රවීන්ද්‍ර කුමාර
පුරා වසකට ආසන්න කාලයක් පුරා පැවති Sri Lanka’s Got Talent Season – 2 ජාත්‍යන්තර තරගාවලිය පසුගිය සතියේ අවසන් වුණේ තරගකරුවකුට කිරුළ දිනාදෙමින්. අවසන් තරගකරුවන් තරගකාරිණියන් අතරින් සර්කස් වැඩ පෙන්වූ එකම තරගකරුවා ඔහුයි. ඔහු රවීන්ද්‍ර කුමාර. රවීන්ද්‍ර කියන්නේ හැබෑම දක්ෂයෙක්. ප්‍රේක්ෂකාගාරයේ සිටි සියල්ලන්ම රවීන්ද්‍රගේ හැකියාවන් දිහා බලාගෙන හිටියේ ඇඟ ලොමු දැහැගන්වාගෙන. ඒ හැම කෙනෙක්ගෙම අත් තිබුණේ කම්මුල්වල…
මෙවර ශ්‍රී ලංකන්ස් ගොට් ටැලන්ට් තරගාවලිය ගැන කවුරුත් කියන දෙයක් තමයි සුදුස්සාට දිනුම ලබාදුන්නයි කියන එක. ඒක ඇත්තක් කියලා ඔබටත් හිතෙයි මේ අකුරු කෙරෙන රවීන්ද්‍රගේ කතාව කියෙව්වම. රවීන්ද්‍ර කියන්නෙ තවමත් අවුරුදු 18ක තරුණයෙක්. ඉතින් ඔහුගේ කතාව අද කාලේ තරුණ පරම්පරාවට ලොකු ආදර්ශයක් සපයන නිසා අපි රවීන්ද්‍රට කතා කළා.
රවීන්ද්‍රට ඉන්නෙ අයියලා තුන්දෙනෙක්. නමුත් මේ සිදුවීම් වෙද්දි ඔහු සමඟ ජීවත් වෙමින් සිටියේ එක් සහෝදරයකු පමණයි. රවීන්ද්‍ර කියන විදිහට ඔවුන්ගේ ජීවිතේට කණකොකා හැඬුවේ තාත්තගේ හදිසි මරණයත් එක්ක. සර්කස් සංදර්ශනයක් අතුරතුර ඇති වූ හෘදයාබාධයකින් තාත්තා මියයනකොට ඔහුගේ වයස යන්තම් අවුරුදු පහක් විතර.
එදා ඉඳන් රවීන්ද්‍රයි අයියයි කළේ එක එක ගෙවල්වලට ගිහින් කුලී වැඩක් කරලා හම්බණ කීයෙන් හරි හාල් කිලෝවක් ගෙනත් ලුණු ටිකක් ඉහගෙන කාපු එක. ඒ හාල් මිට ගන්නත් රවීන්ද්‍රටත් අයියටත් කුලී වැඩ බොහොමයක් කරන්නට සිද්ධ වුණා. බඩට දාගන්න බත් ඇටයක් නැති වෙද්දි අයියා මලෝ කළේ හොරෙන් කුරුම්බා ගහකට නැගලා කුරුම්බාවලින් හොඳහැටි බඩ පුරෝගත්තු එක. මෙහෙම කාලෙ ගෙවන රවීන්ද්‍රලාගේ ජීවිත තව තවත් අපායට ඇද වැටෙන්නේ තාත්තාගේ මරණයෙන් සති තුනක් ගිය තැන අම්මත් වෙනත් කෙනකු සමග මොවුන් හැරදා ගිය පසුයි.
“අම්මා ගියා ගියාමයි අද වෙනකල් අපිට කතා කරලවත් නෑ. අම්මා ඉන්න තැනක්වත් අපි දන්නෙ නෑ. අපි ජීවත් වුණේ අගලවත්තෙ රජයට අයිති පාරක ටකරන් ටිකක් වටකරගෙන. තාත්තගෙ මරණෙන් පස්සෙ අවට අය මාවයි අයියවයි එතනින් එලෙව්වා. ඒ දවස්වලට මායි අයියයි කළේ කැලේට වෙලා හිටපු එක. වැස්සට තෙමි තෙමී අපි ඉටි කොළයක් යටට වෙලා දවස් ගණන් හිටියා.” රවීන්ද්‍ර එහෙම කිව්වේ ඇස්වල කඳුළු එළියට පනින්න පොරකද්දි.

මේ සියලු සන්තෑසින් එක්ක රවීන්ද්‍ර කොහොමහරි සෙරප්පු දෙකක් දාගෙන, එකම යුනිෆෝම් එක හෝද හෝද අඳිමින්, ෂොපින් බෑග් එකකට පොත් ටිකත් දාගෙන පාසලටත් ගියා. නමුත් පාසලේදි ඔහුට ලැබුණේ කොන් කිරීමක් විතරයි. කවදාවත් ඉස්කෝලෙට දවල් කෑම අරන් නොගිය රවීන්ද්‍ර කෑම වෙලාවට අනිත් අයගෙ කෑම දිහා බලන් ඉන්නවා කියලා යාළුවෝ ඔහුට සමච්චල් කරන්න පටන් ගත්තා. පාසලෙන් සිද්ධවුණ මේ කෙනහෙලිකම් එක්ක යන්තම් 7 වසරට වෙනකල් පාසල් ගිය රවීන්ද්‍ර පාසල් ගමනටත් සමුදෙනවා.
මේ වෙද්දි රවීන්ද්රලාව බලාගත්තෙ ලොකු තාත්තාගෙ පුතා වන නිරෝෂන් උදයකුමාර. නිරෝෂන් කියන විදිහට ලංකාවේ සර්කස් කලාව මුලින්ම ආරම්භ කරලා තියෙන්නෙ ඔවුන්ගේ සීයා. කාලයක් යද්දි රවීන්ද්‍රටත් හිතෙනවා සර්කස් ඉගෙනගන්න. ඒ වෙනුවෙන් සම්පූර්ණ සහයෝගය දුන්නේ නිරෝෂන්. අද රවීන්ද්‍රගේ ජයග්‍රහණය හමුවේ නිරෝෂන්ගේ ඇහෙන් වැටෙන කඳුළු ඒ කැපකිරීමට සාක්ෂියි.


