ගිනි කන්දක් උඩ දැවෙන මිනිස්සු ඉන්න රටක ඒ මිනිස්සුන්ගෙ මූණට හිනාවක් ගේන්න පුළුවන් දෙයක් ලැබෙනව නම් ලැබෙන්නෙ හරි කලාතුරකින්. ක්‍රිකට් කියන්නෙත් ඒ වගේ ජාති ආගම් බේද නැතිව හැමෝම එකා වගේ තමන්ගෙ රට වෙනුවෙන් චියර් කරන උපරිම විනෝදාස්වාදයක් ලබන ක්‍රීඩාවක්. හැබැයි මෙවර ආසියානු කුසලාන තරගාවලිය පටන්ගැන්මේ ඉඳන්ම ක්‍රීඩා ලෝලීන් තුළ තිබුණ උද්යෝගය අවසන් මොහොතේ නැතිවෙලා ගියේ හරියට හුළං පුම්බපු බැලුමකට කට්ටකින් ඇන්නා වගේ.
අවසන් තරගයේදී කුසලානය අපෙන් ගිලිහී ගියත් ඒ හා සමාන ආත්ම තෘප්තියක් ආයෙත් අපට ලැබුණේ ලෝකෙ හොඳම ග්‍රවුන්ඩ් ස්ටාෆ් එක ඉන්නෙ අපි ගාව කියල මුළු ලෝකෙම කතා කළ නිසා, පැසසුම් ලැබුණු නිසා. හරියටම කිව්වොත් තරග පරාජයේ දුක තුනී වුණේ මේ මිනිස්සු නිසා කිව්වොත් හරියටම හරි. ඉතින් පහුගිය දවස් ටිකේ නිතරදෙවේලේ මහ වැස්සෙ කඩියො වගේ ග්‍රවුන්ඩ් එක වහන්න අරින්න දුවගෙන ගිය මේ සුන්දර මිනිස්සුන්ව හැබෑවටම දකින්න අපි ගියා ඛෙත්තාරාම ක්‍රීඩාංගණයට…
සියලුම සේවකයන් නොහිටියත් හත් අට දෙනෙක් ඔවුන්ගේ අත්දැකීම් අපිත් එක්ක බෙදාගත්තෙ හරිම සතුටකින්. මුලින්ම අපිත් එක්ක කතා කළේ අවුරුදු 17 ක් පුරාවට ග්‍රවුන්ඩ් ස්ටාෆ් එකේ ඉන්න සමන් පෙරේරා.වැඩි අටුවා ටීකා නැතුව අපි කතාව පටන්ගත්තෙ ඔවුන්ගේ සේවයෙන්ම…
“ප්‍රධාන නිලධාරීන් ඇරෙන්න 34 දෙනෙක් ග්‍රවුන්ඩ් ස්ටාෆ් එකේ ඉන්නවා. ඊට අමතරව මේ පාර ආසියානු කුසලාන තරගාවලියට වෙනත් ක්‍රීඩාංගණවලින් සේවකයින් 140 ක් ගෙන්නගත්තා. අපි හැමවෙලේම බලාගෙන ඉන්නවා වැහි කළුවක් එනවද කියලා. අපිට තියෙන පළපුරුද්දෙන්ම කියන්න පුළුවන් තව ටිකකින් වහීද නැත්නම් වැහි කළුව තිබුණට වහින්නෙ නැද්ද කියලා. විශේෂයෙන්ම යාර 30 සීමාවට ක්‍රිඩාංගණයේ හතර පැත්තෙන් අපි කට්ටිය යොදවලා ඉන්නවා. ඉස්සෙල්ලාම වහන්නෙ පිච් එක. එතනනෙ ක්‍රීඩාංගණයක වටිනාම තැන. අපි විනාඩි 7 – 10 අතර කාලය තුළ මුළු ක්‍රීඩාංගණයම වැසිය යුතුයි.”
