බුදුරජාණන් වහන්සේ විසින් අනුදැන වදාළ පිංකම් අතරට දාන, ශීල සහ භාවනා ඇතුළත් වෙනවා. මේ සෑම පිංකමක් වගේම භාවනාවත් නිවැරදි ලෙසින් සිදුකළොත් අපට එයින් නිසි ප්‍රතිඵල ලබාගන්න පුළුවන්. ඒ වගේම භාවනාව නිවැරදි ලෙසින් සිදු නොවුණොත් අපේක්ෂිත අන්දමින් ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. අද වනවිට පෙරදිග වගේම අපරදිග ලෝකයේත් භාවනාව වෙනුවෙන් වැඩි උනන්දුවක් දැක්වීමේ ප්‍රවණතාවක් ඇති වී තිබෙනවා. මේ සෑම දෙනාගේම අරමුණ ධ්‍යාන, මාර්ගඵල ලබා ගැනීමයි. එහි කිසිම වරදක් අපට දකින්න බැහැ.
ධ්‍යාන, මාර්ගඵල ලබාදෙන පිරිසක් බිහිවීම…
අද වනවිට භාවනාව මගින් ධ්‍යාන,මාර්ගඵල ලබාදෙන ගුරුකුල බිහි වී තිබෙනවා. මේ ගුරුකුලයන් මගින් ව්‍යාප්ත කරන විෂම අදහස් නිසා අද සමාජයේ භාවනාවට යොමුවුණ පිරිස් පවා භාවනාව ගැන නිසි අවබෝධයකින් තොරව කටයුතු කිරීමේ ප්‍රවණතාවක් ගොඩනැගෙමින් පවතිනවා.
භාවනාව ගැන සඳහන් කරනවා නම් අපි ඒ වෙනුවෙන් නිවැරදි මාර්ගෝපදේශයක් ලබාගැනීම වැදගත්. බුදුරජාණන් වහන්සේ භාවනාව ගැන විවිධ සුත්‍ර දේශනාවන්හි විස්තර කර තිබෙනවා. මජ්ජිම නිකායේ 118 වැනි සූත්‍රයෙන් ආනාපාන සති භාවනාව ගැන විස්තර සඳහන් කර තිබෙනවා. ගිරිමානන්ද සුත්‍ර දේශනාවෙත් සතිපට්ඨාන සුත්‍රයෙත් ආනාපාන සති භාවනාව ගැන සඳහන් වී තිබෙනවා. නමුත් අද භාවනාව ගැන සමාජය මෙහෙයවන විවිධ ගුරුකුල මගින් බුදුරජාණන් වහන්සේගේ විග්රහයට පරිභාහිර වූ ඉගැන්වීම් සමාජගත කරමින් සිටිනවා.
භාවනාවට මිනිසුන් යොමුවීම සුබවාදී තත්ත්වයක්…
යම් පුද්ගලයෙක් භාවනාවට යොමුවනවා නම් එය ඉතාම යහපත් ක්‍රියාවක්. නමුත් මෙතැනදී ඒ පුද්ගලයා විසින් නිවැරදි ගුරුවරයෙක් තෝරාගැනීම වැදගත්. අපේ බෞද්ධ භාවනාවන් සමථ සහ විපස්සනා භාවනා මත පදනම් වී තිබෙනවා. ඒ වගේම භාවනාවේදී අපට බුද්ධං සරණං ගච්ඡාමි (බුදුන් සරණ යමි.) ධම්මං සරණං ගච්ඡාමි ( ධර්ම රත්නය සරණ යමි.) සංඝං සරණං ගච්ඡාමි ( සංඝ රත්නය සරණ යමි) යනුවෙන් වූ තෙරුවන් සරණ නොමැතිව භාවනාවට යොමුවීම තුළින් නිසි ප්‍රතිඵල ලබාගන්න බැහැ.
