සාම්ප්‍රදායික කාන්තාවකට උරුම වූ රැකියා රාමුව බිඳ දමමින් පිරිමින්ගේ නමට ලියැවුණු රැකියාවන් පවා තමන්ගේ වෘත්තීය විදිහට තෝරගන්න වර්තමාන කාන්තාව යොමු වෙලා තියෙනවා. ඒ අතර නවලිය අපිට පසුගිය දිනකදී සුවිශේෂි චරිතයක් දන්කොටුව ප්‍රදේශයෙන් මුණගැහුණා. ඇය නමින් ස්නේහා උද්‍යානි නේත්‍රා කුමාරි. ඇය වයස අවුරුදු 18 ක තරුණියක්. අද අපේ මාතෘකාව වුණේ මෘතදේහ එම්බාම් කිරීම වගේ, කාන්තාවක් නොකරන රැකියාවක් ඇය සිය වෘත්තිය විදියට තොරගත්ත නිසා. ඉතින් ඒ ගැන අපි ඇයගෙන්ම අහන්න හිතුවා…
ඉතිං ස්නේහා ඔයාගේ සියුමැලි අත්වලට මේ වගේ වැඩක් කරන්න පන්නරය ලැබුණේ කොහොමද?
මගේ තාත්තාගෙ රැකියාවත් මළ සිරුරු එම්බාම් කිරීම වගේම මල්ශාලාවලට මිනීපෙට්ටි සැකසීම. ඉතින් පුංචි කාලෙ ඉඳලම මේ දේවල් දැකලා තිබුණ නිසා සාමාන්‍ය පෙළින් පස්සෙ මටත් මේ රැකියාව ගැන කැමැත්තක් ඇතිවුණා.
මම ඒ ගැන තාත්තට කිව්වම තාත්තත් මට ඒකට කැමැත්ත දුන්නා. එදා ඉඳන් තාත්තා මළසිරුරු කපන දිහා බලාගෙන ඉඳලා මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඊට පස්සෙ මට අවුරුදු 15 ඉඳන්ම මිනී එම්බාම් කරන්න මාත් එකතු වුණා.
ස්නේහා මුලින්ම මළ සිරුරක් එම්බාම් කළේ කවදද?
අපවත් වුණු ස්වාමීන් වහන්සේ නමකගේ මෘත ශරීරයක් තමයි මම මුලින්ම එම්බාම් කළේ. එදා ඉඳන් අද වෙනකන් මෘත ශරීර 45 ක් විතර මම එම්බාම් කරලා තියෙනවා.
කවදාවත් බයක් අප්‍රසන්න බවක් ඇතිවෙලා නැද්ද?
මුල්ම දවසේ නම් ටිකක් බය හිතුණා. ඒත් තාත්තා නිතරම කියන්නේ කොච්චර විච්චූරණ කරත් ජීවිතේ අන්තිමට නවතින්නෙ ඔතන කියලා. ඇත්තටම ඊට වඩා දෙයක් මෙතන නැති බව මටත් තේරුණා. ඒ නිසා බයක් අප්‍රසන්න බවක් දැන් දැනෙන්නේ නෑ. හැබැයි පොඩි ළමයෙක්ගේ මළ සිරුරක් දැක්කහම නම් තවමත් ටිකක් දුක හිතෙනවා. ඒත් ජීවිතේ මේකයි කියලා මම හිත හදාගන්නවා.
එම්බාම් කරනවා කියන්නෙ මොකක්ද?
මුලින්ම අපි කරන්නෙ සිරුර පිරිසිදු කරලා ගල්වෙන්න බෙහෙත් දාලා පැයක් විතර තියෙන එක. මොකද සාමාන්‍යයෙන් මැරුණ කෙනෙක්ගේ මස් ලිහිල්ව තියෙන්නේ ඒවා ගල් වුණාම. ඊට පස්සේ තමයි සිරුර කපලා ඇතුළේ කොටස් ඉවත් කරන්නේ.
