දැන් ලෝකයේ තියෙන අලුත්ම Trend එකක් තමයි ගෙදර වැඩ ලේසියෙන් කරගන්න පුළුවන් ක්‍රම හොයල බලලා ඒවා අනිත් අය එක්ක බෙදාගන්න එක. තියෙන වැඩ කන්දරාවෙන් එකක් දෙකක් හරි ලේසියෙන් කරගන්න පුළුවන් වෙනවා නම් කවුරුත් අකමැති වෙන එකක් නම් නැහැ.
කුණු බැඳුණු අයන් එකට
මුලින්ම ඔයාගෙ අයන් එක අරන් බලන්න පතුලේ තියෙන කුණු. සාමාන්‍යයෙන් හැම අයන් එකකම අඩියෙ කළු පාට වෙන එක සාමාන්‍ය දෙයක්. මේ කුණු පැල්ලම් යවන්න කරන්න තියෙන්නෙ පුංචි දෙයක්.ඕන වෙන්නේ ඔලුව කැක්කුමට බොන්න ගෙනත් තියාගෙන ඉන්න පැරසිටමෝල්. සාමාන්‍ය විදිහට අයන් එක ප්ලග් කරලා ටිකක් රත් වුණාට පස්සේ පැරසිටමෝල් පෙත්ත අයන් එකේ කුණු තියෙන තැන්වල හොඳින් අතුල්ලන්න. එතකොට පැල්ලම් ටික ටික අයින් වෙනවා. ඒ ටික රෙදි කෑල්ලකින් පිහදාල දන්න.
බේකින් සෝඩා, විනාකිරි මැජික් එක
ගෘහණියන්ට තියෙන ලොකුම වදයක් තමයි වළං, හට්ටිවල තියෙන දැලි කුණු පිරිසිදු කරන එක. එකෙනුත් සාමාන්‍ය සේදුමකින් යන්නේ නැති දැලි කුණු අයින් කරගන්න නම් සෑහෙන වෙහෙසක් දරන්න වෙනවා. ඉතින් ඒ වෙලාවට පාවිච්චි කරන්න පුළුවන් දෙයක් තමයි විනාකිරි සහ බේකින් සෝඩා කියන්නෙ.
ඔය ජාති දෙක එකට දාල පල්ප් එකක් හදලා යන්නේ නැති දැලි කුණු තියෙන තැන්වල හොඳින් ගාන්න. මිශ්‍රණය ගාල පැය බාගයක් වගේ තියන්න. ඊට පස්සේ වතුරෙන් හෝදලා බලන්න අලුතින් ගත්ත වලන් හට්ටි වගේ තියේවී.
සිප් ලොක් බෑග්
ගෙදරට ගේන එළවලු, පළතුරුවලින් කොච්චර ප්‍රමාණයක් නරක් වෙලා අහක දානවද? ඒකට විසඳුමක් තමයි දැන් කියන්න යන්නේ.
ඕන දේවල්:
සුපර් මාර්කට්වල තියෙනවා සිප් ලොක් බෑග්. මේ බෑග් එකෙන් වෙන දේ තමයි යමක් ඇතුළට දාල සීල් වෙන්න වහන්න පුළුවන් එක. මේ විශේෂත්වයෙන් තමයි අපි ප්‍රයෝජනේ ගන්න යන්නේ. තව මේ වැඩේට ඕන වෙනවා බීම බටයක්. කරන්න තියෙන්නේ බෑග් එක ඇතුළට එළවලුව හෝ පළතුර දාල බෑග් එක සීල් කරන එක.
හැබැයි පොඩි කොනක් ඉතුරු කරලා ඒකෙන් බීම බටේ ඇතුළට දාල කටින් ඒකේ ඇතුළේ තියෙන හුළං එළියට අදින්න ඕනේ. එහෙම හුළං එළියට ආවට පස්සේ එක පාරට බටේ එලියට අරන් බෑග් එකේ ඉතුරු වෙච්ච කොනත් වහල දාන්න. මේ විදිහට ගොඩක් කාලයක් එළවලු, පළතුරු ෆ්‍රෙෂ් පිට තියාගන්න පුළුවන්.