සේවා කාලය තුළ සමන් ඇතුළු කණ්ඩායම වැඩියෙන්ම අභියෝගවලට මුහුණ දුන්නෙ මෙවර ආසියානු කුසලාන තරගාවලියෙදිලු. ඒ කඩින් කඩ ඇතිවුණ අධික වර්ෂාවත් එක්ක නිතරම ක්‍රීඩාංගණය වහන්න සිද්ධවුණ නිසාලු.
“අපි අපේ රාජකාරිය කරන්නෙ දේවකාරියක් වගේ. අපි රාජකාරිය අකුරට කළා. ඒක නිසා තමයි අද මුළු ලෝකයෙන්ම අපිට පැසසුම් ලැබෙන්නෙ. ලෝකෙම අවධානයක් අපිට ලැබුණ එක ගැන අපිට ගොඩක් සතුටුයි. ඒත් අපි එහෙම දෙයක් බලාපොරොත්තු වුණේ නෑ. මං හිතන්නෙ අපි වෙනුවෙන් තෑගි මුදලක් ලැබුණ පළමු අවස්ථාවත් මේක.”
මේ අතරෙ අපිත් එක්ක කතාවට එකතු වුණේ අමිත් සාරංග. ඔහුගේ සේවා කාලය අවුරුදු 12 ක්…
“මෙවර තරගාවලියට සහභාගී වුණ සියලුම කණ්ඩායම් අපිත් එක්ක සුහදව කටයුතු කළා. ඒ අතරින් ඉන්දියානු කණ්ඩායම විශේෂයි. ඔවුන් සියල්ලම අපිත් එක්ක කතාබහ කළා. විශේෂයෙන්ම රෝහිත් ෂර්මා. ඔහු අපිව ගොඩක් ඇගයුවා. හැමවෙලේම අපිව දිරිමත් කළා. අපේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමත් අමතක කරන්න බෑ. ඔවුන් අපිට ලොකු සහයෝගයක් දුන්නා. නිතරම අපි ගැන හොයලා බැලුවා. ඔවුන්ව අපිට නිතරම මේ ක්‍රීඩාංගණයෙදි මුණගැහෙනවා ක්‍රිකට් පුහුණුවීම් කෙරෙන්නෙ මෙතන නිසා.”
මගේ ඊළඟ ප්රශ්නය වුණේ වැඩියෙන්ම ක්‍රීඩාංගණය වහන්න දුවන්න වුණ තරගාවලිය ගැන…
“පාකිස්තාන් – ඉන්දියා මැච් එකේදි තමයි අපිට වැඩියෙන්ම ග්‍රවුන්ඩ් එක වහන්න දුවන්න වුණේ. ඒක වැස්ස නිසාම දවස් දෙකක් ගැහුවනෙ. ටූනමන්ට් කාලෙදි සාමාන්‍යයෙන් අපි උදේ 6 -7 ඉඳන්ම ග්‍රවුන්ඩ් එකේ ඉන්නවා. 10. 30 ට වගේ ක්‍රීඩාංගණේ අදාළ තැන්වලට දාන අයව පෝලිම් ගස්සලා ලෑස්ති කරනවා. මැච් එක ඉවර වුණත් අමතර පැයක් දෙකක් ඉඳලා තමයි අපි ක්රීඩාංගණෙන් යන්නේ. පිච් එකේ කඩතොළු හදලා, ක්‍රීඩකයන්ගේ බූට් මාක්ස් පවා මකලයි අපි එළියට යන්නෙ.”
එළියෙ ඉඳන් බලන කෙනෙක්ට මේ කඩියො දැක්කම හිතෙන්නෙ මේ වැඩේ හරිම සිම්පල් කියලා. ඒත් එහෙම දුවගෙන යද්දි මේ අය අනතුරුවලට මුහුණ දීපු අවස්ථාත් තියෙනවා.
