‘තමන්ට අවශ්‍ය ප්‍රමාණයට වෑංජන බෙදාගන්න. නමුත් අවශ්‍ය දේ පමණක් බෙදාගන්න. මදිනම් ආයෙත් බෙදාගෙන කන්න. ඉතිරි කරන්න එපා. ඔබ ඉතිරි කරන කෑම සතකුටවත් කෑමට නොහැකියි. බෙදාගත් කෑම ඉතිරි කළහොත් මිල දර්ශනයේ අඩංගු මිලට වඩා රුපියල් 100 ක අමතර මුදලක් අය කෙරෙන බව කරුණාවෙන් සලකන්න.’
මේ විශේෂ දැන්වීම ගහලා තියෙන්නේ රත්නපුර – බදුල්ල පාරේ පතුල්පාන කියන ප්‍රදේශයේ තියෙන ‘ගමේ කඩේ’ ඇතුළේ. කිසිම ඉවක් බවක් නැතිව බෙදාගන්න කෑම එකත් දවස ගානෙ ඉවත දාන මිනිස්සු ඉන්න රටක වෙනස් විදිහේ පියවරක් තියපු තරුණයෙක් ගැන අපිට හොයන්නට හිතුණේ මේ නිසයි. ඔහු නමින් ප්‍රසාද් කෝංගල. අවුරුදු ගාණක් තමන්ගෙ හෝටලෙන් කිලෝ ගණන් අපතේ යන කෑම දිහා බලන් දුක්වුණ ප්‍රසාද් ඒකට තිත තියන්න ගත්තු පියවර තමයි කෑම ඉතිරි කළොත් රුපියල් සීයක දඩයක් අය කරගැනීම.
ප්‍රසාද් කියන්නකො ඔයාගෙ මේ අපූරු කඩේ ගැන විස්තර ටිකක්
මේ කඩේ මං පටන්ගත්තෙ 2011 වගේ. කෑම කඩයක් විදිහට පොඩියට පටන් ගත්තේ. මේක තියෙන්නේ රත්නපුර – බදුල්ල පාරේ පතුල්පාන ප්‍රදේශයේ.
මේ දඩ ගහන වැඩේ පටන් අරන් දැන් කොච්චර කාලයක්ද?
කඩේ පටන් අරන් අවුරුද්දක් විතර යනකල් හැමදාම කට්ටිය බෙදාගෙන ඉතුරු වුණ කෑම ඩස්ට්බින් දෙකක් අපි විසි කළා. පොඩි බස්ට්බිනුත් නෙවෙයි ලොකු ඒවා. සාමාන්‍යයෙන් ඒ අපතේ යන කෑම ගොඩේ හාල් කිලෝ 20 ක විතර බත් තිබුණා.
එහෙම හැමදාම අපතේ ගියේ තව දහ දෙනෙක්ට විතර කන්න තිබුණ කෑම. මම හිතුවේ කෑම හරි නැති නිසා කට්ටිය විසික් කරනවද දන්නේ නෑ කියලා. පස්සේ මම බොහොම සුහදව ඇහුවා ඇයි කෑම විසි කරන්නේ? කෑම හරි නැද්ද? කියලා. නමුත් කෑමවල වරදක් කවුරුත් කිව්වෙ නෑ. ඒ නිසයි මම මෙහෙම දෙයක් කරන්න තීරණය කළේ.
නමුත් බෙදාගත්ත කෑම එක ඉතිරි කරන්න යම් යම් හේතු තියෙන්න ඇති නේද?
කෑම එක ඉතිරි කළේ ඇයි කියලා ඇහුවම එයාලට කියන්න එක එක නිදහසට කරුණු තියෙනවා. එක්කෝ ගෑස්ට්‍රික් නිසා කන්න බෑ කියනවා. අනිත් එක බුෆේ එකේ වෑංජන ගොඩක් තියෙන නිසා ආසාවට හැම වෑංජනේම බෙදාගත්තට කාගන්න බෑ. නමුත් මම එහෙම ඉතුරු කරන අයට තේරුම් කරලා කියනවා කොච්චර කෑවත් මට කමක් නෑ හැබැයි මෙහෙම කෑම ඉතුරු කරන්න එපා කියලා.