බ්ලෙන්ඩර් එකේ තල සුද්ද කරන්න
ගෙදර තියෙන බ්ලෙන්ඩර් එකේ තල සුද්ද කරගන්න විදිහක් ගැන තමයි මෙතැනදී කතා කරන්නේ. පුරුදු විදිහට ඕකේ තල සුද්ද කරන්න ගිහින් තුවාල කරන් කාලේ නාස්ති කරගන්න ඕන වෙන්නේ නෑ මෙහෙම කළොත්. මුලින්ම බ්ලෙන්ඩර් කෝප්පය අරන් ඒක බාගයක් විතර පිරෙන්න උණු වතුරෙන් පුරවන්න. ඊට පස්සේ එකට ඩිෂ් වොෂ් සාමාන්‍ය ප්‍රමාණයකට දාල ස්විච් එක දාන්න.
රෙදි නමන්න මේ විදිහට
මේ ගෙදරින් පිට ගමනක් යන්න කෙනෙකුට තමයි ගොඩක්ම වටින්නෙ. ඔයාලා ඇඳුම් පැක් කරද්දී ගෙනියන බෑග්වල ප්‍රමාණයට රෙදි අහුරගන්නවා ඕන වෙනවා. අන්න ඒ වෙලාවට තමයි මේ ට්‍රික් එක හරියන්නේ.
මේකෙන් වෙන්නේ ලේසියෙන් සහ ඉඩකඩ පිරිමහගෙන ඇඳුම් අහුරගන්න එක. කරන්න තියෙන්නේ අපි සාමාන්‍යයෙන් ඇඳුම් නවන විදිහට නැතුව ඇඳුම් රෝල් කරලා අහුරන එක. ඒ විදිහට ඇඳුම් රෝල් කරලා අහුරා ගත්තම ඉඩ ගොඩක් ඉතුරු වෙනවා. ඇඳුම්වල නැමුම් පාරවල් හිටිනවා අඩුයි.
හැඳි ගෑරුප්පුවලට
ගෙදරට කවුරුහරි අමුත්තෙක් එනවා කිව්වම ගෙදර අස්පස් කරන්න, කෑම හදන්න, කෑම මේසෙට ඕන දේවල් පිළිවෙල කරන්න වගේ ගොඩක් දේවල් ඔයාට කරන්න වෙනවා. ඉතින් ඔය වෙලාවට තමයි වෙනද පාවිච්චියට නොගත්තු හැඳි ගෑරුප්පු එහෙම ඕන වෙන්නෙත්.
ඒ වගේ දේවල් දිස්නේ ගහන්න තරම් තත්ත්වයට ගන්න පුළුවන් ලේසි ක්‍රමයක් තමයි මේ කියල දෙන්නෙ. මේකට පාවිච්චි කරන්නෙ ටූත්පේස්ට්. කරන්න තියෙන්නේ හැඳි ගෑරුප්පු ටික ටූත්පේස්ට්වලින් හොඳින් අතුල්ලලා ඊට පස්සේ පේපර් සර්වියට් එකකින් පිහදාල දාන එකයි.
හදිසියට පිහියක් මුවහත් තියාගන්න මෙහෙම
මේකත් ගෙදර කුස්සියට අදාළ දෙයක්. එළවලු කපන වෙලාවට පිහිය කැපෙන්නේ නැත්නම් ඒකත් ලොකු හිසරදයක්. ඉතින් එහෙම වෙලාවට ක්ෂණිකව මුවහත් තියාගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා.
ඕන වෙන්නේ පෝසිලේන් කොප්පයක් වගේ දෙයක්. පිඟානක් වුණත් කමක් නෑ. ඒකේ යට පැත්තෙ තියෙනවා රළු දාරයක්. අන්න ඒ රළු දාරය උඩ ඇතිල්ලීමෙන් පිහියක් ක්ෂණිකව මුවහත් තියාගන්න පුළුවන්.
අර්චිත ඉඳුවර ✍️