අද වනවිට භාවනාව ගැන විෂම අදහස් ප්‍රචාරය කරන පුද්ගල කණ්ඩායම් බිහිවී තිබෙනවා. මේ අතරට ගිහි පැවිදි දෙපාර්ශ්වයම අයත් වනවා. බුද්ධ දේශනාවට පටහැනි වුණත් මේ පුද්ගලයන් විසින් ඉදිරිපත් කරන ආකර්ශනීය කරුණු, තර්කානුකුල බව නිසා බොහෝ පිරිස් විසින් ඒවා පිළිගන්නවා. ඒ වගේම ඔවුන් මේ අලුතින් බිහිවන භාවනා උපදේශකයන් මත යැපෙනවා විනා බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් අනුව භාවනාව යනු කුමක්ද යන්න නිවැරදි ලෙසින් තේරුම් ගන්නේත් නැහැ.
භාවනාවට නිවැරදි මග පෙන්වන්නා කල්‍යාණ මිත්‍රයෙක්…
උපඩ්ඩ සුත්‍රයේදී ආනන්ද හාමුදුරුවෝ මේ විදිහට කියනවා. ස්වාමිනී, මේ ශාසනයෙන් අඩක්ම පවතින්නේ කල්‍යාණ මිත්‍ර සම්පත්තිය මතයි. එවිට බුදුරජාණන් වහන්සේ මේ විදිහට පිළිතුරු දෙනවා. නැහැ ආනන්ද බුද්ධ ශාසනය සම්පූර්ණයෙන්ම පවතින්නේ කල්‍යාණ මිත්‍ර සම්පත්තිය මතයි. ඒ වගේම භාවනාව ගැන නිවැරදි මාර්ගය කියා දෙන්නේ කල්‍යාණ මිත්‍රයායි. නමුත් අද කල්‍යාණ මිත්‍රයන් අඩුයි.
බුද්ධානුස්සති භාවනාව ගැන එක් පුද්ගලයෙක් මා සමග මෙලෙස කිව්වා. අපි හැමදාම බුද්ධානුස්සති භාවනාව කරනවා. එයින් පසු ඒ දවසට බුද්ධානුස්සති භාවනාව වඩන ලද වාර ගණන පොතක සටහන් කරනවා. ඔහු සඳහන් කළ අන්දමට නියමිත වාර ගණන සම්පූර්ණ වෙන දිනයක් එළැඹෙනවා. එදිනට බුදුරජාණන් වහන්සේගේ මනෝකාය විසින් භාවනානුයෝගී පුද්ගලයාට කමටහන් ලබා දෙනවා. අද මිනිසුන් මෙවැනි මිථ්‍යාවන් හඹා යනවා.
බුදුදහම ප්‍රඥාවන්තයන්ටයි
පඤ්ඤාවන්තස්සායං ධම්මෝ නායං ධම්මෝ දුප්පඤ්ඤස්ස…බුදුදහම ප්‍රඥාවන්තයන්ටයි. ඒ නිසා සිතා විමසා බැලීමේ නිදහස තිබෙනවා. බුද්ධ දේශනාවේ සුත්‍ර ධර්ම 18,000 ක් පමණ තිබෙනවා. බොහෝ දෙනෙක් මේ සුත්‍ර ධර්ම සියල්ල කියවා නැහැ. ඒ නිසාම මිනිසුන් මුලා වෙනවා. යම් පුද්ගලයන් ඉල්ලන දෙයට වැරදිසහගත සැපයුමක් ලැබෙනවා. සූත්‍ර ධර්ම ගැන නිසි අවබෝධයක් නොමැතිව සමාජයට දුර්මත ව්‍යාප්ත කිරීම යහපත් දෙයක් නොවෙයි.
