සාහිත්‍ය මාසය අවසන් වී සතියක් ගෙවුණත් ඒකෙ රස්නය ගිහින් නැත්තෙ වසරක් පාසා කොළඹ පැවැත්වෙන ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ කසුකුසව තවමත් තුරන් වෙලා නැති නිසයි. පසුගිය 22 වැනිදා ආරම්භ වුණ පොත් ප්‍රදර්ශනයට මමත් ගොඩවැදුණේ පෞද්ගලිකව අවුරුද්දකට සැරයක් මට පොතක් දෙකක් ගන්න ලැබෙන එකම අවස්ථාව එය නිසා. අද අපේ අපූරු කතා නායකයව මට මුණගැසෙන්නෙත් එතනදි.
“ලංකාවෙ ලොකුම විද්‍යා ප්‍රබන්ධ එකතුව තියෙන්නෙ මෙයා ගාව’. මම ඔහුව ප්‍රථම වතාවට හඳුනගත්තෙ ඒ විදිහට. ඔහු නමින් සඳුන් සමීර සිරිබන්දු. එහෙමත් නැත්නම් පොත් හා සබැඳි බොහෝ දෙනා හඳුනන ‘සන්සරසිදු’’ ඔහු ගැන කනවැකුණු වහාම මට හිතුණා මේ පොත්ගුල්ලාගේ කතාව අකුරු කරන්නට. ඉතින් මේ එහෙම අකුරු කෙරුණු ලංකාවෙ වැඩිම විද්‍යා ප්‍රබන්ධ ප්‍රමාණයේ හිමිකාරයාගේ කතාව…
සඳුන් මුලින්ම කියන්නකො ඔයාගෙ විස්තර ටිකක්
මම සඳුන් සමීර සිරිබන්දු. මූලික අධ්‍යාපනය ලැබුවේ රාවතාවත්ත රෝමානු කතෝලික මිශ්‍ර පාසලෙන්. පසුව පහ වසර ශිෂ්‍යත්ව විභාගය සමත් වෙලා ද්විතියික අධ්‍යාපනය හැදෑරීමට කොළඹ මහානාම මහා විද්‍යාලයට ඇතුළත් වුණා. මම පදිංචි වෙලා ඉන්නෙ මොරටුවෙ. වෘත්තියෙන් බැංකු නිලධාරියෙක්. බොහෝ දෙනෙක් මාව හඳුනන්නේ මං නිර්මාණකරණයේ යෙදෙන ‘සන්සරසිදු‘ කියන අන්වර්ථ නාමයෙන්.
කොහොමද සයි ෆයිවලට කැමැත්තක් ඇති වුණේ?
ඇත්තටම විද්‍යා ප්‍රබන්ධ කියවන ආසාව ඇති වුණේ අපේ කෘතහස්ත පරිවර්තක එස්. එම්. බන්දුසීල මහත්මයා සිංහලට නගපු ආතර් සී ක්ලාක්ගේ විද්‍යා ප්‍රබන්ධ කියවලා. මං බන්දුසීල මහත්මයාගේ සරල සුගම බස් වහරට පුදුම විදිහට ආදරෙයි. අදටත් ඒක එහෙමමයි.
මේ වෙද්දි පොත් කීයක් විතර එකතුවේ තියෙනවද?
ඇත්තටම මේ වසරේ කොළඹ පොත් ප්‍රදර්ශනයෙන් ගත්ත Sci Fi පොත් 26 කට වැඩි සංඛ්‍යාවත් එක්ක මගේ පෞද්ගලික එකතුවේ මේ වෙනකොට විද්‍යා ප්‍රබන්ධ පොත් 500 කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා.
වැඩියෙන්ම කැමති පොතක් හෝ පොත් කිහිපයක් ඇති…
බන්දුසීල මහත්මයා පරිවර්තනය කරපු 2001, 2010, 2061, 3001 අභ්‍යවකාශ වීර චාරිකා කතා මාලාව ඇතුළු සියළුම පොත්, ජේ. ඊ. ගුණසේකර මහත්මයා අනුවාදය කරපු ‘කුංචනාද’, ‘උභයජීව’ වගේම දයාසේන ගුණසිංහ මහත්මයාගේ ‘නිල් තාරකාවට ගිය තිදෙනා’, ප්‍රීති ශ්‍රී කාන්ත මහත්මයාගේ ‘සඳුගේ දියණිය’, දමිත නිපුණජිත් මහත්මයාගෙ ‘කාලාවකාශයේ සිරකරුවා’, ‘විස්මිත සිහින දකින්නා’, සුසිත රුවන් මහත්මයාගේ ‘අවසන් නිරුපද්‍රිතයා’ වගේ කැමතිම Sci Fi පොත්නම් ගොඩක් තියෙනවා.
