ඕනෑම අම්මෙක්ට තාත්තෙක්ට තියෙන ලොකුම සතුට වෙන්නේ තමන්ගේ දරුවන් සතුටින් සැනසීමෙන් ඉන්නවා දකින එක. ඊට වඩා සතුටක්, සැනසීමක් ඔවුන්ට තියේවි කියලා මම හිතන්නේ නැහැ. ඉතින් ඔයාට මේ ලෝකෙ වටිනාම සම්පත වෙන ඔයාගේ දරුවා සතුටින් ඉන්න නම් ප්‍රීතිමත් හෝමෝන මුදා හැරීම අතිශය වැදගත් වෙනවා. ඔබේ දරුවාට ප්‍රීතිමත් හෝමෝන මුදා හැරීමට උපකාර කිරීම කියන්නේ ධනාත්මක බව සහ යහපැවැත්ම පෝෂණය කරන පරිසරයක් නිර්මාණය කිරීමක්. එය සිදු කරන්න නම් අනුගමනය කරන්න පුළුවන් සරල ක්‍රම කිහිපයක් තමයි අපි අද ඔබට කියලා දෙන්නේ…
ශාරීරික ක්‍රියාකාරකම් දිරිමත් කරන්න…
ක්‍රියාශීලි බව කියන්නේ නිරෝගිකමට බලපාන ප්‍රධානම සාධකයක්. ඉතින් නිරෝගීකම තමයි ප්‍රීතිමත් ජීවිතයකට අවශ්‍ය මූලිකම අංගය වෙන්නේ. ඔබේ දරුවාත් නිතිපතා ව්‍යායාම කරනවා නම්, ඒ හරහා එන්ඩොර්ෆින්, සෙරොටොනින් වගේම ඩොපමයින් මට්ටම වැඩිදියුණු කරන්න හේතු වෙනවා.
මේවා ඔබේ දරුවාගේ සතුටට හේතුවන බව විද්‍යානුකූලව පිළිගෙන ඇත. මෙහිදී එළිමහනේ ක්‍රීඩා කිරීම, බයිසිකල් පැදීම හෝ ක්‍රීඩාවලට සහභාගී වීම වැනි ක්‍රියාකාරකම් හරහා ඔබේ දරුවා වඩාත් සතුටට පත් කරන්න පුළුවන්.
සෙල්ලම් කරන කාලය වැඩි කරන්න…
දරුවන් ගොඩක් දේවල් ඉගෙන ගන්නේ එයාලා කරන සුළු දෙයකින් හෝ ලබන අත්දැකීම් හරහායි. ඒ නිසා මොවුන්ට මෙවැනි අත්දැකීම් ලබාගන්න කාලය වෙන් කරන එක දෙමව්පියන්ගේ වගකීමක්.
ක්‍රීඩා, අත්කම්, මනඃකල්පිත ක්‍රීඩා ඇතුළු සමස්තයක් ලෙස දරුවන්ට ක්‍රීඩා සඳහා කාලය ලබාදීම මඟින් ඔවුන්ගේ සමස්ත සතුටට දායක වන ඔක්සිටොසින් සහ එන්ඩොර්ෆින් ආදී හෝමෝන මුදා හැරීමට පුළුවන්. මේ හෝමෝන ඔබේ දරුවාට සෙනෙහස සහ සබඳතාවයන්ගෙන් සතුටක් ලබා ගැනීමට වගේම ආතතිමය තත්ත්වයන්ගෙන් මිදීමටත් හේතුවක් වෙනවා.
ප්‍රමාණවත් නින්දක් ලබා දෙන්න…
සුවපහසු ප්‍රමාණවත් නින්දක් සෑම පුද්ගලයකුටම අත්‍යවශ්‍ය කාරණයක්. ඒ වගේම තමයි ඔබේ දරුවාටත් ලැබෙන ප්‍රමාණවත් නින්ද මඟින් දරුවාගේ ඇතැම් හෝමෝන නියාමනය කරන්න වැදගත් වෙනවා.
නින්ද තුළින් දරුවාට ප්‍රමාණවත් විවේකයක්ද ලැබෙනවා. ඒ නිසා දරුවාට ප්‍රමාණවත් නින්දක් ලබා ගැනීමට පුරුද්දක් ඇති කිරීම සිදු කළ යුතු වෙනවා.
ධනාත්මක සමාජ සබඳතා පෝෂණය කරන්න…
දරුවෙකු සමාජයට අනුගත වෙන්න ඒ කියන්නේ සමාජානුයෝජනය වෙන්න වගේම දරුවෙකුගේ ජීවිතයේ බොහෝ දේවල් සඳහා දරුවා ජීවත්වන සමාජ වටපිටාව බලපානු ලබනවා.