මේ පොඩි දේනුත් වෙන්නේ රට බංකොලොත් වෙන එක. ආයෙ කඩේට නොඑන්න හරි මම තේරුම් කරලා දෙනවා. පස්සේ තමයි මං කෑම ඉතිරි කළොත් රුපියල් සීයක දඩයක් ගහනවා කියලා දැන්වීමක් ප්‍රදර්ශනය කරන්න තීරණය කළේ. මොකද වරද තියෙන්නේ මගේ නෙවේ. පස්සෙ මම සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂා තුනෙන්ම දැන්වීම් ප්‍රදර්ශනය කළා.
මේ වැඩේ සාර්ථක වුණාද?
ඔව්. 95%ක්ම වගේ කෑම අපතේ යන එක නැවතුණා. ඉස්සර ලොකු ඩස්ට්බින් දෙකකින් කෑම විසිකළාට දැන් ඒකෙන් කාලක්වත් එකතු වෙන්නේ නැති තරම්. එකතු වුණත් එකතු වෙන්නේ රම්පේ, කරපිංචා, මිරිස් වගේ දේවල්.
ප්‍රසාද්ගෙ මේ අපූරු නීතියට අවනත වෙලා කට්ටිය දඩ ගෙව්වද ඉතින්?
ඔව්. දෙන්න අදිමදි කළත් මං කොහොමත් දඩය ගන්නවා. එළවළු කෑම එක 300 යි. බෙදාගත්ත කෑම එක ඉතුරු කළොත් 400 ක් ගන්නවා. සමහරු අහනවා 300 කෑම එක 400ට දෙන්නෙ ඇයි කියලා.මං එතකොට අහනවා “හැමතැනම ගහලා තියෙන බෝඩ් කියවලද කෑම එක බෙදාගත්තෙ” කියලා.
මොකද මම අවශ්‍ය පමණට කෑම බෙදාගන්න,ඉතිරි කළොත් රුපියල් 100 ක දඩයක් ගෙවන්න වෙනවා කියලා මේස වල වගේම සින්ක් එක ගාවත් ගහලා තියෙන්නේ. මම සේවකයන්ටත් කියලා තියෙන්නේ කවුරුහරි කෑම ඉතිරි කළොත් මට ඇවිත් කියන්න කියලා. දඩ ගැහුවත් මේ වැඩේට ලැබෙන ප්‍රතිචාර නම් ඉහළයි.
මේ වැඩේ නිසා ගැටුම් එහෙමත් ඇතිවෙලා ඇති නේද?
එහෙම දේවල් වෙලා තියෙනවා. මේ ළඟදි කඩේට ආවා කොළඹ මහත්තයකුයි නෝනා කෙනකුයි විදේශ ජාතිකයකුයි. නෝනා බත් එක බෙදාගෙන කන්න පටන් ගත්තා. විදේශිකයා මම දාපු බෝඩ් එක දැකලා කිව්වා මේක හොඳ වැඩක් කියලා. අනිත් මහත්තයත් කිව්වා මේ වැඩේ ලංකාවේ හැම කඩේකම කරන්න ඕනේ කියලා.
මේ කතාව කකා හිටපු නෝනට ඇහිලා එයා කිව්වා “නෑ නෑ එහෙම කරන්නේ කොහොමද? ඒක වැරදි වැඩක් සල්ලි ගෙවලා කෑම එක බෙදාගත්තම ඒක කන්නත් පුළුවන් ඉතුරු කරන්නත් පුළුවන් ඔතාගෙන යන්නත් පුළුවන්” කියලා. ඊටපස්සේ මං කිව්වා “මිස් මේ කඩේ ඉතුරු වුණ කෑම ඔතාගෙන යන්න නම් බෑ මිස්ට ඇති තරම් බෙදාගෙන කන්න පුළුවන් ඕනෙනම් මුළු බුෆේ එකම කන්න ඒත් මං ගන්නේ රුපියල් 300 විතරයි හැබැයි ඉතුරු කළොත් මං අනිවාර්යෙන් රුපියල් 100 දඩයත් ගන්නවා” කියලා. මේ වගේ සිදුවීම් කීපයක්ම වෙලා තියෙනවා. ඒත් මං මගේ නීතිය වෙනස් කළේ නෑ. මම ඉල්ලන්නත් කලින් සේරම කන්න බැහැ මේ 100 ගන්න කියලා දෙන අයත් ඉන්නවා. මම කියන්නේ මේ වැඩේ හැම තැනකම වෙන්න ඕන දෙයක්.