කොයි කාලෙ ඉඳන්ද මේ පොත් එකතු කරන්නෙ?
විද්‍යා ප්‍රබන්ධ පොත් මිලට ගන්න එක පටන් ගත්තේ ඉස්කෝලෙ යන කාලෙමයි. ඒ කාලේ ‘පොකට් මනි’ විදිහට තාත්තා දෙන සුළු මුදල එකතු කරගෙන ඉඳල උසස් පෙළ උපකාරක පන්තිවලට සහභාගි වෙන්න නුගේගොඩ ගියාම අනිවාර්යයෙන්ම සරසවි එකට ගිහින් විද්‍යා ප්‍රබන්ධ මිලට ගන්නවා. රැකියාවට යන්න ගත්තට පස්සෙත් පුළුවන් හැම වෙලාවෙම පොත් මිලට ගත්තා.
ඒ කියන්නෙ ගන්න පඩිය වැඩියෙන් වියදම් කරන්නෙ පොත්වලටද?
ඇත්තටම මං විලාසිතා කරන්න ඒ හැටි නැඹුරුවක් නැහැ. මං හරිම සරල මනුස්සයෙක්. ඒ වගේම පස්සෙන් පන්නන්න තරම් ලොකු හීනත් නැහැ. ඉතින් ගන්න පඩියෙන් නිවාස ණය වාරික, ගෙදර දොර වියදම් එහෙම අඩු වුණාට පස්සේ අනිවාර්යයෙන්ම පොත්වලට කොටසක් වැය කරනවා.
හැබැයි ලංකාවේ දැනට අවුරුද්දකට සයි ෆයි පොත් පළ වෙන්නේ 25ක් වගේ තමයි. අනික ඒවා අවුරුද්ද පුරා එක එක කාලවල නිකුත් වෙන නිසා එක පාර ලොකු මුදලක් යට කරන්න අවශ්‍ය වෙන්නෙත් නැහැ. හැබැයි හොයාගන්න අපහසු පරණ පොත්වලට නම් සැලකිය යුතු මුදලක් වැය කරන්න සිද්ධ වෙනවා.
කලෙක්ටර් කෙනෙක්ට අමතරව ඔබ සයි ෆයි පොත් ලියනවා නේද?
ඔව්. ඇත්තටම මං පාසල් කාලේ ඉඳලම ලියන්න හරි ආසයි. ඉස්සර ‘විජය’ පත්තරේ ‘21 වැනි සියවසේ දරුවෝ’ අතිරේකයට නිතරම ගද්‍ය, පද්‍ය රචනා ලිව්වා. පාසලේ වාර්ෂික කලා උළෙලේදි ගද්‍ය, පද්‍ය, කෙටිකතා හා චිත්‍ර යන අංශවලින් ජයග්‍රහණ රැසක් ලබාගෙනත් තියෙනවා.
මගේ පළමු වැනි විද්‍යා ප්‍රබන්ධ කතාව වෙච්ච ‘මැවුම්කරුවා’ මගේ අතින් ලියවෙනකොට මගේ වයස අවුරුදු 14 ක් විතර ඇති. ඒ කතාවත් විජය පත්තරේ පළ වුණා. ඒ 1998 දි මා පාසලේ 9 වැනි ශේණියේ ඉගෙන ගනිමින් ඉන්න කාලේ. ඉන් පස්සේ මා අතින් නැවත විද්‍යා ප්‍රබන්ධ පෙළක් ලියැවෙන්නේ 2004 අවුරුද්දෙ උසස් පෙළ කරලා ගෙදර ඉන්න අතරේ. ආවේශයෙන් වගේ එක දිගට ලියැවෙච්ච කතා පෙළක් මං ‘විදුසර‘ විද්‍යා සඟරාවට යොමු කළා.
