“Village Kitchen,”, අපි වෙනදා දකින සාමාන්‍ය කුකින් You tube නාලිකාවකින් ඔබ්බට ගිය වෙනස්ම ආරයකින් කෑම රෙසිපි අරන් එන නාලිකාවක්. ඔවුන් ගැමි සංස්කෘතියට මූලිකත්වය දෙමින් අම්මා, තාත්තා, දුව, පුතා මූලික කරගෙන කෑම හදන පුංචි පවුලක්. මැටි ගෙදරක, මැටි වළංවල ගමේ කෑම උයන මේ පුංචි පවුලේ අම්මා, අනෝමා සිරිවර්ධන එක්ක අපි අද ටිකක් කතා කළා.
Village Kitchen පටන්ගන්න හිතුවේ ඇයි?
අපේ පුංචි කාලේ හරිම ලස්සනය‘. ඉස්කෝලෙ ඇරිලා එනවා. ඇළ දොළවල පීනනවා, කුඹුරු අතර එහෙ මෙහෙ දුවනවා, වක්කඩේ මාළු පැටව් අල්ලනවා. ඒත් දැන් ළමයින්ට එහෙම තත්ත්වයක් නෑ. ඒක නිසා මට හිතුනා මගේ ළමයින්ට ඒ ලස්සන දවස් දෙන්න. ඒ කාලේ කොහොමද කියලා එයාලට උගන්වන්න. ඊට පස්සේ මං ඒ දේ එයාලට දුන්නා. එයාලට ගැමි පරිසරය කොහොමද කියලා කියලා දුන්නා. ඊට පස්සේ මට හිතුණා ඇයි මගේ ළමයි විතරක්, මං අනිත් ළමයින්ටත් ඒ දේවල් දෙනවා කියලා. ඒක නිසා මේ නාලිකාව කරන්න හිතුවා.
මුල් අදහස ක්‍රියාත්මක කරේ කොහොමද?
ඇත්තටම නාලිකාවක් කරන්න ඕනේ කියලා අදහසක් තිබ්බේ නෑ. අපේ පළවෙනි වීඩියෝ එක මගේ මහත්තයා ගත්තේ. මම නිකං උයන ගමන් ඉද්දී නිකමට වගේ තමයි youtube channel එකක් හදලා අප්ලෝඩ් කරේ. ඒ දවස්වල අපේ චැනල් එකට කිව්වේ ගමේ කුස්සිය කියලා. පස්සේ වීඩියෝ දාද්දි මගේ මහත්තයට හිතුණා ඊට වඩා Village Kitchen නම හොඳයි කියලා. එහෙම තමයි මේ නාලිකාව පටන් ගත්තෙ.
පවුලේ අයගෙන් ලැබෙන සහයෝගය මොන වගේද?
මගේ ලොකුම සහයෝගය මගේ මහත්තයා චමින්ද දීපාල් ජයකොඩි. එතකොට මගේ ළමයි දෙන්නා රවිදු මතීෂ, කාවින්ද්‍යා කෞශල්‍යා ජයකොඩි. ඊට අමතරව මගේ මල්ලිත් වෙලාවකට ඇවිල්ලා මට උදව් කරනවා. තව මගේ අම්මයි තාත්තයි මගේ මහත්තයගෙ අම්මයි තාත්තයිත් මගේ මේ වැඩවලට උදව් කරනවා.
ලංකාවේ අනිත් youtube වලට වඩා ඔයාලගේ නාලිකාව වෙනස්. එහෙම වෙන්න මොනවද කළේ?
මේක අපේ සම්ප්රදාය. ගැමි සම්ප්රදාය කියන්නේ අපේ උරුමයක්. ඒ විදිහට තමයි මගේ මේ කුකින් චැනල් එක කරන් යන්නෙ. ඒ වගේම තමයි මගේ වීඩියෝ බලන කට්ටිය ප්‍රතිචාරවලටත් මං ඇහුම්කන් දෙනවා. එයාලා කියනවා නම් මේ දේ මෙහෙම කළොත් හොඳයි කියලා මං ඒ ගැන හිතලා බලනවා. ඒ දේ කරනවා. එයාලා තමයි මගේ හයිය.
මොන වගේ කෑම බීමද හදන්නේ ?