“සමහරු ටෙන්ට් එකට යටවෙලා වැටිලා අත පය කැඩුණා. එක්කෙනෙක් එහෙම දුවගෙන යද්දි කාණුවක් වහල තිබුණ දැලක් කඩාගෙන කාණුවට වැටුණා. අපිට මේ ක්‍රීඩාංගණයේ අමතක නොවන සිදුවීම් නම් ඕනතරම් වෙලා තියෙනවා. නමුත් ආසියානු කුසලානයෙදි සිදුවුණ අමතක නොවන සිදුවීම තමයි අපිව අගයලා තෑගි මුදලක් ලැබුණ එක. ඒ වගේම 2012 අවුරුද්දෙ පාකිස්ථාන් ටුවර් එකේදි ඇන්ජලෝ මැතීව්ස් ලාස්ට් ඕවරේදි මැච් එක දිනවලා දුන්න අවස්ථාව අපිට ජීවිතේට අමතක වෙන්නෑ. එදත් අපි ග්‍රවුන්ඩ් එකේ හිටියා.”
ආයෙත් අපේ කතාවට එකතු වුණේ සමන් පෙරේරා…
“මෙච්චර අවුරදු ගාණක් එකදිටම වැඩ කරන්න බෑ අපිව හොඳින් බලාගන්නෙ නැත්නම්- අපිට අවශ්‍ය සියලුම පහසුකම් ක්‍රිකට් ආයතනය සලසල තියෙන්නෙ. විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ අපේ ග්‍රවුන්ඩ් එක බාර ගොඩ්ෆ්‍රි සර්. එතුමා අපි ගැන හොඳින් හොයලා බලනවා. ගොඩක් අය හිතන් ඉන්නෙ ග්‍රවුන්ඩ් ස්ටාෆ් එකේ ඉන්නෙ දවස් පඩි ගන්න ඒ දවසට ග්‍රවුන්ඩ් එක අවටින් හොයාගන්න කොල්ලො කියලා.
ඒ වගේම මිනිස්සු හිතන්නෙ අපි කරන්නෙ ග්‍රවුන්ඩ් එක කවර් කරන වැඩේ විතරයි කියලා. අපි තමයි මේ ක්‍රීඩාංගණයේ තණකොළ මේන්ටේන් කරන්නෙත්. පිච් එක හදන්නෙත්. අවසානයේ පිච් රිපෝට් එකේදි සියල්ලම හොඳින් තිබිය යුතුයි. මොකද අපි කෙරෙහි විශ්වාසයක් තියෙන නිසානෙ මේ දේවල් අපිට කරන්න බාරදීලා තියෙන්නෙ.
මේක හැමෝටම නොලැබෙන අවස්ථාවක්. සල්ලි වියදම් කරලත් මැච් එකක් බලන්න නොලැබෙන මිනිස්සු ඉද්දි අපිට ග්‍රවුන්ඩ් එකේ ඉඳන්ම රස්සාවත් කරන ගමන් මැච් එකත් බලන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම ලෝක ප්‍රසිද්ධ ක්‍රීඩකයො එක්ක කතා කරන්න, පින්තූරයක් ගන්න අපිට පුළුවන්. පඩියකට වැඩ කරනවට වඩා අපි ලොකු ආත්ම තෘප්තියක් ලබනවා. ඒ අතින් අපි හරි වාසනාවන්තයි.”
ග්‍රවුන්ඩ් ස්ටාෆ් එක ගැන කතා කරද්දි අනේකවිද අභියෝග මැද්දෙ 40 වසක් පුරාවට නිසි ප්‍රමිතියට ජාත්‍යන්තර තණතීරු පවත්වගෙන යන්න රැයක් දවාලක් නොබලා කැපවෙන ඔවුන්ගේ නියමුවා ගැන කතා නොකර බෑ. ඔහු ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර තණතීරු භාර කළමනාකරු ගොඩ්ෆ්‍රි දාබරේරා.
“අපි සිස්ටම් එකකට ග්‍රවුන්ඩ් එක කවර් කරන්න මෙයාලව පුහුණු කරලා තියෙන්නෙ. මැච් එකක් පටන්ගන්න කලින් රිහසල් එකක් කරනවා. ටයිමින් බලනවා.අනිවාර්යයෙන්ම ග්‍රවුන්ඩ් එක වහන්න ගතවෙන කාලය තරග තීරකට ලබාදෙන්න ඕනෙ.
