ඇය ජිනාලි ඒකනායක. ජිනාලි කියන්නෙ මුහුදු පුරාවිද්‍යා නිලධාරිණියක්. ඇගේ රාජකාරිය ලංකාව වටා මුහුදු පත්ලේ ගිලී ගිය නෞකා ගවේෂණය කරන එක. මේක හැමෝටම කරන්න පුළුවන් රාජකාරියක් නෙවේ. ඒ වගේම හැමෝටම නොලැබෙන විදිහේ අපූරු රැකියාවක්. මෙවැනි රැකියා බොහෝවිට පිරිමින්ගේ නමට ලියැවෙන නිසා ජිනාලි විශේෂ චරිතයක් කියලා අපිට හිතුණා. ඒ නිසා මුහුදු පතුලේ විශ්මය හොයාගෙන කිමිදෙන මේ දිය කිඳුරියගේ කතාව මම අකුරු කළා…
ජිනාලි අපි මුලින් කතා කරමු ඔබේ පෞද්ගලික විස්තර ටිකක්…
මගේ නම නම් දැනටමත් දන්නවනේ. මම ඉන්නෙ ගාල්ලෙ පෝද්දිවල. අම්මා විශ්‍රාමික කාන්තා පොලිස් සැරයන්වරියක්. තාත්තා හිටපු උප පොලිස් පරීක්ෂකවරයෙක්. ඔහු ත්‍රස්තවාදී ප්‍රහාරයක් නිසා අපි චූටි කාලෙම නැති වුණා. මට ඉන්නෙ අක්කයි නංගියි. වර්තමාන පවුල ගැන කතා කළොත් හස්බන්ඩ් කෝසල අබේතුංග. ඔහුත් උප පොලිස් පරීක්ෂකවරයෙක්. මගේ දෝණි මෞලි අබේතුංග.මම ඉගෙනගත්තෙ ගාල්ලෙ සිරිධම්ම විද්‍යාලයෙන්. උසස් පෙළ සමත්වෙලා රුහුණ විශ්වවිද්‍යාලයෙන් පුරාවිද්‍යා විශේෂවේදි උපාධියක් ලබාගත්තා. ඒ වගේම පුරාවිද්‍යාව පිළිබඳ විද්‍යාපති උපාධියකුත් මට තියෙනවා.
ඔබේ තනතුර ගැන පැහැදිලි කළොත්…
මම මුහුදු පුරාවිද්‍යා නිලධාරිණියක්. මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුහුදු පුරාවිද්‍යා ඒකකයේ තමයි සේවය කරන්නේ. ලංකාව වටා තියෙන ගිලුණු නැව්වල පුරාවිද්‍යාත්මක පැතිකඩ විමර්ශනය කිරීම තමයි අපෙන් සිදුකෙරෙන කාර්යය.
ඒ වෙනුවෙන්මද ජිනාලි පීනන්න පුරුදු වුණේ?
පාසල් යන කාලේ ඉඳලා සාමාන්‍යයෙන් පීනන්න පුළුවන්. නමුත් මුහුදේ පීනන්න පුරුදු වුණේ මුහුදු පුරාවිද්‍යා ඒකකයේ සේවයට බැඳුනට පස්සේ.
සාමාන්‍යයෙන් මොන වගේ නෞකාද ජිනාලි ගවේෂණය කරන්නෙ?
සුළි කුනාටු, නොදන්නා ගල් පරවල හැපීම වගේ ස්වභාවික හේතු නිසා, යුධ ගැටුම් නිසා සහ කාර්මික දෝෂ නිසා නෞකා ගොඩක් ගිලීමට ලක්වෙනවා. ඒ වගේ නෞකා ගැන ලැබෙන තොරතුරු ආශ්‍රිතව එම නෞකාවන්ගේ ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක අගය හඳුනාගන්න උත්සහයක් ගැනීම තමයි ප්‍රධාන වශයෙන් වෙන්නේ. ඒ ඒ නෞකාවන් හෝ පරිශ්රයන්ගේ අනන්‍යතාව තහවුරු කරගන්නවා. එම හඳුනාගන්නා ස්ථාන වාර්තාගත කිරීමක් කරනවා.
මෙවැනි රැකියාවක් ගැන මුල ඉඳලම ආසාවක් තිබුණද?
මුලින්ම මේ පිළිබඳව විශේෂ දැනීමක් තිබුනේ නෑ. නමුත් මුහුදු පුරාවිද්‍යා ඒකකයෙන් විශ්වවිද්යාලීයව පුරාවිද්‍යාව හදාරන ළමයින්ට කරන පුහුණුවකට සහභාගී වුණා. ඒකෙන් තමයි පළවෙනි පාරට ඒ ගැන ආසවක් ඇති වුණේ. ඊටපස්සේ කැම්පස් අවුට් වුණාට පස්සේ ක්ෂේත්‍ර පුහුණුවකට අපිව මධ්‍යම සංස්කෘතික අරමුදලේ විවිධ ව්‍යාපෘතීන්වලට යොමු කළා. ඒ විදිහට තමයි මම මුහුදු පුරාවිද්‍යා ඒකකයට සම්බන්ධ වුණේ.
මුහුද යටදි අනතුරකට එහෙම මුහුණ දීලා නැද්ද?
මතුපිටින් පෙනෙනවට වඩා කිමිදීම කියන්නේ අසීරු වගේම අනතුරු බහුල කාර්යයක්. පුංචි අත්වැරැද්දක් විශාල අනතුරකට හේතු වෙන්න පුළුවන්. හැබැයි තාම නම් එහෙම අනතුරකට මුහුණ දුන්නේ නෑ.
