“උගස් තියෙනවා… උගස් ගන්නවා… උගස් බේරනවා…” සමාන්‍ය ජීවිතයේදී මේ වචන අපට බොහෝම හුරුපුරුදුයි. නමුත් මේ වචනවලට වඩා ප්‍රායෝගික කාරණා හරිම වෙනස්. සාමාන්‍ය මිනිසුන් වශයෙන් එහි දැනගත යුතු බොහෝ නීතිමය කාරණා තිබෙනවා. ඒවා පිළිබඳව හරි හැටි දැන නොගැනීම ප්‍රශ්න ගොඩකට පාර කියනවා. ඒ නිසා ඒ පිළිබඳ නීතිමය කාරණා කතා කරන්නට අප සිතුවා.
උගසක් කියන්නෙ මොකද්ද?
ඉංග්‍රීසි පොදු නීතියෙන් අපට දායාද වූ සංකල්පයක් වන උගස සරල අර්ථයෙන් ගත් කළ අපි ගන්න ණයකට ආරක්ෂාවක් විදිහට නිෂ්චල හෝ චංචල දේපළක් ඇපයට තැබීමයි. මෙහිදී, මුලින් එකඟවූ නිශ්චිත කාලයක් ඇතුළත ණය මුදල සහ පොලිය ගෙවල ඉවර කරන්න ණය ගැතියා අපොහොසත් වුවහොත් එහි ආරක්ෂාවට තියල තියන දේපළ විකුණල හිඟ ණය කොටස පියව ගන්න ණය හිමියාට හැකියාව තියෙනවා. චංචල දේපළක් නම් එහි සන්තකය ණය හිමියාට භාරදීමක් සිදු වුවත් නිශ්චල දේපළ සම්බන්ධයෙන් මේ වනවිට එසේ බුක්තිය භාර දීමක් සිදුවන්නෙ නෑ.
උගස් ගන්න පුළුවන් කාටද?
තත්කාලයේ පවත්නා නීතිය අනුව ගිවිසුම්වලට එළඹීමේ හැකියාව ඇති ඕනෑම අයෙකුට උගස් ගැනීමේ හැකියාව තියෙනවා. යම් අයෙකුගේ නියෝජිතයෙකු උගසක් ගතහොත් එහි උගස් හිමියා වන්නෙ එම නියෝජිතයා නොව ඔහුගේ ප්රධානියායි. එමෙන්ම බාල වයස්කරුවෙක් උගසක් ගන්නවනම් ඔහුගේ භාරකරුගේ අවසරය ගැනීම අවශ්‍යයි.
උගස් තියන්න පුළුවන් කාටද?
යම් දේපළක අයිතිකරුට පමණක් එම දේපළ උසස් තැබීමේ තියනවා. එමෙන්ම යම් දේපළක හිමිකරුවෙකු විසින් නිසියාකාරව පත්කරන ලද නියෝජිතයෙකුට තම ප්‍රධානියා වෙනුවෙන් එම නිශ්චිත දේපළ උගස් කිරීමේ හැකියාව තියෙනවා.
විවාහක කාන්තාවන්ට තමගේ දේපල සම්බන්ධව තීරණ ගැනීමේ හැකියාව තියන බැවින් ඔවුන්ටද තම දේපළ උගස් තියන්න පුළුවන්.නමුත් බාල වයස්කරුවන්ට තමන් වෙනුවෙන් ගිවිසුම්වලට එළඹීමේ හැකියාව නැති බැවින් තම දේපළ උකස් තියන්න බැහැ. නමුත් ඔහුගේ භාරකරුගේ සහාය ඇතිව අධිකරණ අවසරය සහිතව බාලවයස්කරුවන්ට තම දේපළ උකස් තියන්න පුළුවන්.
ඒ වගේම තනිව තීරණ ගැනීමේ හැකියාව නැති මානසික රෝගීන් ලෙස සලකන අයට සහ මන්ද මානසික පුද්ගලයන්ටත් උගස් තියන්න හැකියාවක් නෑ. යම් දේපළක් හවුල් අයිතිකරුවන්ට එම දේපළ උගස් තියන්න පුළුවන් වෙන්නේ ඒ හැම හවුල් අයිතිකරුවෙකුගේම කැමැත්ත මත පමණයි.
උගස් ගන්න ආයතන නියාමනය වෙනවාද?
