මිනිස් සිරුරේ අභ්‍යන්තර අවයව 432ක් විනාඩි හතරක් වැනි කෙටි කාලයක් තුළදී මතක තබා ගනිමින් නම් කරමින් ලොව ඉහළම මතක ශක්තියක් ඇති දැරියක් බවට ලෝක වාර්තාවක් පිහිටුවීමට බගවන්තලාව හෝලි රොසරි දමිළ මහ විද්‍යාලයේ අධ්‍යාපනය ලබන සංකර්දාස් කණිෂ්කා සිසුවිය සමත්විය. බගවන්තලාව ආරියපුර ගම්මානයේ පදිංචි සංකර්දාස් නැමැති දැරිය දෙවන වසරේ අධ්‍යාපනය ලබන අතර ඇයගේ දෙමව්පියන් මෙම දැරිය පෙර පාසල් වයසේ සිටම හොඳ මතක ශක්තියක් ඇති බවට වටහා ගැනීමෙන් අනතුරුව ඇයට අධ්‍යාපනය කිරීම සඳහා අමතර පොත්පත් ලබා දීමට කටයුතු කර ඇත.
ඉන්දියාවෙන් ක්‍රියාත්මක කරන චෝලන් ලෝක වාර්තාව පිහිටුවීම සඳහා සංකර්දාස් කණිෂ්කාගේ දෙමව්පියන් වන තංගරාජ් සංකර්දාස් සහ සංකර්දාස් දාමිණි යන අය විසින් චෝලන් ආයතනයෙන් කළ ඉල්ලීමක් මත එම ආයතනයේ ශ්‍රී ලංකා ශාඛාවේ උප සභාපති නාගවානි රාජා මහතා සහභාගි වෙමින් මෙම වාර්තාව අධීක්ෂණය කරනු ලැබිණ. චෝලන් ලෝක වාර්තාවට හිමිකම් කියූ මෙම පාසල් සිසුවියට ඇය අධ්‍යාපනය ලබන පාසලේ විදුහල්පති ඇතුළු ආචාර්ය මණ්ඩලය සහ සිසු සිසුවියන්ගේ සුබපැතුම් හිමිවිය.
ලෝක වාර්තා පොතෙහි වාර්තාවක් පිහිටුවීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දැක්වූ චෝලන් ආයතනයේ ශ්‍රී ලංකාවේ උප සභාපති නාගවානි රාජා මහතා කියා සිටියේ ඉන්දියාවේ සිට ක්‍රියාත්මක කරන තම ආයතනය ලෝකයේ රටවල් 26 ක්‍රියාත්මක වන බවත් දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක වල මෙවැනි දක්ෂතා ඇති දරුවන් හඳුනාගෙන ඔවුන්ගේ දක්ෂතාවයන් ඉදිරියට රැගෙන ඒමේ අරමුණින් තම ආයතනය මගින් චෝලන් ලෝක වාර්තා පවත්වාගෙන යන බවයි.
– නුවරඑළිය නාලක රත්නායක