ඉන්දියන් සාගරයේ මුතු ඇටය නමින් විරුදාවලිය ලබපු අපේ රටට තියෙන ලොකුම ආභරණයක් තමයි රට වටේට තියන ලස්සන මුහුද. හැබැයි මිනිස්සුන්ගේ නොසැලකිලිමත්කම නිසාම අද වෙනකොට මේ වටිනා සම්පත විනාශයට යොමු වෙලා තියෙනවා. ඉතින් මෙතරම් වටින මුහුදු වෙරළ වගේම ජලජ ජීවීන් රැසකට ජීවය ලබාදෙන අපූරු මුහුදු පතුල පිරිසිදු කරමින් සංරක්ෂණයට කැපවෙන ධෛර්යවන්ත මැණිකක් නවලිය අපිට මුණගැසුණා. ඇය නමින් තරුෂි දිසානායක. රටට වටිනා සම්පතක් වන ඇය අද අපේ කතා නායිකාව විදිහට තෝරගන්න අපි හිතුවා…
තරුෂී මුලින්ම කියන්නකො ඔයාගේ පෞද්ගලික විස්තර ටිකක්…
මගේ නම තරුෂි නුවන්තාරා දිසානායක. මට අවුරුදු 26 යි. බදුල්ලේ තල්දෙන කියන ගමේ තමයි මම ඉන්නේ. මගේ පවුලේ අම්මා, තාත්තා වගේම මල්ලි කෙනෙක් ඉන්නවා. බදුල්ල විශාකා උසස් බාලිකා මහා විද්‍යාලයෙන් තමයි මම උසස් පෙළ වෙනකම්ම අධ්‍යාපනය ලැබුවේ.
උසස් පෙළින් පස්සේ ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලය (Sri Lanka Ocean University) ගැන පත්තරේක පළවුණ ආටිකල් එකක් අහම්බෙන් දැකල තමයි මම ඒකට ඇප්ලයි කළේ. දැනට මම ධීවර හා සමුද්‍රීය විද්‍යා පීඨයේ අධ්‍යාපනය හදාරලා උපාධිය අපේක්ෂාවෙන් ඉන්නවා.
ඔබ මේ කරන සද්කාර්යය ගැන පැහැදිලි කළොත්…
ඔව් ඇත්තටම අද වෙනකොට ලංකාවෙ තියන ලොකු ප්‍රශ්නයක් තමයි මේ කසල කියන දේ.ඉතින් ලංකාවේ මිනිස්සුන්ගේ නොසැලකිලිමත්කම නිසා මුහුදු වෙරළවල වගේම මුහුද පතුලෙත් ප්ලාස්ටික්, පොලිතින්, මාළුදැල් වගේ දේවල් තැන්පත් වෙලා මුහුදු පතුල ගොඩක් අපිරිසිදු වෙලා තියෙනවා.
ඉතින් මම වගේම තව කිහිප දෙනෙක් ඉන්නවා. අපි එකතු වෙලා මුහුදු පතුලෙ තියෙන මේ කසල ඉවත් කරල මුහුදු පතුල පිරිසිදු කරල සංරක්ෂණය කරන්න කටයුතු කරනවා. මොකද ඒ දේ හැමෝටම කරන්න පුළුවන් දෙයක් නෙවෙයිනේ.
තරුෂිට පොඩි කාලේ ඉදන්ම මේ දේවල් ගැන ආසාවක් තිබුණද?
අපි ඉන්නේ රට මැද නිසා පොඩි කාලේ ඉදන්ම මුහුද බලන්න හරිම ආසයි. මෙහෙම දේකට යොමුවෙන්න බලාපොරොත්තුවක් පොඩි කාලේ නම් තිබුණෙ නැහැ. හැබැයි ඒක දැන් මගේ පැෂන් එක වගේම වගකීමක් වෙලා.
තරුෂි මේ කාර්යයට සම්බන්ධ වුණේ කොහොමද?
කැම්පස් එකේ ෆර්ස්ට් ඉයර් එකේදී අපිට ස්විමින් ( Swimming) විෂයක් විදිහට උගන්වනවා. එතකොට තමයි මේ ඩයිවින් කියන දේ ගැන මම දැනගත්තේ සහ ආසාවක් ඇති වුණේ.
ඊට පස්සේ මම අර්ත් ලංකා යූත් නෙට්වර්ක් (Earth Lanka Youth Network) එකත් එක්ක වොලන්ටියර් කෙනෙක් විදිහට සම්බන්ධ වුණා. ඒ හරහා තමයි මට ඩයිවින් ලයිසන් එක ගන්න වගේම මේ වගේ වටින දේකට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණේ.
දැනට මුහුදු පතුලේ පිරිසිදු කිරීම් කීයකට විතර තරුෂි සහභාගී වෙලා තියනවද?
