවේදයට අනුව යම් රෝගියකුට රුධිර ජනක සෛල බද්ධ කිරීමක් අවශ්‍ය වුණොත් අදාළ දත්ත ලේඛනයේ ලියාපදිංචිය ලබා සිටින පරිත්‍යාගශීලී පුද්ගලයකුගෙන් එම සෛල පහසුවෙන් ලබාගැනීමේ හැකියාව තිබෙනවා. අපේ රටෙත් රුධිර ජනක සෛල පරිත්‍යාග කිරීම සඳහා දායකයන්ගෙන් සැදුම්ලත් ලේඛනයක් පවත්වා ගැනීම වැදගත්.
රුධිර ජනක සෛල (Stem cell) ප්රදානය කිරීමට ලියාපදිංචි වීමට අවශ්‍ය නම් රුධිර ජනක සෛල ප්‍රධානය කීරීම වෙනුවෙන් ලියාපදිංචි වෙන පුද්ගලයාගේ වයස අවුරුදු 18-45 අතර වීම. නමුත් ලියාපදිංචි වී සිටින දායකයකුට වයස අවුරුදු 60 දක්වාම රුධිර ජනක සෛල පරිත්‍යාග කිරීමට හැකියාව තිබෙනවා. තරුණ රුධිර ජනක සෛල රෝගීන්ට වඩාත් යෝග්‍ය බැව් සොයාගෙන තිබෙනවා. එක් පුද්ගලයකුගෙන් රුධිර ජනක සෛල ලබාදීම ජීවිතයකටම දෙවතාවකට සීමා වෙනවා.
ඔබ රුධිර ජනක සෛල පරිත්‍යාග කිරීමට කැමැත්තක් දක්වන්නේ නම් ඒ වෙනුවෙන් ඔබේ ජාන පරීක්ෂාවක් සිදු කරනවා. මෙය මුඛ කුහරයේ ඇතුළත බිත්තිය පිරිමැදීමෙන් ලබාගන්නා සෛල ( Buccal Swab ) සාම්පලයක්. මෙම පටක පරීක්ෂාවේ තොරතුරු දත්ත පද්ධතියට ඇතළත් කරනවා.
යම් අවස්ථාවක රෝගියකු සඳහා ජානමය වශයෙන් ගැළපෙන රුධිර ජනක සෛල ඇති දායකයකුට අදාළ රෝගියාට රුධිර ජනක සෛල පරිත්‍යාග කිරීමට පුළුවන්. රුධිර ජනක සෛල ලබාදීම නිසා දායකයාට කිසිම බලපෑමක් ඇතිවන්නේ නැහැ. මෙය සාමාන්‍යයෙන් රුධිරය පරිත්‍යාග කිරීමට සමානයි. අතුරු ආබාධයක්, සංකුලතාවන් හෝ දීර්ඝ කාලීන බලපෑම් ඉතාම අවමයි. ඒ මන්ද කිව්වොත් දායකයාගෙන් රුධිර ජනක සෛල ලබාගැනීමෙන් පසුවත් ඇටමිදුළු මගින් ඒවා නොඅඩුව නිෂ්පාදනය කරනවා.
රුධිර ජනක සෛල දත්ත පද්ධතියක් නිසා ඇතිවන ප්රතිලාභ මොනවාද…?
රුධිර ජනක සෛල දත්ත පද්ධතියක් යාවත්කාලීනව පවත්වා ගෙන යෑම නිසා යම් රෝගියකුට අවශ්‍ය රුධිර ජනක සෛල වඩාත් ඉක්මනින් ලබාගැනීමේ හැකියාව තිබෙනවා. වඩාත් ගැළපෙන සෛල ලැබීම සමග ප්‍රතිකාර ඉක්මනින් ආරම්භ කිරීමේ හැකියාවක් ඒ තුළින්ම ලැබෙනවා. මේ නිසා රෝගියාගේ පාර්ශ්වයට විශාල වාසියක් ලැබෙනවා.
භුගෝලීය වශයෙන් වෙන්ව ඇති රටවල ජානමය වෙනස්කම් විවිධ වන නිසා විදේශ රටක ඇති දත්ත පද්ධතියකින් ජාන ලබාගත් විට ජානමය වශයෙන් ඇති ගැළපීම අඩු වීම.බද්ධ කිරීම වෙනුවෙන් වූ රුධිර ජනක සෛල විදේශ රටකින් ආනයනය කිරීමේදී විශාල මුදලක් අවශ්‍ය වීම, එය මිලියන පහක් වැනි තරම් වන අතර රෝගියකුට ඒ මුදල දැරීම අපහසු වීම.විදේශ රටකදී සිදුවුණොත් රෝගියා සමග ඔහුගේ සහායට තවත් පුද්ගලයකු විදේශගත වීමත් අවශ්‍ය වෙනවා.
ඔබටත් රුධිර ජනක සෛල පරිත්‍යාගශීලියකුගේ ලේඛනයට ඇතුළත් වීමට අවශ්‍ය නම් ලේ බැංකුවේ හෝ ජංගම ලේ බැංකුවකින් අදාළ පත්‍රිකාව ලබාගෙන පුරවා භාරදීමට පුළුවන්. මෙහිදී ඔබව සම්බන්ධ කරගත හැකි නිවැරදි දුරකථන අංකය, ලිපිනය සඳහන් කිරීම ඉතාම වැදගත්.
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️