“අපේ අම්මලා අපිට ගහලා හදපු නිසා තමයි අපි හිරේ නොගිහින් බේරුනේ”
“පොඩි කාලේ ඉඳන් ගුටි දීල තරවටු කරලා හදපු නිසා තමයි අපි අද මෙතන ඉන්නේ”
මේ වගේ කතා ඔබත් නිරන්තරයෙන් මේ සමාජෙදි අහලා ඇති. නමුත් හරි උජාරුවෙන් ඔහොම කියන අතරේ මේ ගැනත් ටිකක් කල්පනා කරලා බලන්න. යමෙක් තමන් හරියි කියලා හිතන දේ අනෙකා නොකෙරුවොත් ඔහුව හෝ ඇයව තලා පෙළීම හෝ ඒ දේ කරනකල් ගහන්න, බනින්න උත්සාහ කරනවා නම්, විශේෂයෙන්ම කුඩා දරුවකුට ඒක නිශ්ඵල ක්‍රියාවක් වෙන්න පුළුවන්. තමන් හරි කියලා හිතෙන දේ දරුවා කරන්නේ නැතිවුණාම අම්මලා ගැහුවට, දරුවා දන්නේ නෑ තමන්ට ගහන්න හේතුව මොකක්ද කියලා. ඔවුන්ට යන පණිවිඩය ගුටියක් දුන්නම ඇඟට රිදෙනවා කියන එක විතරයි.
පුංචි දරුවන්ගේ මොළේ වැඩිහිටියන්ගේ වගේ සංකීර්ණ නෑ. දරුවට දැනෙන්නේ ආදරය, රැකවරණය ආරක්ෂාව විතරයි. අම්මා කියන්නේ මේ දේවල් දෙන ප්‍රධාන කෙනා. ඒ නිසා අම්මට බෑ කේන්ති ගිය පලියට ඒ කේන්තිය දරුවගේ පිටින් මුදා හරින්න. සතුන්ව පුහුණු කරනවා වගේ පුංචි ළමයින්ව පුහුණු කරවන්න බෑ. ළමයින්ට තියෙන්නේ මනුස්ස මොළයක්. ඒ මනුස්ස මොළයට සපයන්න ඕන අර්ථයක්. අපි දරුවෝ ලව්වා යමක් කරවනවා නම් ඒ දේට අර්ථයක් දෙන්න ඕනේ.
“උඹ මේක කරපන් කළේ නැත්නම් උඹට ගහලා හරි මං මේක කරවනවා” කියලා සතෙක්ට වගේ ගහලා හරියන්නෙ නෑ. මොකද රටකට ඕනේ සත්තු නෙවේ. හොඳ පෞරුෂයක් තියෙන දරුවෝ. අම්මල තාත්තලට බැරි ඇයි ඔවුන්ගේ ළමා කාලයට ගිහින් ඔවුන් පොඩි කාලේ අවුල් කරගත්ත තැන් දරුවන්ටත් අවුල් කරගන්න නොදී ඔවුන්ව ආදරෙන් හදාගන්න.
පුංචි දරුවෝ දන්නෙ නෑ කෙනෙක්ට ගරු කිරීමේ අදහස. දරුවෝ ඔය කාලෙදි දන්න එකම දේ ආදරය. ඔය දේ නොදන්න වැඩිහිටියෝ ගෙදරට ආපු කෙනෙක්ට දරුවා වැන්දේ නැතත් ගහනවා. ගරු කිරීම කියන්නේ සංකල්පයක්. නමුත් ආදරේ කියන්නේ හෝමෝනයක්. ඉතින් නිරන්තරයෙන් ගුටි දීලම දරුවව හදන්න ගියොත් දරුවා සමාජය එක්ක තරහක් ඇති කරගන්නවා. මේ ලෝකේ තමන් වැඩියෙන්ම විශ්වාස කරන අම්මා තාත්තා අවිශ්වාස පුද්ගලයන් බවට පත්වෙනවා. දරුවන්ට වෛරය උගන්වන්නේ දෙමව්පියන්මයි. අම්මලා හරි වීරත්වයෙන් කතා කරනවා තමන් දරුවව හදන්නේ ගුටි දීලා කියලා. නමුත් දරුවන්ගේ පැත්තෙන් ඒක දැඩි පීඩාවක්.
ලෝකයක් වෙනස් කරන්න පුළුවන් ආදරයට විතරයි. විනය කියන දේ මේ ලෝකෙට ඕන වෙන්නේ අපි සතුන් හදන හින්දා. හීලෑ කරගන්න ඕන හින්දා. නමුත් මනුස්ස මොළය රසවිඳින්න, ඒ මොළෙන් වැඩගන්න දරුවන්ව හැදුවොත් විනය කියන දේ මහලොකුවට ඕන වෙන්නෙ නෑ. ළමයි අම්මගේ බඩ ඇතුළෙදිම ඇට්ටර වෙලා එන්නේ නෑ. ඔවුන් ඇට්ටර වෙන්නේ ඉපදිලා තමන් හැදී වැඩෙන පරිසරය අනුව. අපි කොච්චර ළමයින්ට ආදරේ කළත් අපිට තව තව ලෝක තියෙනවා. නමුත් දරුවට කුඩා කාලයේ අම්මා තාත්තා විතරයි මුළු ලෝකෙම වෙන්නේ. දරුවව භාරගත්තේ නැත්නම්, එයාව තේරුම් ගත්තෙ නැත්නම් දරුවෝ කොහොමත් නිකම්ම ඇට්ටර වෙනවා.
දෙමාපියන්ගේ යුතුකම දරුවා එක්ක මධ්‍යස්ථව ඉඳලා ඔවුන් තුළ ශක්තිමත් මානසිකත්වයක් ගොඩනගලා සමාජයට බාර දෙන එක. දරුවෝ හැමදාම අපි ළඟ ඉන්නේ නෑ. තරුණ වියට පත්වුණාම දරුවෝ අයිති වෙන්නේ සමාජයට. අපි විකෘති දරුවෙක් නිර්මාණය කරලා ඒ ළමයව සමාජයට මුදාහැරියොත් වෙන්නෙ තවත් එවැනිම විකෘති දරුවන් බිහිවෙන එක.
දඬුවම් නොකර දරුවෝ එක්ක ගනුදෙනු කරන්න ඕන විදි මේ ලෝකේ ඕන තරම් තියෙනවා. දරුවට ගහන්නේ අම්මලා තාත්තලාට එන ආවේගයට මිසක් දරුවව හදාගන්න නෙවෙයි. ඒ නිසා හිතුමතේ තමන්ට උවමනා දේ ළමයා ලව්වා කරගන්න තියෙන වුවමනාවට හැමතිස්සෙම දරුවට ගහන්න යන්න එපා.
මනෝවිද්‍යාඥ
සමිතා ඇතුල්දොරආරච්චි
එරංදි කෞශල්‍යා ✍️