ඒ කතා හැම එකක්ම තනි තනිව හා ඇතැම් ඒවා කොටස් වශයෙන් එහි පළ වුණා. පස්සෙ මට ඕන වුණා ඒ කතා ටික එකතු කරලා පොතක් වශයෙන් එළි දක්වන්න. ඒ හීනය හැබෑ වෙන්න අවුරුදු 15 ක්ම ගත වුණා. කොහොම හරි 2019 අවුරුද්දෙදි ග්‍රන්ථ ප්‍රකාශනයක් විදිහට ‘ගායා (Gaia) – විද්‍යා ප්‍රබන්ධ හා ෆැන්ටසි කෙටිකතා එකතුව’ එළි දකින්නේ ඒ අනුව. ඉන් පස්සේ 2023 මාර්තු මාසයෙදි මට පුළුවන් වුණා ලංකාවේ සක්‍රීයව විද්‍යා ප්‍රබන්ධ රචනයේ හා පරිවර්තනයේ නියැළිලා ඉන්න ප්‍රවීණ හා නවක ලේඛක ලේඛිකාවන් 19 දෙනෙක් එකතු කරගෙන ඔවුන්ගේ නිර්මාණ 21 ක් ‘ප්‍රොමීතියස්ගේ දරුවෝ – විද්‍යා ප්‍රබන්ධ කෙටිකතා සරණිය’ ලෙසින් ප්‍රකාශයට පත් කරන්න.

එහි මගේ නිර්මාණයකුත් ඇතුළත්. මෙවර කොළඹ අන්තර්ජාතික පොත් ප්‍රදර්ශනයේදී S & T ප්‍රකාශනයක් විදිහට එළි දුටුව ‘100 Drabbles – වචන සියයේ විද්‍යා ප්‍රබන්ධ සියයක්’ කියන පොතෙත් මගේ විද්‍යා ප්‍රබන්ධ කතා 06 ක් ඇතුළත් වෙනවා. ඇත්තටම අප හිතවත් පාලිකා විතාන මහත්මිය විසින් ලංකාවට හඳුන්වලා දුන්න මේ අලුත් සාහිත්‍යාංගය ලංකාවේ අපට අලුත් අත්දැකීමක්.
මේ වෙද්දි ලංකාවෙ තියෙන එකම විද්‍යා ප්‍රබන්ධ නාමාවලිය තියෙන්නෙත් ඔබ ගාව…
ඇත්තටම මේ විද්‍යා ප්‍රබන්ධ නාමාවලිය සකස් කිරීමේ අදහස මුලින්ම ඇතිවුණේ එවකට විදුසර ප්‍රධාන කර්තෘ දමිත නිපුණජිත් මහත්මයාගේ අදහසකට අනුව. ඒ 2021 අවුරුද්දේ පළ වුණ විදුසර 34 වැනි සංවත්සර කලාපය වෙනුවෙන් මා ලියූ ලිපියකින්. එහිදි අපි උත්සාහ කළා ලංකාවේ එතෙක් මෙතෙක් පළ වී ඇති විද්‍යා ප්‍රබන්ධ (ස්වතන්ත්‍ර සහ පරිවර්තන) කෘතිවල නාම ලේඛනයක් සකස් කරන්න.
නමුත් පුවත්පතේ ඉඩකඩ මදවීම නිසා අපට එහි පළ කරගන්න පුළුවන් වුණේ පොත් 300 ක පමණ විස්තර විතරයි. කවරයේ ඡායරූප පළ කරගන්නත් අපට ඉඩකඩ මදිකම හරස් වුණා. පසුව මගේ හිතමිත්‍ර ග්‍රන්ථ ආයතනයේ අධ්‍යක්ෂ දසුන් සමීර වීරසිංහ එක්ක එකතු වෙලා එම සම්පූර්ණ නාම ලේඛනය කවරයේ පැහැදිලි වර්ණ ඡායාරූප සහිතව වෙබ් අඩවියක් බවට පත් කළා. https:\\scifibooklist.grantha.lk\ කියන සබැඳිය ඔස්සේ ඕනෑම කෙනෙකුට එම විස්තර ලබාගන්න පුළුවන්.
