බෞද්ධ අපිත් කිතුණු නත්තලට ආදරෙයි
ශ්‍රී ලංකාව විවිධ ජන කණ්ඩායම් ජීවත්වෙන රටක්. මේ විවිධ ජාතීන් අතර ඔවුන්ගේ ආගමික සහ සංස්කෘතික දර්ශනයන් අතරත් වෙනස්කම් තිබෙනවා. නමුත් අපි මේ සියලු ජනතාව සමග සහජීවනයෙන් ජීවත්වීම ඉතාම වැදගත්.
බෞද්ධයන්ට වෙසක් සේම… කිතුණු බැතිමතුන්ට නත්තල
බෝසත් කුමාරයාගේ උපත වෙසක් පුර පසළොස්වක පොහෝ දිනක ලුම්බිනි සල් උයනේ සිදුවීම බෞද්ධ අපට වැදගත් යම් සේද, කිතුණු බැතිමතුන්ට නත්තල් දින මධ්‍යම රාත්‍රීයේදී ජේසු බිලිඳාගේ උපත බෙත්ලෙහෙමේ ගව ලෙනක සිදුවීම සුවිශේෂී බැව් බෞද්ධයන් විදිහට අප අමතක නොකළ යුතුයි. ජේසු තුමාගේ මව මරියතුමියයි. ඇය දෙවියන් කෙරෙහි දැඩි භක්තියකින් සිටියාය. එතුමාගේ පියා වඩු කර්මාන්තයේ නියැලුන ජුසේ තුමාය.
මේ ආගමික ශාස්තෘවරුන් දෙදෙනාම මිනිසුන් ලෙසින් උපත ලබා මිනිසුන් වෙනුවෙන්ම සිය ජීවිතය කැප කළ ශ්‍රේෂ්ඨ ආගමික ශාස්තෘවරුන් අතරට එක් වෙනවා. බුදුහාමුදුරුවෝ දේශනා කළ පරිදිම ක්‍රිස්තුන් වහන්සේද මඩක උපන් පියුමක්, මඩ නොතරවාගෙන ඉස්මතු වූවා සේම, මිනිසුන් අතර සුවිශේෂී චරිතයක් ලෙසින් සම්මානයට පාත්‍ර වුණා. ඒ නිසා බෞද්ධයන් විදිහට අප මේ ශාස්තෘවරයාණන්ගේ ඉගැන්වීම් සහ සමාජ දර්ශනයටත් අනිවාර්යෙන්ම ගරු කළ යුතුයි.

ඒ වගේම ජේසුස් වහන්සේ සමාජ තරාතිරම නොබලා විවිධ පුද්ගලයන්ගේ ඇසුරට ගියා.දේව වචනය දේශනා කරමින් නගර, ගම් පුරා සැරිසැරුවා. මේ සෑම සිදුවීමක් මගින්ම පුද්ගලයන්ගේ ආධ්‍යාත්මික ගුණ වගාවන් වෙනුවෙන් එතුමා යොමු වුණා. මේ සංකල්පය බෞද්ධයන් විදිහට අපි අගය කළ යුතුයි.
පරිත්‍යාගයේ සංකල්පය ලෙස සැලකෙන නත්තල් සීයා
කිතුණු බැතිමතුන් පරිත්‍යාගය බෙහෙවින් අගය කරනවා. බෞද්ධයන් වන අප පූජා බුද්ධියෙන් සහ අනුග්‍රහ බුද්ධියෙන් ලබා දානය අගයන්නේ යම් සේද, කිතුණු බැතිමතුන් අනුග්‍රහ බුද්ධියෙන් හෙවත් අසරණයන්ට, දුගියන්ට ලබා දෙන පරිත්‍යාගය අගය කරනවා. නත්තල් ගහ, නත්තල් සීයා යන සංකල්පයන් පරිත්‍යාගයේ සංකේතය විදිහට සලකනවා. කතෝලික ආගමේ නත්තල් සීයා යනුවෙන් හඳුන්වන්නේ ශාන්ත නිකුලස් පියතුමාය. 3 වන සියවසේදී “ලියාහි” අගනුවර වන පතාරාහි සාන්ත නිකුලස්තුමා උපන් බව පිළිගැනේ.
