විනය කියන්නෙ හික්මීමක්. නැත්නම් සංයමයක් විදිහටත් අපිට කියන්න පුළුවන්. විනයක් නැත්නම් ශිෂ්ට සම්පන්න සමාජයකට උරුමකම් කියන්න අපට බැරි වෙනවා. මේ දවස්වල අපි දකින අපරාදවලට හේතුව තමයි හික්මීම නැත්නම් ස්වං විනයක් නැති එක. පාරේ ට්‍රැෆික් එකකට හිර වුණාම වාහනවලින් එන හෝන් සද්දෙ අපිට කොච්චර හිසරදයක්ද. ඇයි විනාඩි කිහිපයක් ඉවසන්න බැරි. කලර් ලයිට් එකේ පාට දැක දැක හෝන් ගහන එකෙන් ශබ්දය කොච්චර දූෂණය වෙනවද? එහෙම හිතන්න පුළුවන් මනසක් අපට නැත්තේ ඇයි? ජීවිත සාර්ථකත්වයේ ඉහළටම යන්න නම් ඔයත් ස්වං විනය අනිවාර්යයෙන්ම පුරුදු කරගන්න. විනය ගැන දැනගන්න හොදම පොත් ටිකක් ලෝකයේ තියෙනවා.
ජෙම්ස් ක්ලියර්ගේ ඔටොමික් හැබිට් (Atomic Habits )
අපේ ජීවිතේ චූටි චූටි වෙනස්කම් කරලා ලොකු ලොකු ජයග්‍රහණ ලබාගන්න කියලා දෙන්න පුළුවන් පොතක් තමයි Atomic Habits කියන්නෙ. මේ පොතේ කාලයත් එක්ක ඔයාගෙ වෙනස්වීමවලට, ඔයාගෙ වෙනස්වන ජිවන රටාවට වගේම එයින් ඔයාට ජීවීතේ හම්බෙන ප්‍රතිඵල ගැන හරි අපූරුවට ලියලා තියෙනවා. 2018 ඔක්තෝම්බර් 16 තමයි මේ පොත මුල් වරට මුද්‍රණය කරලා තියෙන්නෙ.
ඩැනියල්ගේ තින්කින්ග්, ෆාස්ට් ඇන්ඩ් ස්ලෝව් (Thinking, Fast and Slow)
තත්පරයක් ඇතුළත අපේ හිතට සිතුවිලි දහස් ගානක් එනවා. ඒ සිතුවිලි එක්ක අපි තීන්දු තීරණ වෙනස් විදිහට ගන්නවා. මේ පොතේ අපි තීරණ ගන්න ක්‍රම දෙකක් ගැන ලියවිලා තියෙනවා. ඒ ක්‍රම දෙක තමයි වේගවත් වගේම මන්දගාමී. තව විදියකින් කිව්වොත් ක්ෂණික තීරණ ගැනීමේ ක්‍රමය හා හොඳින් සිතා බලා ගැනීමේ තීරණ ගැනීමේ ක්‍රමය. ඔයාටත් ඔයාගේ ජීවිතේ හරියට තීරණ ගන්න අමාරු වෙනවා නම් මේ පොත අනිවාර්යෙන්ම කියවන්න.
රොබට් ග්රීනගේ ද ෆෝටීඑයිට් ලෝස් ඔෆ් පවර් (The 48 Laws of Power)
මේ පොතේ ප්‍රධාන වශයෙන් තියෙන්නෙ බලය කියන්නෙ මොකක්ද, ඒ බලය ඵලදායී විදිහට යොදාගන්නේ කොහොමද කියලා. මිනිස්සු බලයට ගොඩක් කැමතියි නමුත් බලය ලැබුණාම හරියට පාවිච්චි කරන්න කවුරුත් දන්නේ නැහැ. වර්තමාන ශ්‍රී ලංකාව දිහා බැලුවහම අපිට ඒක හෙඳට පේනවනේ. ඒක නිසා ඔයාලාත් ඔයාගේ බලය රැකගන්න, බලය පාවිච්චි කරන්නෙත් මේ පොත අරන් කියවන්න. 1998 පළමු වතාවට මුද්‍රණය කරලා තියෙනවා.