මේ නීතිය දාලා තිබුණත් ප්‍රසාද්ගේ හෝටලේට එන පාරිභෝගිකයන්ගෙ නම් අඩුවක් නැහැ. මොකක්ද ඇත්තටම මේකට හේතුව?
මම කවදාවත් උදේ වෑංජන දවල්ටයි රෑටයි දෙන්නෙ නෑ. අනිවාර්යයෙන්ම වෑංජන වර්ග කිහිපයක් වේල් තුනට වෙනම හැදෙනවා. උදේට අනිවාර්යෙන්ම පරිප්පු හදනවා. උදේ 09 – 10 වෙද්දි මුං ඇට, කඩල හෝ බටානා වෑංජනයක් බුෆේ එකට දානවා. මේ දේවලුත් එක වෑංජනයක් ඉවර වෙද්දි තමයි දාන්නේ.
මනුස්සයෙක් බත් ටිකක් කන්න කඩේකට ගියාම කල්පනා කරනවනේ මේ උදේ හදපු ඒවද කියලා. ඒ නිසයි මම හොදි වර්ග මාරු කර කර වේල් තුනට දෙන්නේ. පැය දෙකෙන් දෙකට වෙනස් වෙනස් වෙන බුෆේ එකක් අපිට තියෙන්නේ. අනික අපේ හෝටලේ හදන කෑමවලට කිසිම රසකාරකයක් දාන්නේ නෑ. ඒ වගේමයි ගමේ මාළුවක් අනිවාර්යයෙන්ම දානවා. කොස් මාළුවක්, ගස්ලබු, මඤ්ඤොක්කා, කිරි අල වගේ වෑංජනයක් ඊට එකතු වෙනවා. මේ සේරම එක්ක වෑංජන හතක් අටක් බුෆේ එකේ තියෙනවා.
කෑම අපතේ නොදාන පුරුද්ද ප්‍රසාද්ටත් පුංචි කාලෙ ඉඳලම තිබුණද?
ඔව්. මම කැමති නෑ කෑම විතරක් නෙමෙයි කිසිම දෙයක් අපතෙ යවන්න. ගෙදර අයට වුණත් මං කියන්නේ වෑංජන ටික මට වෙන වෙනම බෙදලා තියන්න. මං මට අවශ්‍ය ප්‍රමාණය බෙදාගන්නම් කියලා.
කොළඹ හෝටල්වල ඉතිරි වෙන කෑම නම් ඌරු කොටුවලට යැවෙනවා. ප්‍රසාද් ඉතුරු වන කෑමවලට මොකද කළේ?
මේ නීතිය ගේන්න කලින් මගේ කඩේ ඉතිරි වෙන කෑම ගෙනියන්නත් ඌරු කොටුවක් කරන කෙනෙක් ආවා. පස්සේ මං කල්පනා කළා මේ මනුස්සයා ඉතුරු වෙන කෑම ගෙනිහින් ඌරන්ට දීලා උන්ව පෝෂණය කරලා මසට විකුණලා සල්ලි හම්බ කරනවා මං උන්ට කෑම දෙන නිසා ඒක පවක් කියලා. පස්සෙ එයාට ඉතිරි කෑම දෙන එක නැවැත්තුවා. පස්සේ කුණු ට්‍රැක්ටරේට දුන්නා. ඒත් දැන් නම් එහෙම දෙන්නවත් ඩස්ට්බින් එක ඉඳුල්වලින් පිරෙන්නෙම නැති තරම්.
එරංදි කෞශල්‍යා ✍️