ලංකාවෙ උගස් සම්බන්ධ ප්‍රධානම නීතිය වන්නේ 1949 අංක 6 දරණ උගස් පනතයි. මෙම පනත උගස් සම්බන්ධව නෛතික තත්ත්වය විස්තර කරනවා. ඊට අමතරව මහ බැංකුව වරින් වර ඉදිරිපත් කරන රෙගුලාසි මඟින් උගස් සම්බන්ධ නියාමනයන් සිදු වෙනවා. එමෙන්ම ඒ ඒ පළාත් සභා වන්හි මුදල් අමාත්‍යාංශ මඟින් නිකුත් කරනන මුදල් රෙගුලාසි මඟින්ද උගස් ගන්නන් පාලනයක් සිදුවෙනවා.
උගස් හිමියාට තියන අයිතිවාසිකම් මොනවද?
උගස් පනතේ 02 වන වගන්තියට අනුව උගස් හිමියාට තම බොල් ණය අයකර ගැනීම සදහා උගස් දේපල විකිණීමට අධිකරණ නියෝගයක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. එමෙන්ම යම් හෙයකින් උගස්කරු උගස්කර ඇත්තේ දෝෂ සහිත හිමිකමක් ඇති දේපළක් නම් එයට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමටත් එතෙක් එම දේපළ සඳහා තහනමක් ලබා ගැනීමටත් උගස් හිමියාට හැකියාවක් තියෙනවා.
උගස්දුන් තැනැත්තා විසින් උගස් දේපළකට යම් හානියක් සිදුකරයි නම් එය වැළැක්වීමේ අයිතිය ද උගස් හිමියා සතු වෙනවා. ඒ විතරක් නෙවෙයි දේපළේ හිමිකරු නොහොත් උගස් ණයගැතියා හෝ තෙවන පාර්ශවයක් එම දේපළ සම්බන්ධයෙන් උගස් හිමියාගේ අයිතිවාසිකම්වලට පටහැනි හෝ එහි විටිනාකම අඩුවන යම් ක්‍රියාවක් කරණව නම් එයට විරුද්ධව එම දේපළ හිමියාට හෝ තෙවන පාර්ශවයට විරුද්දව ක්‍රියාමාර්ග ගැනීමේ අයිතියත් උගස් හිමියා සතුයි.
උගස් ණයගැතියාට ඇති අයිතිවාසිකම් මොනවාද?
උගස් ණය මුදල එහි පොලිය සහ වියදම් ගෙවා උගස් දේපල නැවත ලබාගැනීමෙන් අයිතිවාසිකම උගස් ණයගැතියාට තියෙනවා.මෙසේ උගස් දේපළ මුදල් ගෙවා නැවත ලබා ගැනීම උගස් දුන් පුද්ගලයාට පමණක් නොව ඒ සම්බන්ධව අයිතිවාසිකම් ඇති ඕනෑම අයෙකුට පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ යම් ආකාරයකින් උගස් ණයගැතියා මියගිහින් නම් ඔහුගේ උරුමකරුවෙකුට එම දේපළ ණය පියවා නැවත ලබාගන්න පුළුවන්.
එමෙන්ම උගස් ගිවිසුමේ කොන්දේසිවලට යටත්ව ණයමුදලින් කොටසක් ගෙවල උගස අලුත් කරගන්නත් උගස් ණය ගැතියාට පුළුවන්කම තියෙනවා. ඒ විතරක් නෙවෙයි උගස් දේපළට යම් හානියක් උගස් හිමියා කර තියනවා නම් (චේතනාන්විතව හෝ නොසැලකිල්ලෙන්) එම හානිය පුර්ණය කරගන්නත් උගස් ණය ගැතියාට හැකියාව තියනවා.
පරාටේ නීතිය කියන්නෙ මොකද්ද?
අධිකරණ නියෝගයක් ලබාගන්නෙ නැතිව උගස් හිමියෙකුට තම බොල් ණය අයකර ගැනීම සදහා උගස් දේපලක් සෘජුවම විකුණන්න පුළුවන් නීතියට තමයි ‘පරාටේ’ නීතිය කියන්නේ. බැංකු සඳහා හිමිවන මෙම බලය ලැබෙන්නෙ 1990 අංක 04 දරණ බැංකු මඟින් ලබාදෙන ලද ණය ආපසු අයකර ගැනීමේ ( විශේෂ විදිවිධාන ) පනත මඟින් වේ. නමුත් වර්තමානයේ රටේ ජනතාවගේ ආර්ථික තත්ත්වය සැලකිල්ලට අරගෙන මෙම පරාටේ නීතිය තාවකාලිකව අත්හිටුවන්න රජය තීරණය කරල තියනවා.
නීතීඥ ධම්මික පියදාස
dhammikapiyadasa01@gmail.com