වැඩිහිටි අවධියේදී බොහෝ දෙනෙක් තමන්ගේ දත් ගැන සැලකිල්ලක් දක්වන්නේ නැහැ. මේ නිසා විදුරුමස් රෝගයන්ගේ ආරම්භක මුල් තත්ත්වය හෙවත් ජින්ජිවයිටස් (Gingivitis) තත්ත්වයේදී ඇති වෙන විදුරුමසෙන් ලේ ගලන තත්ත්වය නොසලකා සිටියොත් පරිදන්තරෝග (Periodontitis) තත්ත්වයන් ඇති වෙනවා. මේ තත්ත්වයේදී දතක් අවට තිබෙන විදුරුමසේ පේශි හා අස්ථිවලට හානි සිද්ධ වෙනවා. මේ නිසා දත හා විදුරුමස අතර හිදැසක් ඇති වී දත් බුරුල්වවීම නිසා තමන්ගේ ස්වභාවික දත් නොදැනීම ගැලවෙන තත්ත්වයක් ඇති විය හැකියි. ඒ වගේම හදිසි අනතුරු නිසාත් වයසටත් පෙරාතුව දත් අහිමි වෙනවා.
දත් දිරා යෑම නිසාත් අකලට දත් අහිමි වෙනවා. වියපත් වීම සමග දත් හැලීම සිදු වෙනවා. සාමාන්‍යයෙන් වැඩුණ පුද්ගලයෙකුගේ දත් 32 ක් ඇති බවට වූ පොදු පිළිගැනීමක් තිබුණත්, බොහෝ වැඩිහිටියන්ගේ දත්වල සංඛ්‍යාව 32 ක්ම ලෙසින් පිහිටන්නේ නැහැ. දත් දිරා යෑම, දත් ගලවා දැමීම වැනි හේතුන් නිසා මේ නියමිත දත් සංඛ්‍යාවක් ඔවුන්ගේ මුඛයේ තිබෙන පිහිටා නැහැ. තමන්ගේ ස්වභාවික දත් අහිමි වීම නිසා ඇතිවන අපහසුතාවය පිරිමසා ගැනීම සඳහා වැඩිහිටි බොහෝ දෙනෙක් කෘතිම දත් ඇන්දක් දැමීමට යොමු වෙනවා. එහෙම නැත්නම් දත් සිටවීම ( Implant) කරනවා.
කෘතිම දත් දැම්මාට පසුව ඇති වෙන අපහසුතාවයන් කීපයක් තිබෙනවා
අහිමි වෙන දත් වෙනුවෙන් කෘතිම දතක් හෝ දත් ඇන්දක් දැමීම අපට ඉතා හුරුපුරුදු ක්‍රමයක් වුණත් ප්‍රායෝගිකව තිබෙන අපහසුතාවයන් කිහිපයක්ම තිබෙනවා.
- මෙය නිතරම පැළඳ සිටීමක් අවශ්‍යයි.
- රාත්‍රි නින්දට පෙරාතුව ඉවතට ගැනීම, පසුවදා නැවත පැළඳ ගැනීම වැනි කටයුතු කෘතිම දත් පැළඳීමේදී සිදු වෙන සාමාන්‍ය තත්ත්වයක්.
- මෙම දත් සවි කරන්නේ ප්ලාස්ටික් (Plate) තල්ලට නිසා කථා කිරීමේ අපහසුතාවයක් ඇති වෙනවා.
- සමහර වචන උච්චාරණය අපහසුයි.
- මේ දත් ඇන්ද බුරුල් වීම් ඇති වුණාම පරිහරනය අපහසුයි.
- ප්ලාස්ටික් තල්ල නිසා ඇති වෙන තුවාල, කැපීම් ( denture ulcers) වැනි තත්ත්වයන් ඉතා සුලබයි.
- තමා කෘතිම දත් පැළඳ සිටින බව වෙනත් අය දැන ගැනීම නිසා ඇති වෙන අපහසුතාවයත් කෘතිම දත් පැළඳීම නිසා පුද්ගලයෙක් මුහුණ දෙන විවිධ ගැටළු විදිහට සැලකෙනවා.
ඒ වගේම පෝෂණය පිලිබඳ ගැටළුවලින් ඇති වෙන අතුරු ප්‍රතිඵල ඉතාම දරුණු විදිහට බලපාන්න පුළුවන්. නමුත් අනාගතයේදී වැඩිහිටි වයසේදී හෝ හදිසි අනතුරකින් දතක් අහිමි වුණොත් ඒ වෙනුවෙන් කෘතිම දතක් දැමීමමට හෝ දත් සිටවීම (Implant) කිරීම අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වෙනුවට ස්වභාවික දතක් වගා කිරීමට තිබෙන හැකියාව ගැන දැන් අධ්‍යනයන් සිදු වෙමින් පවතිනවා. ජපානයේ කියතෝ විශ්ව විද්‍යාලය සහ Fukui විශ්ව විද්‍යාලය මගින් මගින් සිදු කරන ලද මෙම අධ්‍යනයේදී දතක් අහිමි වීම නිසා ඇති වන හිස්තැන ස්වභාවික අන්දමින්ම පිරිමසා ගැනීමට තිබෙන හැකියාව ගැන අධ්‍යනයන් සිදු කරනවා.
මීයන් යොදා ගත් පර්යේෂණය…
ඔවුන්ගේ මෙම අධ්‍යනයේ ආරම්භක අදියර වෙනුවෙන් මීයන් යොදා ගත්තා. මෙහිදී මුලින්ම දතක වර්ධනයට බාධා කරන ජාන හඳුනා ගැනීමට පර්යේෂකයන් සමත් වුණා. මෙහිදී අකලට දත් හැලුන මීයන් සම්බන්ධ කරගෙන දත් වැටීමට බලපාන ලද ජානමය හේතූන් හඳුනාගත්තා.