උගුරු දණ්ඩ කැපුවාම සිරුරේ ඇතුළේ තිබෙන පද්ධති සේරම පිටතට ගන්න පුළුවන්. මේවා බාල්දියකට අරගෙන පොළොවේ වළඳානවා.මේ අවස්ථාව නම් ටිකක් අප්‍රසන්නයි. ඒ වෙලාවට පුවක් ගෙඩියක් හරි බුලත් විටක් හරි කටේ දාගන්නවා. එතකොට මට වමනේ එන්නේ නෑ. මේ විදිහට තමයි මෘත ශරීරය සම්පූර්ණයෙන්ම සකස් කරලා අයිතිකරුවන්ට භාරදෙන්නේ.
මැරුණ අය ජීවත් වෙලා ඉන්නවා වගේම පේන විදියට එම්බාම් කරන්න ඔයාට පුළුවන් කියන්නේ ඇත්තද?
ඔව්. සමහර අයට මියගිය පුද්ගලයන්ගේ සිරුර ඒ පුද්ගලයා ජීවත්ව සිටි කාලයේ හැඩරුවටම සමාන විදියට අවශ්‍ය කරනවා. අනතුරකට පත්වෙලා මියගියාම, කාලයක් රෝගී වෙලා මියගියාම ජීවත් වෙලා සිටි පුද්ගලයාගේ රූපය ගොඩක් වෙනස් වෙනවා. ඒ වගේ අවස්ථාවලදී ඒ පුද්ගලයාගේ ඡායාරූපයක් ගෙනත් දුන්නම ජීවත්ව සිටි කාලයේ වගේම මළ සිරුර එම්බාම් කරන්න මට පුළුවන්.
එම්බාම් කටයුතු ඇරුණාම ස්නේහට තව වෙන මොනවද පුළුවන්?
මිනී පෙට්ටි සකස් කරන්න, මල් වඩම් සකස් කරන්න වගේ මල්ශාලාවක කරන හැම කටයුත්තක්ම කරන්න මට පුළුවන්.
ස්නේහගේ අනාගත බලාපොරොත්තු මොනවද?
අනාගතයේදී අපිටම කියලා මාශාලාවක් පටන් ගන්න එක තමයි මගේ එකම බලාපොරොත්තුව.
ඉතින් අපි ස්නේහගේ වැඩ ගැන එයාගෙ තාත්තා සංජීව කුමාරගෙනුත් අහල දැනගත්තා
දුව ගැන මොකද හිතන්නෙ?
අපිටම කියලා මල්ශාලාවක් නම් තවමත් නැති නිසා වෙනත් මල්ශාලාවලින් එම්බාම් වැඩවලට අපිට කතා කරනවා. ඇත්තටම දැන් මට වඩා දුව ජනප්‍රියයි. ඒ නිසා ගොඩක් මල්ශාලාවලින් දුවත් එක්කම එන්න කියලා තමයි කතා කරන්නේ. මුලදි නම් දුව එම්බාම් කටයුතු කරන එක ගැන සමහර අය දොස් කිව්වා. ඒත් ඒක දුවගෙ කැමැත්ත නිසා මම එයාට ඉඩ දුන්නා.
මුලින් කිව්ව විදිහට මියගිය පුද්ගලයාගේ සිරුර ජීවත්ව සිටි කෙනා වගේම හදන්න එයාගේම දක්ෂතාවක් තියෙනවා. මේ වැඩේට විශේෂ පොටි වර්ගයකුත් එයාම හදාගෙන තියෙනවා. මෙච්චර කාලයක් එම්බාම් කරලත් මමවත් ඒ ගැන දැනගෙන හිටියේ නැහැ. ඉතින් ඒ දේවල් එයා තනියම තමයි ඉගෙන ගත්තේ.
දුම්ෂා විජේසිංහ සහ ටෂ්මි ගමගේ
තොරතුරු සම්බන්ධීකරණය:
පුන්‍යා චාන්දනී ද සිල්වා