Deodorant කියන්නෙ අපි කවුරුත් නිතරදෙවේලෙ භාවිත කරන නිෂ්පාදනයක්. මේකෙන් වෙන්නෙ දහඩිය දැමීම නිසා හම මත සිදුවන බැක්ටීරියා ක්‍රියාවලියෙන් ඇතිවන දුර්ගන්ධය අවම කර නැවුම් බවක් ලබාදීමයි. ඝර්ම කලාපීය රටක ජීවත් වෙන අපේ ශරීරයට නිතරම දහඩිය දානවා. ඒ නිසා මේ දහඩියට විසඳුමක් විදිහට ඩියෝඩ්‍රන්ට් එකක් අනිවාර්යයෙන්ම භාවිතයට ගත යුතුමයි. දහඩිය දුගඳ වැඩිපුර හමන්නෙ මේ නිසයි.
නිතර නිතර සිල්ක් ඇඳුම් අඳිනකොට දහඩිය දුගඳ වැඩිපුර හමනවා. මේ තත්ත්වය වළක්වාගන්න දහඩිය උරාගැනීමේ හැකියාවක් පවතින කොට්න් ඇඳුම්වලට පුළුවන්. ඒ වගේම ඇතැමුන්ගේ ශරීරයේ පවතින දැඩි උෂ්ණ ගතියත් දහඩිය දුගඳ වැඩිපුර හැමීමට බලපානව. නොයෙක් ආකාරයේ ඩියෝඩ්‍රන්ට් ස්පේ, ක්‍රීම්, ද්‍රව වගේ විවිධාකාරයෙන් එනවා. තමන්ට කැමති සුවඳකින්, බ්‍රෑන්ඩ් එකකින් ඩියෝඩ්‍රන්ට් එකක් පාවිච්චි කරන්න පුළුවන්.
හොඳ නිෂ්පාදනයක් නෙවේනම් අත් යට අඳුරු පැහැ වේවි. ඩියෝඩ්‍රන්ට් පාවිච්චි කරනකොට සමහර අයගේ අත් යට කළු පැහැ වෙනව. ඒ නිසා හොඳ බ්‍රෑන්ඩ් එකකින් මෙය මිලදී ගත යුතුයි. එහෙම නැති වුණොත් දහඩිය දුගඳට විසඳුම් හොයනවට අමතරව සමේ අඳුරු පැහැයට ප්‍රතිකාර කරන්නත් සිද්ධ වෙනවා.
වැදගත්ම දේ පිරිසිදුකමයි…
දහඩිය දැමීමට අපිරිසිදුකම බෙහෙවින් බලපානවා. එක් වරක් ඇඳපු ඇඳුමක් ආයෙම ඇන්දොත් දහඩිය දුගඳ දෙගුණ තෙගුණ වෙලා හමනවා. ඒක තමන්ට වගේම වටේ ඉන්න අයටත් අප්‍රසන්න හැඟීමක් ගෙනදෙන්නක්. ඒ වගේම අත් යට දහඩිය රැඳීම අඩුකරගන්න නිතරම ඒ ආශ්‍රිතව වැවෙන රෝම ඉවත් කර තබාගැනීම කළ හැකියි. පිරිසිදු වන අවස්ථාවේදී අත් යට හොඳින් සෝදා, බොඩි වොෂ් එකකින් පිරිසිදු කරගත යුතුයි. ඉන් අනතුරුව ඇඳුමක් ඇඳීමට ප්‍රථමයෙන් ඩියෝඩ්‍රන්ට් එක භාවිත කළ යුතුයි.

භාවිත කළ යුතු ප්‍රමාණයක් තියෙනවා…
ඩියෝඩ්‍රන්ට් භාවිත කළ යුතු ප්‍රමාණයක් තියෙනවා.මොකද මේ සෑම නිෂ්පාදනයකම කුඩා ප්‍රමාණයක් හෝ රසායනික ද්‍රව්‍ය අඩංගු වෙනවා. සමහරුන්ට මේ කෙමිකල්ස් අසාත්මිකතා ගෙනදෙනවා. ඒ නිසා ඕනෑවට වඩා මෙය තැවරීම නොකළ යුතුයි. සමහර ඩියෝඩ්‍රන්ට් සැෂේ පැකට්වලත් තියෙනවා’ එයින් සුළු ප්‍රමාණයක් අත්ලට දමාගෙන අත් යට සහ ගෙලෙහි ගැල්විය හැකියි.
වටින ටිප්ස් කිහිපයක්…
ගොඩක් දහඩිය දාන අයට පුළුවන් ඩියෝඩ්‍රන්ට් එකක් භාවිත කරනවට අමතරව පවුඩර් ටිකක් තවරාගන්න. ඒ වගේම ඕඩික්ලෝන් වුණත් මේ දහඩිය දුගඳට භාවිත කරන්න පුළුවන්. රෙදි හෝදනකොට රෙදි සෝදා අවසානයේ ඊට එකතු කරන සුවඳ දියරය නිසා දහඩිය දුගඳ හමන එක බොහෝ සෙයින් වැළකෙනවා.
ඒ වගේම ඩියෝඩ්‍රන්ට් එකේ මූඩිය හොඳින් වසා තැබිය යුතුයි. එය වාෂ්ප වන සුළු ද්‍රවයක්. ඩියෝඩ්‍රන්ට් එක නිතරම මූඩිය යට පැත්තට හරවලා තිබ්බොත් ද්‍රාවණය ප්‍රමාණයෙන් අඩු වුණත් ඉක්මණින් ස්ප්‍රේ කරගැනීමේ හැකියාව පවතිනවා.
ඩියෝඩ්‍රන්ට් වෙනයි පර්ෆියුම් වෙනයි…
ඩියෝඩ්‍රන්ට් කියන්නෙ සුවඳ හමන්න භාවිත කරන නිෂ්පාදනයක් නෙවේ. දහඩිය දුගඳ නැති කිරීම වෙනුවෙන්ම නිෂ්පාදනය කරන දෙයක්. නමුත් පර්ෆියුම් එකේ සුවඳ ඩියෝඩ්‍රන්ට් එකට කලින් දැනෙනවා.
මාෂි නෙහන්සා
(Brisbella Academy)
එරංදි කෞශල්‍යා ✍️