ඔබ දන්නවාද? මිතුරන් සහ පවුලේ අයත් සමඟ කාලය ගත කිරීම වගේම ඔවුන් සමඟ එකතුවී විවිධ ක්‍රියාකාරකම්වල යෙදීම හරහා ඔක්සිටොසින් මට්ටම ඉහළ නංවා ගන්නට පුළුවන්. ඒ තුළින් ඔබේ දරුවාගේ සතුට සහ ආරක්ෂාව පිළිබඳ හැඟීම් වැඩිදියුණු වෙනවා. ඒ නිසා හැමවිටම ඔවුන් ධනාත්මක සමාජ සබඳතා සඳහා යොමු කරවීමට වගබලා ගන්න.
නිර්මාණාත්මක ක්‍රියාකාරකම් සඳහා දිරිගන්වන්න…
ඔබේ දරුවාට ප්‍රීතිමත් හෝමෝන මුදාහැරීමට තියෙන තවත් ක්‍රමයක් තමයි ඔවුන් නිර්මාණාත්මක ක්‍රියාකාරකම් සඳහා දිරිමත් කිරීම. ඔබේ දරුවාගේ සතුටට හේතුවන හෝමෝනයක් වෙන ඩොපමයින් මුදා හරින්න නම් චිත්‍ර ඇඳීම, පින්තාරු කිරීම, සංගීත
භාණ්ඩයක් වාදනය කිරීම වගේ නිර්මාණාත්මක ක්‍රියාකාරකම් සිදු කරන්න පුළුවන්. මේ හරහා ඔබේ දරුවාට වඩාත් සාර්ථක වගේම ප්‍රීතිමත් හැඟීම් වර්ධනය කරන්න පුළුවන්.
සෞඛ්‍ය සම්පන්න කෑම දෙන්න…
ආහාර අපේ ජීවිතය පවත්වාගෙන යන්න උපකාර වෙනවා වගේම ඒ ආහාරවේල සෞඛ්‍ය සම්පන්න පෝෂ්‍යදායී ආහාර වේලක් නම් එය ඔබේ දරුවාගේ ප්‍රීතිමත් හෝමෝන වර්ධනයටත් අත්වැලක් වෙනවා.
මේ ආහාරවල omega-3, මේද අම්ල, ට්‍රිප්ටෝෆාන් සහ ප්‍රතිඔක්සිකාරක අඩංගු නිසා මේවා සෙරොටොයින් මට්ටම නියාමනය කිරීමට වගේම මනෝභාවයන් වැඩිදියුණු කිරීමටත් උපකාර වෙනවා. ඒ නිසාම ඔබේ දරුවාට සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ලබාදීම දෙමව්පියන් වන ඔබගේ වගකීමක්.
සිහිය සහ විවේකය පුරුදු කරන්න…
මනා සිහිය සහ ප්‍රමාණවත් විවේකය දරුවෙකුට අතිශය වැදගත් වෙනවා. විශේෂයෙන්ම මේ සඳහා යෝගා, භාවනා හෝ සරල ගැඹුරු හුස්ම ගැනීමේ ව්‍යායාම සිදු කරන්න පුළුවන්. මේ හරහා කෝටිසෝල් එනම් ආතති හෝමෝන මට්ටම අඩු කරගත හැකි අතරම සොරොටොනින් එනම් සතුටට හේතුවන හෝමෝන මට්ටම වැඩි කර ගන්නත් පුළුවන්.
එකට හිනා වෙන්න…
හිනාව කියන්නෙම හිත් සුවපත් කරන ඖෂධයක්. හාස්‍යජනක වීඩියෝ නැරඹීම, විහිළු කීම, එකට එක්ව සිනාසීම හරහා එන්ඩොර්ෆින් මට්ටම වැඩි කළ හැකි අතරම ඒ හරහා සෑම කෙනෙකුටම සතුටක් ලබාදීමටත් පුළුවන්. ඉතින් ඔබත් ඔබේ දරුවාට කාලය වෙන් කරන්න.
ඔයා කොතරම් කාර්යබහුල වුණත් ඔයාගේ දරුවා සමඟ එකට හිනාවෙන්න.මේ සරල ක්‍රම ඔබේ දරුවාටත් කියා දෙන්න. ඔවුන්ට ප්‍රීතිමත්ව ජීවිතය ගත කිරීමට අවශ්‍ය ප්‍රීතිමත් හෝමෝන මුදා හැරීමට ඔවුන්ට අවස්ථාව ලබා දෙන්න. අද අපි ඔබට කියාදුන්න මේ සරල ක්‍රම ඒ කාර්යය පහසුවෙන් සිදු කරන්නට මාර්ගෝපදේශයක් වේවි.
Indiatimes.com ඇසුරෙන්
ටෂ්මි ගමගේ ✍️