ගොඩක් වෙලාවට හදන්නේ අපේ ගැමි සංස්කෘතියට අයිති කෑම. සමහර අවස්ථාවලදී චූටි චූටී වෙනස්කම් කරනවා.
අලුත් කෑම රෙසිපි හදනවද?
ඇත්තටම ඔව්. එකපාරක් මං chinese රයිස් එකක් හැදුවා. හැබැයි චයිනීස් විදියට නම් නෙවෙයි. අපේ ගැමි සංස්කෘතියට ගැළපෙන අපේම විදිහකට.
හදන කෑම රෙසිපිවලට අමුද්‍රව්‍ය හොයාගන්නේ කොහොමද?
අපි ගන්නෙ සීයට සීයක් දේශීය අමුද්‍රව්‍ය. අපි රසකාරක භාවිත කරන්නේ නෑ. ඉස්සර අපේ ගෙවල්වල තිබ්බා කුළුබඩු පොල්කට්ට කියලා එකක්. කුළුබඩු ජාති කබලෙ බැදලා අඹරලා තමයි මේක හදාගන්නෙ.
ඊට පස්සේ අමුකහ අඹරලා කහ ගුලියක් හදාගන්නවා. ගොරකා ගුලිත් හදාගන්නවා. මේවා හදාගන්නේ සාමාන්‍යයෙන් සතියකට වගේ ඇතිවෙන්න. අන්න ඒ විදිහට තමයි අපිත් අපේ කෑමවලට අමුද්‍රව්‍ය හදාගන්නේ. එතකොට ඔය රසකාරක මුකුත් ඕනෙ නෑ
මෙච්චර තාක්ෂණය දියුණුවෙලා තියෙද්දි ඇයි මේ මැටි වළංවලම කෑම හදන්නේ?
තාක්ෂණය දියුණු බව ඇත්ත. ඒත් බලන්න ඇලුමිනියම් කියන්නේ ශරීරයට අහිතකර දෙයක්. ඒත් මැටි හට්ටිය එහෙම නෑ. සාමාන්‍යයෙන් ඒක ස්වභාවික දෙයක්. ඒක නිසා අපි ඒවායේ කොච්චර කෑම හැදුවත් ශරීරයට ලොකු අහිතකර ගතියක් පෙන්නුම් කරන්නේ නෑ. ඒක නිසා දිගටම මැටි හට්ටි පාවිච්චි කරා නම් හොඳයි කියල තමයි මගේ අදහස.
වැඩේට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
ඇත්තටම මං ස්තූති කරනවා මගේ නාලිකාව නරඹන අයට. එයාලා තමයි මගේ ශක්තිය. හැමදාම සිකුරාදට මං වීඩියෝ එකක් අප්ලෝඩ් කරනවා. ඒ වෙනුවෙන්ම බලන් ඉන්න පිරිසක් මාත් එක්ක ඉන්නවා. එයාලා මට කියනවා වෙනස් වෙන්න ඕන තැන්. එයාලගෙ ප්‍රතිචාරවලට මං ගොඩාක් උනන්දු වෙනවා.ගෙදරින් උනත් මට ගොඩක් හොඳ ප්‍රතිචාර හම්බෙනවා.
මොනවද අනාගත බලාපොරොත්තු
ඇත්තටම මට ඕනේ වසවිසෙන් තොර කෑම ආහාරයට ගන්න දරු පරපුරක් නිර්මාණය කරන්න. ඇත්තටම අපි කෑම කියලා කන්නේ වස. අපේ ගෙදර චූටි ඉඩක් තියෙනව නම් ඒ ටිකේ හරි වගාකරලා අපේම අස්වැන්නක් නෙලා ගන්න ඕන.
අපි අපේ දෑතින් කෑම හදනවා වගේ අනිත් අයත් එහෙම කරලා වසවිසෙන් තොර ආහාර වේලක් ගන්න ඕනේ කියන එක තමයි මගේ බලාපොරොත්තුව.ඒ වගේම තමයි මගේ නාලිකාව නරඹන හැමෝටම මම ස්තූතිවන්ත වෙනවා. ඔයාලා වෙනුවෙන් තවත් හොද වීඩියෝ දිගටම කරන්න තමයි මගේ බලාපොරොත්තුව.
නිපුනි සම්මානි ✍️