මං සන්තෝස වෙනවා ලෝකයේ ඉන්න හොඳම ග්‍රවුන්ඩ් ස්ටාෆ් එක විදිහට අපි ගැන කතාබහක් ඇති වුණාට. හැබැයි මේ පාර විතරක් නෙවෙයි අවුරුදු ගාණක ඉඳන් ලංකාවෙ තමයි හොඳම ග්‍රවුන්ඩ් ස්ටාෆ් එක ඉන්නෙ. නමුත් මේ පාර තරගාවලියෙදි තමයි අපිව ලෝකෙම දැනගත්තේ. ආසියානු ක්‍රිකට් සංගමයෙන් අපිව ලෝකෙ හොඳම ග්‍රවුන්ඩ් ස්ටාෆ් එක විදිහට රෙකග්නයිස් කරපු නිසා තමයි අපිට ඩොලර් 50000 ක් ලැබුණෙත්. හැමෝටම ප්‍රශ්නයක් තියෙනවා මේ ලැබුණ මුදල කොහොමද බෙදෙන්නෙ කියලා. ඒක මම සාධාරණව බෙදනවා. ඉදිරියේදී ඒ බෙදෙන විදිහ දැනුම් දෙනවා.”
රාත්‍රී කාලයෙදි කාලගුණේ ගැන අවබෝධයක් ගන්න එක හරි අමාරු වැඩක්. ඒත් අපේ ග්‍රවුන්ඩ් ස්ටාෆ් එකටනම් වහිනවද නැද්ද කියලා හුළඟින් අනුමාන කරන්න පුළුවන්ලු.
“මම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වෙදර් රිපෝට් එක අනුව 100% ක්ම වැඩ කරන්නෙ නෑ. මොකද ඊට වඩා අපිට හුළඟයි අහසයි එක්ක දුවන්න පුළුවන්. අපි කරන්නෙ පැයක දෙකක වැඩක් නෙවේ. පැය අටක නවයක වැඩක්. ඒ නිසා වෙදර් රිපොට් එක එච්චර සාර්ථක නෑ මැච්වලට. ඔවුන් මැච් ගහන්න එපා කියද්දි තමයි අපි ග්‍රවුන්ඩ් එක සැරින් සැරේ වහල හරි මැච් ටික ගැස්සෙව්වෙ. වහින්න විනාඩි දෙක තුනකට කලින් අපි ග්‍රවුන්ඩ් එක වහනවා. නිල් පාට ටෙන්ට් එක උස්සලා සිග්නල් එක දුන්නම අම්පයර් දන්නවා දැන් වහින්න යන්නෙ කියලා.
ග්‍රවුන්ඩ් එකේ වැඩවලට අරගෙන ඉන්න සේරම පොලිස් රිපෝට් අරගෙන, CID එක දම්මලා හොඳට හොයලා තමයි අරගෙන ඉන්නෙ. මෙතන ඉන්නවා වැරදි වැඩවලට ඇබ්බැහි වුණ තරුණයොත්. ඒ නිසා අපිට අවදානමක් ගන්න බෑ. මුල් කාලෙ සමහරු ග්‍රවුන්ඩ් ස්ටාෆ් එකට සම්බන්ධ වෙන මුවාවෙන් ආවෙ සීට්වල ඉඳගෙන මැච් බලන්න. වැඩ කරන්න අඳින ටී ෂර්ට් එක යටින් වෙනම එකක් ඇඳන් එනවා. මේ සේරම මම නැවැත්තුවා. හැමෝටම රේඩියම් පාට ටී ෂර්ට් දුන්නා. මොකද ඕන තැනක ඔවුන්ව අඳුරගන්න පුළුවන් නිසා.”
මේ කතාවෙදි ඉන්දියානු ක්‍රීඩකයින් දෙදෙනාගෙන් ලැබුණු ත්‍යාග මුදල ගැනත් අහලා බැලුවා.
