ආසාවෙන් ගෙවතු වගාව ආරම්භ කරන බොහෝ දෙනෙක් එය අතරමඟදී අත්හැර දමනවා. මේ නිසා වැවීගෙන ආපු පැළෑටි අකාලයේ විනාශ වෙන අවස්ථාත් දැක ගන්න පුළුවන්. මේ නිසා ගෙවතු වගාව පවත්වාගෙන යාමට කළ හැකි දේ පිළිබඳව අපි දැන් කතාකරමු.
ඔබේ ශාකවල සෞඛ්‍ය මට්ටම නිතිපතා පරීක්ෂා කරන්න. සාත්තු කර අමාරුවෙන් වවාගත් පැළෑටිවලට සතුන් නිසා හානි වෙන්න, මුල කුණු වෙන්න ඉඩ තියෙනවා. බොහෝ විට මෙය දකින්නේ පරක්කු වෙලා. ආසාදිත හෝ රෝගී ශාක මුලදීම හඳුනාගෙන වෙන්කළ යුතුයි. නැති නම් ඒවා නිසා සෙසු නිරෝගී පැළෑටිත් ආසාදනය වෙන්න වැඩි ඉඩක් තියෙනවා. පැළෑටිවලට හානිකරන සතුන් ගෙවත්තට බෝ වී ඇති බව මුලින්ම හඳුනාගතහොත් පළිබෝධනාශක යොදා එම සතුන් වඳ කරගත හැකියි. නමුත් ප්‍රමාද වූවොත් ගෙවත්තේ සියලු ශාක විනාශ වෙන්න ඉඩ තියෙනවා. මේ නිසා දවසට වරක්වත් ඔබේ පැළෑටිවල සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීම සුදුසු වේ.
නිසි ලෙස ජලය යෙදිය යුතුය
ජලය පමණට වඩා යෙදීමෙන් ශාකවල දිලීර වර්ධනය වීම, පත්‍ර මත පැල්ලම් මතුවීම වැනි දේ සිදුවනවා. ජලය අධික ලෙස වැටීම වළක්වා ගැනීමට වරක් ජලය යෙදීමෙන් පසුව පස වියළි වන තෙක් සිට ඉන් අනතුරුව නැවත ජලය යොදන්න. ජලය යෙදීමේදී ශාක පත්‍ර තෙත් නොකරන්නට සැලකිලිමත් වන්න. ඒ වෙනුවට කෙලින්ම පසට වතුර දමන්න. අතින් ජලය දැමීමේදී කෙලින්ම පසට යොදන්න පුළුවන්. හැබැයි ස්වයංක්‍රීය ක්‍රමයකින් ජලය යොදනවා නම් මෙය තරමක් අපහසු වන්න ඉඩ තියෙනවා.
කාලයත් සමඟ පසේ පෝෂණය පිරිහෙනවා
ගෙවතු පසෙහි ගුණාත්මකභාවය පිරිහීම නිසා පැළෑටිවල වර්ධනය බාල වෙනවා. ගුණාත්මක පස් මිලදී ගෙන ගෙවත්තට එකතු කරන්න පුළුවන්. පොහොර මිලදී ගෙන පසට මිශ්‍ර කරන්න. ශාක විශේෂය අනුව නියමිත පොහොර ප්‍රමාණය එකතු කරන්නට වගබලා ගන්න. ප්‍රමාණය ඉක්මවා පොහොර යෙදුවහොත් පැළෑටිවලට හානි වෙන්න පුළුවන්. ගෙවත්තේ පාංශු තෙතමනය රඳවා ගැනීමට පසට කොළ රොඩු වැස්මක් එකතු කරන්න. මෙය වල් පැලෑටි වර්ධන වීම වළක්වාලන අතර දිරාපත් වී පසට සාරය එකතු කරනු ලබනවා.
ආම්පන්න සෝදා පිරිසිඳු කරගන්න
ගෙවතු වගාව සඳහා භාවිත කරන ලද ආම්පන්න සෝදා පිරිසිදු කරගන්න. නැතිනම් පසට සහ පැළෑටිවලට හානි කරන බැක්ටීරියා වර්ධනය වෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම පස් සහ තෙතමනය රැඳී තිබීමෙන් එම ආම්පන්න දිරා යන්නත් ඉඩ තියෙනවා.
