ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක උත්සවයේදී ජාතික ගීය විකෘති කර ගායනා කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබූ ගායන ශිල්පිනිය උමාරා සිංහවංශ රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ විමර්ශන අංශයට පැමිණ ප්‍රකාශයක් ලබා දුන් බව අතිරේක ලේකම් ධම්මික මුතුගල දිවයිනට ඊයේ (07) පැවසීය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් උමරාට අමතරව ක්‍රිකට් පාලක මණ්ඩලයේ සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ (සංගීත) යන අයගෙන් ප්‍රකාශ ලබාගෙන තිබේ.
නිදහස් දින සැමරුම් උත්සවවලදී ජාතික ගීය ගායනය අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්යක්ෂවරයාගේ උපදෙස් මත සිදුකරනු ලබයි.
උමරාගේ ප්‍රකාශය මගින් තමා ජාතික ගීය ගායනා කිරීමේදී ‘මහතා’ යන වචන ප්‍රකාශ නොකළ බවත් උච්ච ස්වරයෙන් ගායනය සිදු කළ බවත් ප්‍රකාශ කර ඇත. එමෙන්ම එම ගායනය විද්‍යුත් මාධ්‍ය මගින් ප්‍රචාරය වීමේදී ෆීල්ඩ්බැක් (ප්රතිරාවය) වීම
නිසා මාතා යන වචනය මහතා ලෙස ප්‍රචාරණය වෙන්නට ඇතැයි ඇය ප්‍රකාශ කර තිබේ. අධ්‍යාපන අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්යක්ෂවරයාගේ ප්‍රකාශ අනුව ජාතික ගීය මධ්‍ය ස්වරයෙන් ගායනා කළ යුතු බව ව්‍යවස්ථාවේ සඳහන් කර තිබෙන බව කියයි. මේ සම්බන්ධයෙන් විමර්ශන අංශය සකස් කරන වාර්තාව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් රංජිත් අශෝක මහතාට මේ සතිය ඇතුළත ලබාදෙන බව මුතුගල මහතා පැවසීය. අනතුරුව මේ සම්බන්ධයෙන් නීතිපතිවරයාගෙන් කරුණු විමසීමට අමාත්‍යාංශය අදහස් කරගෙන සිටී.
ජාතික ගීය විකෘති කර ගායනා කළ බවට චෝදනා එල්ල වීමත් සමග උමාරා සිංහවංශ ෆේස්බුක් ගිණුමේ සමාව ඉල්ලා සටහනක් ද යොදා තිබුණි.
– චමින්ද සිල්වා