එතුමන්ගේ මව්පියන් වූයේ එෆ්ෆෙනියන් හා නොන්නාය. මහත් වූ දේපලකට උරුමකම් කීවත් බාල වියේදීම මව්පියන් අහිමි වීම නිසා ශාන්ත නිකුලස් ජීවිතයේ අතරමං විය. නමුත් මව්පිය උරුමයෙන් ලද ධනය කළමනාකරණයකින් හැසිරවීම සඳහා කිතුදහම අනුව ඔහු තමන්ගේ සේවය ලෝකයාට ලබා දීමට තීරණය කළා.
ඔහු අසරණයන්ට පිහිට වීමට වඩාත් අවධානය යොමු කරන ලද්දේ “මයිරා” නගරයේ බිෂොප් තනතුරට පත් වීමෙන් පසුවය. එක්තරා දුගී පියෙකුට තමාගේ දියණියන් විවාහ කර දීමට වත්කමක් නොමැතිව කල් ගෙවද්දී නිකුලස් තුමා රන්කාසි ගෙන ගොස් දුගියාට හොරෙන් නිවසේ ජනේලයෙන් විසි කොට ඇත.
මෙම මුදල් ලබා දුන්නේ කවුදැයි ඔවුන් නොදත්හ. දිනක් ලෝගුවකින් විත් කාසි දමන අමුත්තෙක් දුටු අතර ඔවුන් මේ අමුත්තා අල්ලා බලන විට ඔහු වෙන කිසිවෙකුත් නොව ශාන්ත නිකුලස්තුමා බව දැන ගත්හ. මෙම සිද්ධිය රහසක් සේ තබා ගන්නා ලෙස ඉල්ලා සිටියත් පසුකලෙක ඒ නිකුලස්තුමා බැව් දැනගත්තා. ශාන්ත නිකුලස්තුමා දියණිවරුන් වෙනුවෙන් මුදල් දමන ලද්දේ දුම් කවුළුවේ එල්ලා තිබුණ රතු මේස් කකුලකටය. ඒ නිසා රතු මේස් කකුලටත් නත්තල් සැරසිලි අතර වැදගත් තැනක් හිමි වෙනවා.
කරුණාව දැක්වීම
බෞද්ධයන් විදිහට අපි සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා කියමින් අපා, දෙපා, සිවුපා, බහුපා හැම දෙනාටම මෛත්‍රී කරනවා. කතෝලික ධර්මයේදීත් ජේසුස් වහන්සේ විසින් දේශනා කළ පරිදි “ තමාට මෙන්ම අසල්වැසියාටත් ප්‍රේම කිරීමේ” ඉගැන්වීම මුළුමනින්ම කරුණාව යන සංකල්පය මත පදනම් වී තිබෙනවා. අසරණයන්ට, ගිලනුන්ට පිහිට වීමේ ගුණය නත්තල් දිනයේදී මනාව ප්‍රදර්ශනය වෙනවා. බෞද්ධයන් විදිහට අපි කරුණාව ප්‍රගුණ කරනවා. කිතුණු බැතිමතුන් අන්තර් පුද්ගල සම්බන්ධතාවයන්හිදී කරුණාවට මුල් තැන දී තිබෙනවා.