දැනට ලංකාව වටේම ක්ලීනින් ඩයිවර්ස් 25කට විතර මම සම්බන්ධවෙලා තියෙනවා.
මේ වගේ ක්ෂේත්රයන්ට ගැහැනු ළමයි වැඩිය යොමු වෙන්නෙ නැති නිසා තරුෂිට ගෙදරින් විරුද්ධත්වයක් තිබුනේ නැද්ද ?
මම මේ ෆීල්ඩ් එකේම ඉන්න නිසා විරුද්ධත්වයක් නම් තිබුණෙ නැහැ. හැබැයි අපෙ අම්මා නම් ටිකක් බයයි.
මේ වැඩ වලට තරුෂිට ගෙදරින් ලැබෙන සහයෝගය කොහොමද?
ඇත්තටම මට පවුලේ අයගෙන් ලොකු සහයෝගයක් හම්බෙනවා. සමහර දවස් වලට අපේ අතින් වියදම් කරන් ගිහින් දවස් දෙක තුන ක්ලීනින් කරන අවස්ථා තියෙනවා. විශේෂයෙන් ඒ වගේ අවස්ථාවල ගෙදරින් මට ලොකු සපෝට් එකක් හම්බෙනවා.
පසුගිය වසරේ තරුෂී ලංකාව නියෝජනය කරමින් Archipelagic and Island state (AIS) Forum එකට සහභාගී වුණා. ඒඅවස්ථාව ඔබට ලැබෙන්නේ කොහොමද?
ඔව්. AIS Forum එක කියන්නේ දූපත් රටවල්වල තිරසාර ව්‍යවසායකත්වය, බ්ලූ ඉකොනොමි වගේම ඕෂන් ගවර්නන්ස් වගේ තේමාවන් ගැන සාකච්ඡා කරන තරුණ සමුළුවක්.
ඒකට ලංකාව නියෝජනය කරල සහභාගී වෙන්න මට අවස්ථාව ලැබුණෙත් අර්ත් ලංකා යූත් නෙට්වර්ක් (Earth Lanka Youth Network) එකත් එක්ක එකතු වෙලා මම මේ වගේ මුහුදු සංරක්ෂණ වැඩවලට සම්බන්ධ වුණ නිසා.
මේ දේවල් එක්ක විශ්වවිද්‍යාලය පැත්තෙන් තරුෂිට ලැබෙන සහයෝගය සහ ප්‍රතිචාර කොහොමද?
විශ්වවිද්‍යාලය ගැන අනිවාර්යයනේම මතක් කරන්න ඕන. මට මේ තරම් දුරක් එන්න මේ ෆීල්ඩ් එක ගැන මුල ඉදන්ම දැනුම ලැබුණේ මගේ විශ්වවිද්‍යාලෙන්. ප්‍රතිචාර ගැන කිව්වොත් අද වෙනකොට පහළ වසරවල නංගිලා මල්ලිලා ගොඩක් දෙනෙක් මාව එයාලගේ රෝල් මොඩ්ල් කරගෙන මේ සංරක්ෂණ ක්‍රියාවලියට සම්බන්ධ වෙනවා. ඒ ගැන මට තියෙන්නේ ලොකු සතුටක්.
තරුෂිගේ අනාගත බලාපොරොත්තු මොනවද?
මගේ රට වෙනුවෙන් මේ සංවේදි පරිසරයන් ආරක්ෂා කරන්න මට පුළුවන් උපරිම දේ ඉස්සරහටත් කරන්න මම බලාපොරොත්තු වෙනවා. මේ දිනවලත් සාගර සංරක්ෂණය ගැන රට පුරාම පාසල් සිසුන් දැනුවත් කරන වැඩසටහනක් කරගෙන යනවා.
ඒ වගේම ඇකඩමික් පැත්තෙන් ඉස්සරහට ගිහින් මම ඉගෙන ගත්ත දේවල් අනාගත පරම්පරාවට ලබා දෙන එක තමයි මගේ ලොකුම බලාපොරොත්තුව.
තරුෂිට සමාජයට දෙන්න තියෙන පණිවිඩය මොකක්ද?
හැමෝටම කියන්න තියෙන්නේ නිවසේ කසල බැහැර කරන තැන ඉදන්ම සැලකිලිමත් වෙන්න. මොකද මේ අපද්‍රව්‍ය මුහුද වගේ සංවේදී පරිසර තත්ත්වවලට එකතු වුණාම ඒ පරිසරය නැවත සකස් කරන්න ගොඩක් අමාරුයි සහ පරිසරය රැකුනොත් තමයි අපි රැකෙන්නේ. ඒ නිසා පරිසරය සුරකින්න වගබලා ගන්න කියල තමයි.
දුම්ෂා විජේසිංහ ✍️