ඒ වගේම හරි දේ සහ වැරදි දේ තෝරා ගැනීමේ ප්‍රඥාවෙන් පුද්ගලයන් යුක්ත වීම වැදගත්. දුර්මත මත යැපීම සර්පයෙකු වලිගයෙන් අල්ලා ගැනීම වැනි අනතුරුදායක ක්‍රියාවක්. බුද්ධකාලීන භාරතයේ පැතිරී තිබුන දෙසැටක් මිථ්‍යාදෘෂ්ටීන් සහ ෂඩ් ශාස්තෘන්වරුන්ගේ ධර්මය සමග මිනිසුන් විවිධ මිථ්‍යාවන් අදහන්න පටන් ගත්තා. මක්ඛලීගෝසාල මිනිස් කෙමනක් විදිහට බුදුරජාණන්වහන්සේ පවා සඳහන් කළ සේක. සමාජයේ මිථ්‍යාවන් සහ දුර්මත ප්‍රචාරය වීම කාලයෙන් කාලයට සිදු වුණත් ඒවා බුද්ධිමත්ව සිතා බලා පිළිගැනීමේ හැකියාව ගොඩනගාගත යුතුයි.
භාවනාවට පන්ති භේදයක් නොමැත
අද බොහෝ දෙනෙක් භාවනා වෙනුවෙන් පන්ති යනවා. භාවනා සැසි පවත්වනවා. මේ ගැන දොස් කියන්න බැහැ. ඔවුන් සත් ක්‍රියාවෙන් ඒ කටයුතුවලට යොමු වෙනවා. නමුත් නිවැරදි ලෙසින් භාවනා ක්‍රම තෝරා ගැනීමත් ඔවුන්ගේ වගකීමක්.ආනාපානසති භාවනාවට ඉරියව් අවශ්‍ය වුණත් බොහෝ බෞද්ධ භාවනා වෙනුවෙන් ඉරියව් අවශ්‍ය නැහැ. ඔබ හුස්ම ගන්නා මොහොතේ පවා මරණානුස්මති භාවනාව වඩන්න පුළුවන්.
මේ හුස්ම ඉහළට ගත්තත්, පහළට දමන තෙක් මාගේ ජීවිතයේ පැවැත්ම අස්ථිරයි, අපේ සිරුරේ දෙතිස් කුනපය මෙනෙහි කරන පිළිකුල් භාවනාව බුදුරජාණන්වහන්සේ දේශනා කළ අන්දමට අමෘතය වැළඳීමක් ජීවිතයේ අනිත්‍ය බව ඔබටම අවබෝධ කර ගත හැකියි. මම වෛර නැත්තෙක් වෙම්වා තරහ නැත්තෙක් වෙම්වා යැයි මෛත්‍රි භාවනාව වඩන්න. සියළු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා යැයි මෛත්‍රි, කරුණා භාවනාව වඩන්න. මට ආයූ, වර්ණ, සැප, බල, ප්‍රඥාව ලැබේවා යැයි මුදිතා භාවනාවත්, අට ලෝ දහමට කම්පා නොවීමේ උපේක්ෂා භාවනාව වඩන්න. දස දිසාව මුල්කර භාවනා කරන්න.
සතර සතිපට්ඨාන භාවනාවේදී ඔබ නිවැරදි සිහිය පිහිටුවා ගත යුතුයි. ඔබේ කය පිහිටුවා ගැනීමේදී සිහියෙන් සිතන්න. හුස්ම ගැනීමේදී සහ පිටකිරීමේදී නිවැරදි සිහිය පවත්වා ගන්න. සිටගැනීම, ඇවිදීම, වාඩිවීම සැතපීම මේ ඉරියව් පවත්වා ගැනීමේදී සිහියෙන් කටයුතු කරන්න. පඨවි, ආපෝ, තේජෝ සහ වායෝ යන සතර මහ ධාතුන් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ලෙස දකින්න. ඇස, කන, දිව, නාසය ශරීරයට අරමුණු වෙන රූප, ශබ්ද, ගන්ධ, රස ලෙස දකින්න.
කඩවත, මාවරමණ්ඩිය සිරි ගෞතම විහාරයේ අනුශාසක,
හිටපු විශ්වවිද්‍යාල කථිකාචාර්ය, ශාස්ත්‍රපති පූජනීය
පොල්පිටිමුකලානේ පඤ්ඤාසිරි ස්වාමින්වහන්සේ
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️