මේ ලෝකේ මිනිස්සුන්ට එක එක විදිහේ විශ්වාස තියෙනවා. ඒ විශ්වාස එක්කම ඔවුන් ජීවත් වෙනවා. සමහරු හොල්මන් විශ්වාස කරනවා. සමහරු හඳහන් විශ්වාස කරනවා. මේ වගේ විශ්වාස පද්ධති මිත්‍යා විශ්වාස කියලයි මිනිස්සු හඳුන්වන්නේ. සමහර මිනිස්සු හිතන් ඉන්නවා විවිධ වර්ගයේ මැණික් ගල් අල්ලපු මුද්දක් දැම්මම තමන්ට විවිධ දේවල්වලින් ආරක්ෂා වෙන්න පුළුවන් කියලා. ඒ වගේම අල්ලේ රේඛාවලින් ජීවිතය ගැන හිතන් ඉන්න පිරිසකුත් ඉන්නවා. තවමත් මිනිස්සු ගස්, ගල්වලට වන්දනාමාන කරනවා. මේ දේවල් ඔළුවල තැන්පත් වෙලා තමයි පොඩි ළමයෙක් වැඩිහිටි වියට පත් වෙන්නෙත්.
මේකෙ ගැටලුවක් තියෙනවා. විද්‍යාත්මකව, තාර්කිකව විග්රහ කරලා බලද්දි බොහෝ විශ්වාසයන් විශ්වාස කරන් ඉන්න විදිහ වැරදි බව අපිට වැටහෙනවා. මම ඒකට උදාහරණයක් කියන්නම්. අපි හිතමු යම් පුද්ගලයෙක් හවස හයට, හතට විතර කනත්තක් ගාවින් ඇවිදගෙන යනවා. මේ වෙලාවේ ඔහුගේ හිතට පොඩි බයක් දැනෙනවා. අඩිය ඉක්මන් කරලා යන්න බලනවා.
ඇයි හැන්දෑවක කනත්තක් ගාවින් යද්දි මෙහෙම බයක් දැනෙන්නේ? මොකද අපි පොඩි කාලේ අහලා තියෙනවා මැරෙන මිනිස්සු අවතාර, භූතයෝ වෙලා කනත්ත අවට පරිසරයේ සැරිසරමින් ඒ අසලින් යන එන මිනිස්සුන්ව බය කරනවා කියලා. ඒ නිසයි කනත්තක් ගාවින් යන්න සමහරු බය වෙන්නේ. හැබැයි මේ කනතුවල වැඩ කරන සේවකයෝ ඉන්නවා.
මුරකරුවෝ රැය එළිවෙනකල්ම ඉන්නේ කනත්තේ. එතකොට කනත්තේ මුළු දවසම ඉන්න මිනිස්සු බය නොවී ඉන්නත්, විනාඩි කිහිපයකට කනත්ත පහු කරන් යන මිනිස්සු බය වෙන්නත් හේතුව මොකක්ද? මෙතන තියෙන්නේ විශ්වාසයේ ගැටලුවක්.අපි තවත් උදාහරණයකට හිතමු මේ කනත්ත මැද්දෙන් ලේසි පාරක් තියෙනවා ටවුන් එකට යන්න. කනත්ත අහු නොවෙන්න ටවුන් එකට යන්න පුළුවන් පාරකුත් තියෙනවා.
හැබැයි ඒක ටිකක් දුරයි. දැන් හදිසියේ රෑක ගෙදර කෙනෙක්ට අසනීප වෙලා ටවුන් එකට ගිහින් ටැක්සි එකක් ගේන්න වුණොත් ඔයා යන්නේ කනත්ත මැද්දෙන් වැටිලා තියෙන ඉක්මනින්ම ටවුන් එකට යන්න පුළුවන් පාරෙද? එහෙමත් නැත්නම් ලෙඩාට ඕන දෙයක් වෙච්චදෙන් මමනම් කනත්ත මැද්දෙන් යන්නේ නෑ කියලා අර දුර පාරෙන් යනවද? මම මේ ප්රශ්නය දේශනවලදි කීප සැරයක්ම අහලා තියෙනවා. ඒ හැමෝම තෝරගත්තේ කනත්ත මැද්දෙන් වැටිලා තියෙන පාර.
මොකද හොල්මන්වලට වඩා අසනීප වුණ ලෙඩාගෙ ජීවිතේ වටින නිසා. ඒත් එතකොට හොල්මන්වලට බය හිතෙන්නෙ නැද්ද? නෑ. ඒකයි කියන්නේ හැමදේම රැඳිලා තියෙන්නේ තමන්ගේ විශ්වාසය මත.
ඒ කියන්නේ වෙන වෙලාවලදි අපි අපේ හිත ෆෝකස් කරන් ඉන්නවා දැන් මම යන පාරේ හොල්මනක් ඉදියි කියලා. මෙහෙම හිත හිත පාරේ යද්දි ගහකින් කොලයක් වැටුණත්, සතෙක් දිව්වත් අපි හිතන්නේ ඒ හොල්මනක් කියලා. මේක තමයි මිත්‍යා විශ්වාසය.
මේ මිත්‍යා විශ්වාස හැදිලා තියෙන්නේ පුංචි කාලෙ අපි අහපු කතාවලින්. සමහරු අපිව බය කරන්න බොරු කතා කියනවා. ඒ නිසා තමන්ගේ ජීවිතයේ වැඩ කටයුතු සාර්ථකව පැහැදිලිව කරගෙන යන්න ඕන නම් හූනෙක් චුක් චුක් ගෑව කියලා, බල්ලෙක් කන් පට ගැසුවා කියලා, කළු බළලෙක් පාර පැන්නා කියලා ඒවා අසුබයි කියල හිතාගෙන තමන්ගේ වැඩවලට ඒවා බාධාවක් කරගන්න එපා.
සමහරු හඳහනක් බලන්න ගිහින් තවත් කෙනෙක්ට කියනවා එතන නම් ඇත්තම කියනවා කියලා. මේ වගේ දෙන්නෙක්ට තුන් දෙනෙක්ට සමහරවිට ඇත්තක් කියවිලාතියෙන්න පුළුවන්.
හැබැයි ඊට වඩා බොරු දේවල් කියවුන පිරිස වැඩියි. නමුත් මොකක් හරි හේතුවකට ඇත්ත කියවුණ එක විතරයි සමාජගත වෙන්නේ. ඉතින් කටින් කට ගියාම සෑහෙන පිරිසක් හඳහන් උස්සගෙන ඒ පස්සේ දුවනවා.
මිනිස් මනස සහ මොළය ඔය විවිධ විශ්වාසයන්ට වඩා බොහොම බලගතු එකක්. හිත ශක්තිමත් කරගන්න පුළුවන්නම් ඒ ශක්තිය ඇඟටත් නිරායාසයෙන්ම දැනෙනවා.
එතකොට තමන්ට බැහැයි කියලා හිතෙන ගොඩක් දේවල් ලේසියෙන්ම කරගන්න ශක්තියක් ලැබෙනවා. ඒ නිසා දෙයක් විශ්වාස කරන්න කලින් මේවා ඇත්තද බොරුද කියල තමන්ගෙන්ම ප්‍රශ්න කරන්න.
පෞර්ෂත්ව හා නායකත්ව
පුහුණු විශේෂඥවෛද්‍ය
කුමා ඉද්දමල්ලෙන
එරංදි කෞශල්‍යා ✍️