කැමැත්තක් තියෙන්නේ විද්‍යා ප්‍රබන්ධවලට විතරමද?
අපෝ නැහැ. නවකතා, කෙටිකතා වගේම කවි වලටත් මං කැමතියි. නමුත් මොකක්දෝ හේතුවකට විද්‍යා ප්‍රබන්ධවලට මගේ හිත නිරායාසයෙන් ඇදිල යන එක නවත්තන්න අමාරු වෙලා තියෙනවා.

පොත් එකතු කරනවට අමතරව සඳුන්ට තව විනෝදාංශ තියෙනවද?
ඔව්. පොත් කියවන එක තමයි අනිත් විනෝදාංශය. ඊට අමතරව මං මුද්දර, සිහිවටන පත්‍රිකා හා මුල් දින කවර එකතු කරනවා. ඊටත් අමතරව චිත්‍රපට නැරඹීමට වගේම විඩියෝ ක්‍රීඩාවලටත් එක සේ කැමතියි. විශේෂයෙන්ම විද්‍යා ප්‍රබන්ධ ශානරයේ චිත්‍රපට හා රූපවාහිනි මාලා නාටක, කාටූන් හා වීඩියෝ ක්‍රීඩා නම් අත්හරින්නෙම නැහැ.
මොකක්හරි ඉලක්කයක් ඇතුවද මේ වැඩේ පටන්ගත්තෙ?
ඇත්තටම පටන් ගන්නකොට නම් එහෙම ඉලක්කයක් තිබුණේ නැහැ. නමුත් පසුකාලීනව මා සතු විද්‍යා ප්‍රබන්ධ එකතුව වැඩෙන්න ගත්තම මට ඉලක්කයක් ඇතිවුණා. ඒ තමයි ලංකාවේ එතෙක් මෙතෙක් පළවුණු හැම විද්‍යා ප්‍රබන්ධ කෘතියකම මුල් පිටපතක් සොයාගෙන එය අනාගත පරම්පරාව වෙනුවෙන් සංරක්ෂණය කොට තැබීම. මගෙන් පසුව එය පුස්තකාලයක් බවට පත්කිරීමේ අදහසකුත් තියෙනවා.
එකතු කරල තියෙන සේරම පොත් කියවලාද තියෙන්නේ ?
මේක නම් මාව අමාරුවේ වැටෙන ප්‍රශ්නයක්. අවංකවම කියනවනම් මගේ එකතුවේ තියෙන බහුතරයක් පොත් මං කියවලා තියෙනවා. නමුත් කියවන්න තියෙන පොත් යම් ප්‍රමාණයකුත් තියෙනවා. මොකද පැයට පිටු 100 ක, 200 ක වේගයෙන් පොත් කියවලා මට පුරුද්දක් නැහැ.
මට පොතක් කියවන්න ඕන ඒක රසවිඳින ගමන් සහ ඊට අදාළ චිත්ත රූප හිතින් මවාගන්න ගමන්. ඉතින් සැලකිය යුතු කාලයක් පොතක් කියවන්න ගතවෙනවා. අනික් කාරණය තමයි එකතුවට අවශ්‍ය නිසා මිල දී ගත්තට සමහර පොත් පිටුවක් දෙකක් කියවද්දිම කියවන්න එපා වෙනවා. ඒවා ඒ තරම් නීරසයි. ඉතින් එහෙම බැලුවොත් පොත් කිහිපයක් තියෙනවා තවම කියවල නැති.
සඳුන්ගෙ මේ පොත් පිස්සුව කොතනින් කොහොම කෙලවර වෙයිද?
අපේ අම්මා ඉස්සර ඉඳලම අපිට කියල දීපු දෙයක් තමයි ‘කරතොත් කරපන් හරියට – නැතිනම් පලයන් අහකට’ කියන දේ. ඉතින් මේ සයි ෆයි ඉත්තෑවා මා තුළ දුවන තාක් කල් විද්‍යා ප්‍රබන්ධ එකතු කරන, සංරක්ෂණය කරන වැඩේ වගේම විද්‍යා ප්‍රබන්ධ නාමාවලිය යාවත්කාලීන කරන වැඩෙත් දිගටම සිද්ධ වෙයි.
එරංදි කෞශල්‍යා