මේ වෙනකොට හොඳම ගවේෂණ අත්දැකීමක් ගත්තු නැව මොකද්ද?
ලංකාව වටා මුහුදු තීරයේ විශාල ප්‍රමාණයක් නැව්, ගුවන් යානා ඇතුළු තවත් යාත්‍රා කොටස් ගිලී තියෙනවා. කොළඹ, මඩකලපුව, ත්‍රිකුණාමලය, හික්කඩුව වගේ පැතිවල වැඩි වශයෙන් ගිලුණු සුන්බුන් තියෙනවා. මම ගොඩක් සම්බන්ධ වුණේ අම්බලන්තොට ආශ්‍රිතව ගිලී ගිය ගොඩවාය යාත්‍රාවට නිසා දැනට මම හිතන්නේ ඒක තමයි පර්යේෂණ රාශියක් කළ හැකි සුවිශේෂීම යාත්‍රාව වෙන්නේ.
ජිනාලිට ලැබිලා තියෙන්නේ හැමෝටම නොලැබෙන ආකාරයේ අපූරු රැකියාවක්. කොහොමද ඒ තෘප්තිය?
මුහුද යට සිදුවන හැම සිද්ධියක්ම, දකින හැම දර්ශනයක්ම දවසින් දවස අලුත් වගේම වෙනස්. පරිසරය ක්ෂණිකව වෙනස් වෙනවා. මට හිතෙන්නේ මුහද යට කියන්නෙම අපූරු සිද්ධි දාමයක එකතුවක් කියලා. මොකද ගොඩබිමින් දකිනවට වඩා මුහුද යට ගොඩක් වෙනස්නේ. වෙලාවකට මේ මුහුද යටද කියලා හිතාගන්න බැරිතරම්. කොරල්, ජලජ ශාක බහුල ප්‍රදේශ වගේම කිසිම දෙයක් නැති වැලි පතුලවල් තියෙනවා.
ලස්සන කුඩා මත්ස්‍යයින් වගේම විශල ශරීරවලින් යුක්ත මත්ස්‍යයින් හම්බවෙනවා. ලස්සන වුණාට සමහර ශාක වගේම මත්ස්‍යයින් විෂ සහිතයි. ඒ ගැන නිරන්තරයෙන්ම අවධානයෙන් ඉන්න එක වැදගත්. මේ සේරම දේවල් එක්ක මම පුදුමාකාර ආසාවකින් මේ රස්සාව කරන්නේ.
ජිනාලිට ඉන්නෙ පුංචි දුවෙක්. මේ වැඩ එක්ක කොහොමද අම්මෙක් විදිහට එයාගෙ වැඩකටයුතු කලමනාකරණය කරගන්නෙ?
දුවට තාම අවුරුදු හයයි. අපි ගොඩක් වෙලාවට ගවේෂණයන් කරන පැතිවල නවාතැන් අරන් කටයුතු කරන්නේ. එහෙම වෙනකොට දෝණිව ගෙදර තියලා යන්නෙ. ඒත් එහෙම නොයන හැමවෙලේම එයත් එක්කමයි මම ඉන්නේ. ගොඩක් වෙලාවට එයා ඉගෙනගන්න දේවල්, ගමන්බිමන් යන ඒවා හැමදේම මම එක්ක කරන්න පුරුදු වෙලා ඉන්නේ. හැබැයි මම නැති වෙලාවට ඒ හැමදේම කොහොම හරි මම බැලන්ස් කරගන්නවා. මගේ රැකියාව නිසා එයාගේ පොඩි කාඩා වැටීමක්වත් වෙනවා කියන දේ අහන්න මම බයයි.
ගෙදරින් ලැබෙන සහයෝගය මොන වගේද?
ඇත්තටම පවුල මේ රැකියාවෙදි ගොඩක් වටිනවා. මොකද සමහරවිට මාස තුනක් විතර නිවසින් දුර ඉන්න වෙන අවස්ථා එනවා. ඒ හැමවෙලාවෙම ලොකුම හයිය වෙන්නේ ඒ අය. විශේෂයෙන්ම මගේ අම්මා සහ සැමියා. හැම තප්පරයක්ම මම බය නැතිව ඉන්නේ ඒ දෙන්නා නිසා. මාව විශ්වාස කරන, මට නිදහස දෙන සැමියෙක් ඉන්නවා.
ඒ වගේම ගාල්ල මුහුදු පුරාවිද්‍යා ඒකකයේ මං එක්ක කිමිදුම් කටයුතුවල නිරතවන සියලුම ස්ථානභාර නිලධාරීන්ට මේ කාර්ය පහසුවෙන්, සහයෝගයෙන් කරගෙන යන්න අවස්ථාව ලබා දෙනවට ස්තූති කරන්නම ඕනේ. ඒ අය නිසා තමයි මම කිමිදීමේ හැමදේම ටිකෙන් ටික ඉගෙනගන්නේ.
ලංකාව අවට ගැඹුරු මුහුද විතරද ජිනාලි ගවේෂණය කරන්නේ?
දැනට මම කරලා තියෙන්නේ ලංකාවේ මුහුදු තීරයේ විතරයි. විදේශයන්ට යන්න අවස්ථා හම්බුණොත් සතුටින් ඒ අභියෝග භාරගන්නවා. ඒ වගේ අවස්ථාවක් එනවා නම් ආසයි.
එරංදි කෞශල්‍යා ✍️