සැබෑ නත්තල යනු
බෞද්ධයන් විදිහට අපි වෙසක් පොහොය දවසට ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන් වෙනුවෙන් යොමු වෙනවා. කිතුණු බැතිමතුන් නත්තල බොහොම උත්සවශ්‍රීයෙන් සමරනවා. නත්තල් සීයා, නත්තල් ගස ඔවුන්ගේ අනන්‍යතාවය වී තිබෙනවා. ඒ වගේම එදින විශේෂ දවසක් නිසා වෙනදාට වඩා රසවත් විදිහට විශේෂ ආහාර පාන පිළියෙල කරනවා. තම නිවසේ උදවිය පමණක් ආහාරපාන වැළඳීමෙන් පමණක් නත්තලේ සැබෑ අර්ථය ඉෂ්ට වෙන්නේ නැහැ. ඔබ මර්සිලින් ජයකොඩි පියතුමා ගැන දන්නවා. එතුමා හැඳින්වූයේ “මල් පැලේ උපන් පන්සලේ පියනම” යන විරුදාවලියෙන්. ඒ තරමටම සාමකාමී සිත් එතුමා අගය කළා.
බෞද්ධයන් විදිහට අපි පන්සලක් විදිහට අපේ හිත් සාමකාමීව සරලව පවත්වා ගැනීම වැදගත්. ඒ වගේම කිතුණු බැතිමතුන් නිතරම සඳහන් කරන අන්දමට ඔවුන්ගේ සිත් ගවලෙනක් සේ සරල වීම වැදගත්. තමා පමණක් කා බී සතුටු වීම තුළ වටිනාකමක් නැත. ඔබ ඉස්තරම් ලෙසින් රසමසවුළු රස වින්දත් අසල්වැසියා කුසගින්නේ නම් එතැන නත්තලක් නැත. ඔබ වටිනා සළු පිලියෙන් සැරසී පල්ලියට ගියත් තවත් කෙනෙක් වැසරැල්ලෙන් සිටිනවා නම් එය සැබෑ කිතුණු බැතිමතකුගේ නත්තල නොවේ.
නත්තල යනු උපේක්ෂාවෙන් සමාජය දෙස බලන දිනයක් වීම වැදගත්. බෞද්ධයන් විදිහට අපේ දුක නැතිවීම නිවන බැව් සැබෑය. සැබෑ කිතුණු බැතිමතුන් ලෙස තවත් පුද්ගලයෙක් ලෞකික ලෙසින් ලබන දුක් පීඩාවන්හිදී යම් පිහිටක් වීම හෙවත් බුදුදහමේ ඉගැන්වෙන පරිදි තවත් අයෙකුගේ දුක දැකීමෙන් සංවේදී වෙන චරිත ස්වභාවයකින් යුක්ත වෙනවා.
එසේනම් බෞද්ධයන් විදිහට අපි කිතුණු බැතිමතුන් විසින් සමරන නත්තල් උත්සවයේ හරය වටහා ගැනීම වැදගත්. ඔවුන්ගේ ආගමික සංකල්පයන්හි වූ අනන්‍යතාවයන් අවබෝධ කරගෙන නිරන්තව ගොඩනගා ගන්නා සහජීවනයෙන් කටයුතු කිරීම ඉතාම වැදගත්. සැබෑ නත්තල ඇත්තේ ඔබේ හදවතේය. නත්තල අර්ථවත් වන්නේද එවිටය.
මගෙ නත්තල දුගියා බත් කන දාය
මගෙ නත්තල වැරහැලි නැති වන දාය
මගෙ නත්තල ඔබෙ දුක සැනසෙන දාය
මගෙ නත්තල පව පල්ලිය යන දාය
( මර්සලීනු ජයකොඩි පියනම )
කෝට්ටේ කළ්‍යාණ සාම ශ්‍රී ධර්ම
මහා සංඝ සභාවේ අනුනායක
ධුරන්ධර රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති
මකුරුප්පේ සෝමාලංකාර ස්වාමින්වහන්සේ
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️
පන්සලෙන් දකින පල්ලියේ සැබෑ නත්තල – නවලිය
btmznetvxf http://www.g6bw62i6x692bkrj08uy7j28p5f2ju81s.org/
[url=http://www.g6bw62i6x692bkrj08uy7j28p5f2ju81s.org/]ubtmznetvxf[/url]
abtmznetvxf