ඩැනියල් වෝල්ටර්ගේ ද පවර් ඔෆ් ඩිසිප්ලින් (The Power of Discipline)
මේ පොතෙන් ඔයාට පැහැදිලි කරන්නේ ඔයාගේ ස්වයං විනය භාවිත කරන්නේ කොහොමද, ඔයාගේ අරමුණු සාක්ෂාත් කරගන්නේ කොහොමද සහ ආචාර ධර්මවල ඇති වැදගත්කම මොක්කද කියලා. ඒ වගේම තමයි මේ පොතෙන් කියල දෙනවා ඔයාගේ ආචාර ධර්ම දියුණු කරන්නේ කොහොමද කියලත්. හරි විදියට විනය ගැන දැනගෙන සමාජයේ ගෞරවනීය විදියට ජීවත් වෙන්න අනිවාර්යෙන් මේ පොත කියවන්න.
රොබින් ශර්මාගේ ද ෆයිව් ඒ.එම් ක්ලබ් (The 5 AM Club)
අපේ අම්මලා හැමතිස්සෙම කියන්නේ පස්ස පැත්තට එළිය වැටෙනකම් නිදාන්න එපා කියලා. ඇත්තටම අපි දවල් වෙනකන් නිදාගත්තොත් වෙන්නෙ දවසේ වැඩ ගොඩක් මඟහැරෙන එක. මේ පොතෙන් උදෙන්ම නැගිටින එකෙන් ඔයාට හම්බෙන ලාභ ප්‍රයෝජන මොනවද කියලා කියනවා. උදෙන්ම නැගිටින ඔයා මුල් පැයේ ව්‍යායාම කරන්නත් ඉගෙන ගන්නත් මෙයින් කියනවා. මේ පොත මුද්‍රණය කරලා තියෙන 2018 දී.
ස්ටෙපන් ආර් කොවිගේ ද සෙවන් හැබිට් ඔෆ් හයිලි එෆෙක්ටිව් ( The seven habits of Highly Effective people )
අපි ජීවත් වෙන්න ඕන රටට වැඩදායි විදිහට. කොවිගේ මේ පොතෙන් කියල දෙන්නේ ඔයාලා පැහැදිලි ඉලක්ක තියාගන්නේ කොහොමද ඒ ඉලක්ක වෙනුවෙන් මහන්සි වෙන්නේ කොහොමද ඒ සඳහා වගකීම් ගන්නෙ කොහොමද කියලත්. මේ පොතේ පළවෙනි මුද්‍රණය වෙන්නෙ 1989.
චාල්ස් ඩුහිගාගේ ද පවර් ඔෆ් හැබිට් (The Power of Habit)
අප ඉපදුන දවසේ ඉඳලා අපේ ජීවිතයට හුරුපුරුදු නිරන්තරයෙන් එකතු වෙනවා. මේ හුරුපුරුදු නිරන්තරයෙන් අලුත් වෙනවා.ඩුහිගාගේ අපිට මේ පොතෙන් කියලා දෙන්නේ අලුත් වෙන හුරු පුරුදු අපේ ජීවිතයට හුරු කරගන්නේ කොහොමද කියලා.
ඒ වගේම කෙනෙක් තමන්ට විවිධ දේවල් ලැබෙද්දී තමන්ගේ චර්යාවන් වෙනස් කරගන්නවා කියලත් මේ පොතේ එයා පැහැදිලි කරනවා. හරියට අපිට පොඩි කාලේ අම්මලා කොහේ හරි ගියහම හොඳට හිටියොත් මොනවා හරි ගෙනත් දෙනවා කිව්වහම අපි හොඳට ඉන්නවා වගේ. 2012 දී තමයි මේ පොත මුද්‍රණය කළේ.
Time of India.com ඇසුරෙන්
නිපුනි සම්මානි ✍️