රවීන්ද්‍ර සර්කස් ආරම්භ කෙරූ අයුරු ඔහු කීවේ මෙහෙමයි. “හැමදාම එක එක රස්සාවල් කර කර ඉන්න බැරි නිසා මං හිතුවා සර්කස් ඉගෙනගන්න. පස්සෙ නිරෝෂන් අයයයි තව අයියා කෙනෙකුයි මට සර්කස් පුරුදු කෙරෙව්වා. මට හිතුණා සර්කස් මගේ ඇඟේම තියෙන දෙයක් කියලා.”
අවසානයේ ඔහු Sri Lanka’s Got Talent පළමු සීසන් එකට අයදුම් කළද වයස මදිකම හේතුවෙන් ඔහුගේ අයදුම්පත ප්‍රතික්ෂේප විය. නමුත් අවසානයේ ඔහු දෙවෙනි සීසන් එකටද අයදුම් කර එම තරගයේ ජයග්‍රාහකයාද වූවේය.
“මේ තරගයට පුහුණ වෙන කාලෙත් මම සිරස මැදිරියට ඇවිත් ආයෙත් යනවා සර්කස් සංදර්ශනවලට. රෑ වෙනකල් සංදර්ශනවල සෙල්ලම් කරලා ආයෙත් රත්මලානට එනවා පුහුණුවීම් කරන්න.” ඔහු එසේ කීය. අපගේ මීළඟ පැනය වූයේ සර්කස් එක්ක මෙතරම් ඔහුට තිබෙනා බැඳීම ගැනයි. රවීන්ද්‍ර එයට පිළිතුරු දුන්නේ මේ විදිහටයි.
“මේක පරම්පරාවෙන්ම එන හැකියාවක් නිසා මට අත්හරින්න හිතුණෙ නෑ. මට හිතුණා සර්කස් කියන දේ මගේ ඇඟේම තියෙනවා කියලා. තාත්තා නම් කියලා තිබුණේ සර්කස් කියන්නෙ හරි භයානක දෙයක් කියලා. නමුත් මට බයක් දැනුණෙ නෑ. මට ඒ දේවල් කරන්න පුළුවන් කියන විශ්වාසය මට තිබුණා. නමුත් අනතුරු නම් ඇතිතරම් වෙලා තියෙනවා. දවසක් උඩකින් වැටිලා පැය ගාණක් සිහිය නැතුවත් හිටියා.”

රවීන්ද්‍ර මේ තරගය වෙනුවෙන් සහභාගී වුණේ තනිවම. ඔහු වෙනුවෙන් චියර් කරන්න හිටියෙ යාහළුවන් කිහිපදෙනෙක් පමණයි. තමන්ට උකස් කළ හැකි සියලු දේ උකස් කර රවීන්ද්‍රට තරගයට අවශ්‍ය වියදම් සැලසුවේ ඔහු සමඟ පුංචි සන්දියේ ජීවිතට සටනට උර දුන් අයියායි. ඒත් සිරස ස්ටුඩියෝවේ හිටපු තරුණ කාර්ය මණ්ඩලය හැකි සෑම අයුරකින්ම තමන්ට නොමද ශක්තියක් වූ බව රවීන්ද්‍ර පවසන්නේ ඔවුන් ගැන උපන් දයාබරත්වයකින්. “තනියම ගේමක් ගහන තරමට තමයි ඒකෙ වටිනාකම වැඩි.” කැමරා ශිල්පියාගේ පටන් සියලුම දෙනා මෙලෙස ඔහුව දිරිමත් කළ අයුරු පැහැදිලි කරන්නට රවීන්ද්‍රට වචන පවා නැත.
රවීන්ද්‍රගේ එකම හීනය තරගයෙන් දිනාගත් ලක්ෂ දහයේ මුදල තමන්ටම කියා නිවසක් තනාගැනීමේ මූලික අදියරට හෝ යෙදවීමයි. ඔහු තවමත් ජීවත් වෙන්නේ යහළුවන්ගේ නිවෙස්වලයි. ජීවිතේ පුංචි පුංචි නොලැබීම් හමුවේ ඉක්මණින් ජීවිතේ හැරයන්නට පෙළඹෙන තරුණ පිරිසට රවීන්ද්‍ර දෙන උපදෙස මෙසේයි.
“පුංචි කාලේ ඉඳන් මං විඳපු වේදනා එක්ක මේ වෙද්දි දෙතුන් වතාවක්වත් මං බෙල්ලෙ වැල දාගෙන. අපිට අපේ දවස කවදහරිම උදාවෙනවා කියන විශ්වාසෙන් ඉන්න. මට උපදේශයක් දෙන්න තේරෙන්නෙ නෑ. නමුත් මං මුහුණ දීපු දේවල් එක්ක අද යම් තැනකට එන්න පුළුවන් වුණා නම් මට වඩා ජීවිතේ සැප විඳින තරුණ නංගිලා මල්ලිලා අක්කලා අයියලාට ජීවිතේ කොහොමත් ගොඩයන්න පුළුවන්.”
එරංදි කෞශල්‍යා ✍️