ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය මානවශාස්ත්ර හා සමාජීයවිද්‍යා පීඨයේ ප්‍රකාශන කමිටුව මගින් සංවිධානය කරනු ලබන විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්රදානය සඳහා ලැබී ඇති කෘති අතරින් පරිත්‍යාග ලෙස කෘති ලබාදුන් ප්‍රකාශන ආයතන සඳහා සම්මාන ලබාදෙමින් ඔවුන් අගය කිරීම විශ්වවිද්‍යාලය විසින් සිදුකරනු ලැබේ. ඒ අනුව මෙවර විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්රදානය සඳහා විශාල කෘති සංඛ්‍යාවක් ලැබී ඇති අතර ඒ අතරින් වැඩිම කෘති සංඛ්‍යාවක් පරිත්‍යාග ලෙස විශ්වවිද්‍යාලය වෙත ලබාදුන් සරසවි ප්‍රකාශන ආයතනය රන් සම්මානයෙන් පිදුම් ලබයි. රීදී සහ ලෝකඩ සම්මාන පිළිවෙළින් ඇස් ගොඩගේ සහ සමාගම සහ බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය පිදුම් ලබයි. වාර්ෂික ව විද්‍යෝදය සාහිත්‍ය සම්මාන උළෙල සඳහා විශ්වවිද්‍යාලය වෙත මෙලෙස පරිත්‍යාග වශයෙන් සහ කතෘ ප්‍රකාශන ලෙස වට්ටම් සහිතව ලැබෙන මෙම කෘති විශ්වවිද්‍යාල සිසුන්ගේ පරිශීලනය සඳහා විශ්වවිද්‍යාල පුස්තකාලය වෙත භාර දීම මෙහිදී සිදුකෙරෙන සුවිශේෂී කාර්යයක් වේ.
විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්රදානය 15 වැනි වරටත් 2024 සැප්තැම්බර් මස 03 වන දින අභිමානවත්ව පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ. එහිදී 2023 වර්ෂයේ ප්‍රකාශිත විශිෂ්ටතම නවකතාව, විශිෂ්ටතම කෙටිකතා සංග්‍රහය, විශිෂ්ටතම පද්‍ය කාව්‍ය සංග්‍රහය, විශිෂ්ටතම ගේය කාව්‍ය සංග්‍රහය, විශිෂ්ටතම පුවත්පත් විශේෂාංග ලිපි සංග්‍රහය හෝ තීරුලිපි සංග්‍රහය හා මානවශාස්ත්ර හා සමාජීයවිද්‍යා විෂය ක්ෂේත්රවලට අදාළ විශිෂ්ටතම ශාස්ත්‍රීය කෘතිය තෝරා සම්මාන පිරිනැමේ.