“සිරාජ්ගෙන් ලැබෙනවා කිව්ව ඩොලර් 5000 ගැන තාම කිසිම දැනුම්දීමක් අපිට කරලා නෑ. රෝහිත් ෂර්මා දුන්න මුදල් ත්‍යාගයේ කතාවත් බොරුවක්. රෝහිත්ට ලැබුණ ඩොලර් 15000 ඩමි චෙක් එක බිම තියෙද්දි ඒක උස්සගෙන සේවකයො කිහිපදෙනෙක් ෆොටෝ අරන්. රෝහිත් ෂර්මත් ඒ වෙලාවෙ එතනට ඇවිත් ඔවුන් එක්කම ෆොටෝ එකට පෙනී ඉඳලා. ඔය පින්තූරෙ සෝෂල් මීඩායාවල ගියෙ සම්පූර්ණයෙන්ම අසත්‍ය තොරතුරක් එක්ක.”
මේ පාර තරගාවලිය අතුරතුර ක්‍රීඩාංගණය වහන නිල් තිරයට අමතරව අපි දැක්කා තිරය ඉවත් කළාට පසුව ක්‍රීඩාංගණය වටා යන අපූරු උපකරණයක්. මෙහි නිර්මාතෘත් මොහුයි.
“මම හැදුවා DG කියලා විශේෂ මැෂින් එකක්. ඒකෙන් වැස්සකට පස්සෙ ඉක්මණින් ග්‍රවුන්ඩ් එක වේලගන්න පුළුවන්. Super Soper දාල වතුර අයින් කරන්න ගියොත් පැය එකහමාරක් විතර යනවා. අම්පයර්ස්ලා කැමතියි සුපර් සොපර් එකෙන් වතුර අයින් කරන්න. නමුත් ඒකෙන් වෙන්නෙ මැච් එක පටන්ගන්න තවත් පරක්කු වෙන එක. ඒත් DG එකෙන් පුළුවන් විනාඩි තිහෙන් වතුර අයින් කරන්න.”
තමන්ගෙ ආසාවනුත් යටපත් කරගෙන තම කර්තව්‍ය අකුරට කරන්න කැපවෙන විදිහ ගැන ඔහු කිව්වෙ මෙවැන්නක්.
”මම මගේ තැන තියාගෙන ඉන්න ඕනෙ. මම එක ක්‍රීඩකයෙක් එක්කවත් කතා කරන්නෑ. ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක ඈශ්ලි ද සිල්වා, පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් සහ කැප්ටන් දසුන් කියන විදිහට තමයි මම විකට් එක හදන්නෙ. වෙන කවුරුත් කියන විදිහට මම වැඩ කරන්නෙ නෑ. මට මනුස්සකමක් නැතුව නෙවේ.
නමුත් මම මගේ රස්සාව රැකගන්න ඕනෙ. මමත් ආසයි කෝලිලා ෂර්මලා එක්ක ෆොටෝ එකක් ගන්න. ඒත් ඊටපස්සෙ පිටින් බලන අය හිතන්නෙ මම එයාලා එක්ක එකතුයි කියලා. බැරිවෙලාවත් බුකීකාරයෙක් ඇවිත් අපෙන් වතුර එකක් ඉල්ලුවත් ඇති අපිව පරීක්ෂණයකට ඇතුළට යවන්න.
මම මැච් එක ඉවර වෙනකල්ම ග්‍රවුන්ඩ් එකට වෙලා බලන් ඉන්නෙ. ලොකු වැස්සක් ආවොත් ඇතුළට ඇවිත් ටීවි එකෙන් බලනවා. ඒත් මම ටීම් එක එක්ක වෝකිටෝකිවලින් සම්බන්ධ වෙලා ඉන්නෙ නිතරම. මම ස්ක්‍රීන් එකෙන් එයාලා කරන දේ බලාගෙන ඉඳලා උපදෙස් දෙනවා. අපිට මැච් එක බල බල විනෝද වෙන්න බෑ. අපි 100% ක්ම ග්‍රවුන්ඩ් එක දිහා බලන් ඉන්න ඕනෙ වගේම ග්‍රවුන්ඩ් එකේ වෙන දේවල් ගැන සම්පූර්ණ වගකීමක් අපිට තියෙනවා.”
එරංදි කෞශල්‍යා