ඔවුන්ගේ හඳුනාගැනීමට අනුව USAG-1 යනුවෙන් හඳුන්වන ප්‍රෝටීනය මගින් මීයන්ගේ දත් වර්ධනය වීමේ හැකියාව අඩාල කරනවා. දත් සහිත මීයන්ගේ මෙම ප්‍රෝටීනය දකින්න ලැබුනේ නැහැ. ඒ අනුව ජානවල USAG-1 ප්‍රෝටීනය අක්‍රිය වීම දත් වර්ධනයට බලපාන බැව් පර්යේෂකයන්ට පැහැදිලිව පෙනී ගිය කරුණක්.
ඉහතින් සඳහන් කළ USAG-1 ප්‍රෝටීනය අකර්මණ්‍ය කිරීම මගින් දතක් වගා කිරීමට ඇති හැකියාවක් ඇති බැව් පර්යේෂකයන් විසින් දත්ත විශ්ලේෂණයෙන් ලබාගත් නිගමනය වුණා.
මේ අනුව මෙම අධ්‍යනයේ ප්‍රධානී Katsu Takahashi විසින් USAG-1 ප්‍රෝටීනය අකර්මන්‍ය කිරීම සඳහා BMP හෙවත් bone morphogenetic protein අණුවට හැකියාව තිබෙන බැව් හඳුනා ගත්තා. ඊට අමතරව USAG-1 ප්‍රෝටීනය අකර්මන්‍ය කරන Wnt සංඥා අණුවක්ද මෙම පර්යේෂකයින් විසින් දැනටමත් හඳුනා ගෙන අවසානයි.
BMP සහ Wnt මගින් USAG-1 ප්‍රෝටීනය අකර්මන්‍ය කිරීම දත් වර්ධනයට කිරීමට පමණක් නොව මිනිස් සිරුරේ වෙනත් අවයවයන්ගේ වර්ධනය සඳහාත් බලපානවා. ආතරයිටිස් සහ විවිධ එන්නත් නිෂ්පාදනයේදී BMP සම්බන්ධ කර ගැනීම සිදු වෙනවා.
මෙම USAG-1 ප්‍රෝටීනය අඩාල කිරීමට යොදා ගත් ක්‍රමවේදයන් මගින් දත් හැලුන මීයන්ගේ දත් නැවත වර්ධනය වීමක් සිදු වුන බැව් ඔවුන්ට පර්යේෂණයන් මගින් සනාථ වූ බැව් මෙම අධ්‍යනය සඳහා සම්බන්ධ වුණ මනාබු සුගායි සඳහන් කරනවා. 2018 වසරේදී මීයන්ගෙන් ලබාගත් සාර්ථක ප්‍රතිඵල නිසාම මෙම පර්යේෂකයන් විසින් මුගටියන් සම්බන්ධයෙනුත් මෙම අධ්‍යනය ආදේශ කරගත්තා. 2021 වසර වනවිට මුගටියන් සම්බන්ධයෙනුත් මෙම ක්‍රමවේදය යොදා ගත් අතර ඔවුන්ගේද දත් නැවත වගා කිරීමේ පර්යේෂණ සාර්ථක වී අවසානයි.
දැන් මිනිසුන්ටත්…
අපේ දත් කිරි දත් සහ ස්ථිර දත් ලෙසින් දෙවන වතාවටත් අපට ලැබුණත් ජීවිතාන්තය දක්වා මේ දත් ප්‍රවේසම් කර ගැනීම අපහසුයි. ඉතාම සරලව කිව්වොත් අපට තුන්වැනි වතාවටත් ස්වභාවික දතක් නැවත ලබාගැනීම මෙතෙක් කාලයක්ම සිහිනයක් වුණා.
නමුත් මීයන්ගෙන් පසුව මුගටියන් අලලා සිදු කරන ලද අධ්‍යන වාර්තාවන් පාදක කරගෙන මිනිසුන්ටත් නැවත දතක් වගා කර ගත හැකි ක්‍රමවේදයන් ගැන ජපානයේ පර්යේෂකයන්ගේ අවධානය යොමු වී තිබෙනවා.
වයස අවුරුදු 30-64 අතර වයස පරාසරයේ සිටිින දත් අහිමි පුද්ගලයින් කණ්ඩායමක දත් වගා කොට එහි ප්‍රතිඵල 2025 වසරේ අගෝස්තු විට ලබා ගැනීමට අදහස් කරනවා. මෙම අධ්‍යනයන් සාර්ථක වුවහොත් 2030 වසර වෙන විට මිනිසුන්ටත් තමන්ගේ දතක් මුඛයේ වගා කර ගත හැකි දිනයක් ලැබෙන බවට දන්ත ජාන ඉංජිනේරු විද්‍යාඥයන් සඳහන් කරනවා.
මෙතැනින් නැවතීමක් නැහැ….
මෙම පර්යේෂකයන්ගේ අධ්‍යනයන් මෙතැනින් නවතින්නේද නැහැ. ඌරන්, බල්ලන් වැනි සතුන් වෙනුවෙනුත් මෙම ප්‍රතිදේහ පරීක්ෂා කිරීමට කියතෝ විශ්ව විද්‍යාලයේ පර්යේෂකයින් බලාපොරොත්තු වෙනවා.
newatlas.com ඇසුරෙන්
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️