පැළෑටි කප්පාදු කරන්න
පැළෑටි කප්පාදු කරමින් නඩත්තු කරන්න. කප්පාදු කිරීමෙන් ශාකයේ අනවශ්‍ය කොටස් වර්ධනය වීම පාලනය වන අතර මල්, ගෙඩි ආදියේ වර්ධනය වේගවත් වේ. මල් සහ ඵලවලට වැඩි ඉඩක්
ලබාගැනීමට ඔබේ ශාකවල අතු කපා දමන්න. එමඟින් ශාකවල අසුන්දර කොටස් ඉවත් වී ගෙවත්තට සුන්දර පෙනුමක් සහ වැඩි ඉඩ ප්‍රමාණයක් ලැබෙනු ඇත. එමෙන්ම පැළ කප්පාදු කරන්නට යාමේදී සැඟවුණු පළිබෝධකයන් සහ අසාදනය වූ කොටස් හඳුනාගැනීම පහසු වනු ඇත. මේවා ඉවත්කර දැමීමෙන් ශාකයේ වර්ධනය වේගවත් වනු ඇත.
වල් පැළෑටි විනාශ කරන්න
වල් පැළෑටි විනාශ කරන්න. වල් පැළෑටිවල අවාසිය තමයි හොඳ පැළෑටි විනාශකර දැමීම. වල් පැළෑටි පොළොවෙහි සාරය වේගයෙන් උරාගෙන වැඩෙනවා. මේ නිසා ඔබ විසින් සිටුවන ලද පැළෑටිවලට ලැබෙන පෝෂණය අඩු වී ඒවා දුර්වල වී විනාශ වෙනවා. එමෙන්ම වල් පැළෑටි නිසා අනෙකුත් පැළෑටිවල මුල් අවහිර වීම, පලිබෝධකයන් ආරක්ෂා වීම, වාතය අවහිර වීම වැනි අවාසි රැසක් මතු වෙනවා. වල් නෙලීමෙන් වගාව වර්ධනය නිසි පරිදි සිදුවනු ඇත.
සතුන්ගෙන් රැකගන්න
ශාක භක්ෂක සතුන්ගෙන් ඔබගේ පැළෑටි රැකගත යුතුයි. දළඹුවන් කුරුමිනියන් වැනි සතුන් නිසා වගාවට හානිවනවා. ඔවුන්ව පැළෑටිවලින් ඉවත්කර දැමිය යුතුයි. මේ නිසා වරින්වර පැළෑටිවල පත්‍රවල උඩ සහ යට පැත්ත, කඳ ආදිය පරීක්ෂා කරන්න.සතුන්ගෙන් ආරක්ෂා කිරීමට සබන් වතුර, අළු වැනි දේද යෙදිය හැකියි. ගෙවත්ත වටා මදුරුතලා, කොහොඹ වැනි දේ වැවීමෙන් ගෙවත්තට සතුන් ආකර්ෂණය වීම වළක්වා ගන්න පුළුවන්.
කඳ දුර්වල පැළෑටි කුඩා අවදියේදී හොඳින් වැඩුණත් පසුකාලීනව කඩාවැටී මරණයට පත්වන්න වැඩි ඉඩක් තියෙනවා. මේ නිසා කඳ දුර්වල පැළෑටිවලට ශක්තිමත්ව වැඩෙන්නට ආධාරකයක් ලබාදෙන්න. පැළෑටි අසල ශක්තිමත් කෝටු, කම්බි සිටුවීම කළ හැකියි. මෙම උපක්‍රමය කඳන් නැමීම සහ කැඩීම වළක්වාලන්නට සමත් වනවා. එකම ශාක වර්ගයේ විශේෂ කිහිපයක් එකට සිටුවන්න.
එමඟින් ඒවායේ පරාග හුවමාරු වී නව ශක්තිමත් බීජ ලැබෙනු ඇත. උස් කන්ටේනර්/ බහාලුම් තෝරාගෙන ඒවායේ පැළ සිටුවන්න. එමඟින් ශාකයේ ආයු කාලය සැලකිය යුතු ලෙස වැඩි වෙනවා. නිවැරදි ජලය ප්‍රමාණයක් ලැබීම, වල් පැළෑටි සහ වෙනත් උවදුරුවලින් ආරක්ෂා වීම වැනි වාසි මේවාට හිමිවනවා.
ප්‍රවීණ වාස්තු හා ජෝතිෂ්‍ය උපදේශ,උද්‍යාන අලංකරණ ශිල්පී
දේශ බන්දු,කෘෂිවිද්යශූරී
මාබෝලේ රංජිත් කළුආරච්චි
අර්චිත ඉඳුවර ✍️