අපේ සමාජයේ බොහෝ දෙනෙක් නාගරීකරණයට කැමැති වුණත් ඔවුන් හදවතින් ජීවත් වෙන්නේ ගම සමඟයි. ඌව ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ දැනට සීමාවාසී ගුරු මෙනවියක වන සංජිතා පියුමාලි මේ විදිහට සඳහන් කරනවා.
ඇත්තටම ඔබ එහෙම හිතන්නේ ඇයි?
මම පුංචි ව්‍යාපාරයක් විදිහට කොස් බයිට් අලෙවි කිරීම පටන්ගත්තා. මම නොසිතුව තරම් දැන් ඇනවුම් ලැබෙනවා.
කොස් බයිට් ව්‍යාපාරයක් පටන්ගන්න හිතුණේ?
මම පාසල් අධ්‍යාපනය ආරම්භ කළේ ඉත්තදෙමලිය විද්‍යාලයෙන්. ඒ පාසලේ ශිෂ්‍ය සංඛ්‍යාව 70 ක්. අඩු පහසුකම් සහිත පාසලක්. ගලහිටිය උතුර පාසලෙන් සාමාන්‍ය පෙළ විභාගය විශිෂ්ට සම්මාන අටක් සහ එක් සාමාන්‍ය සාමාර්ථ්‍යයක් සහිතව මම සමත් වුණා.
උසස් පෙළ සඳහා වලස්මුල්ල මධ්‍ය මහ විද්‍යාලයට ඇතුළත් වුණා. උසස් පෙළ වෙනුවෙන් ජීව විද්‍යා විෂය ධාරාව තෝරා ගත්තත් මගේ ආර්ථික දුෂ්කතරතාවන් නිසා බාහිර පංතිවලට සහභාගී වීමට අපහසු වුණා. මම සම්බන්ධ වුණේ මුදල් නැතුව උගන්වන (Free card ) පංතිවලට පමණයි.
විද්‍යා විෂය ධාරවෙන් විශ්වවිද්‍යාලයට තේරුණත් ආර්ථික ප්‍රශ්න නිසා මම විශ්වවිද්‍යාලයට නොයන්න තීරණය කළා. හෙද පාඨමාලාව වෙනුවෙන් අයදුම් කළා. නමුත් ඉංග්‍රිසි විෂයට සාමාන්‍ය සාමාර්ථ්‍යයක් නිසා මාව ප්‍රතික්ෂේප වුණා.

ඔය අතරේ මට විද්‍යා විෂය ධාරාවෙන් ජාතික අධ්‍යාපන විද්‍යා පීඨ වෙනුවෙන් කැඳවීම් ලැබුණා. නමුත් ගුරු පුහුණු පාඨමාලාව නේවාසික වුණත් යම් මුදලක් වියදම් කරන්න වෙන නිසා මම ඒ හැම අවස්ථාවක්ම මඟ හැරියා.
පවුල් සෞඛ්‍ය සේවිකාවන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ වෙනුවෙන් ඉදිරිපත් වුණා. සුදුසුකම් ලද ලැයිස්තුවේ මගේ නම තිබුණා. පවුල් සෞඛ්‍ය සේවිකාවක ලෙසින් මාව බඳවා ගතහොත් පුහුණු කාල සීමාවේදීත් මුදලක් ලැබෙන නිසා මගේ හිත එතැන නැවතුණා. ඔය අතරේ නැවතත් ඌව අධ්‍යාපන විද්‍යා පීඨයෙන් මට කැඳවීමක් ලැබුණා.
මේ වනවිට මඟ හරින ලද අවස්ථාවන් ගැනත් යම් පසුතැවිල්ලක් තිබුණා. නමුත් දැන් අතට ලද අවස්ථාව මඟ හරින්න එපා කියලා අම්මා මට කිව්වා. ටිකක් හිතුවාම ඒකත් ඇත්ත. මොන දුෂ්කරතාවන් තිබුණත් ඌව අධ්‍යාපන විද්‍යා පීඨයට ඇතුළත් වෙන්න මම තීරණය කළා.
ගමේ ගිහින් එනකොට කන්න දෙයක් අර ගෙන එන එක සිරිතක්…
අපි නිවාඩුවට ගෙදර ගිහින් එද්දී හැම කෙනක්ම මොනවා හෝ දෙයක් හදා ගෙන එනවා. සමහරු සල්ලිවලට ගේනවා. මට අමතරව මුදල් වැය කරන්න අපහසුයි. ඒ නිසා නිවාඩු ලැබිලා ගෙදර ගිහින් එන හැමදාම මම කොස් බැදලා බයිට් හදා ගෙන එනවා. අපේ ගම් පැත්තේ කොස් හරිම සුලබයි. ඒ නිසා වියදම අඩුවෙන්ම හදා ගන්නත් පුළුවන්. අනෙක මගේ යාළුවෝ කොස් බයිට්වලට හරිම කැමැතියි.

මුදල් අසීරුතාවයන් තිබුණා…
ගුරු පුහුණු පාඨමාලාව නේවාසික වුණත් සීමාවාසි පුහුණුවේදී අපට නේවාසික පහසුකම් නැහැ. නවතින තැන් සොයාගන්න ඕන. ඒ වෙනුවෙන් නේවාසික ගාස්තු අවශ්‍යයි. එතකොට බස් වියදම්, පාඩමට අදාළ විවිධ උපකරණ හදන්න ඕන. ඒ විතරක් නොවෙයි ගුරුවරයෙක් වුණාම පිළිවෙළට අඳින්න ඕන. සාරිය වුණත් පිරිසිදුවට පිළිවෙළට ඕන. අපි යන්නේ දරුවන් අතරටයි. ඔවුන් අපේ ප්‍රියමනාප බවට ආදරෙයි. ඒ නිසා ඇඳුම්වලටත් මුදලක් වැය වෙනවා.
මගේ තාත්තා සහ අම්මා දෙදෙනාම රෝගී තත්ත්වයෙන් පසුවනවා. සහෝදරයන්ට වුණත් මට උපකාර කරන්න තරම් ආර්ථික ශක්තියක් නැහැ. ඒ නිසා අමතර ආදායමක් උපයන අවශ්‍යතාව මට දැඩි විදිහට තිබුණා. මේ වනවිට කොස් බයිට්වලට ඉල්ලුම වගේම ජනප්‍රියතාව ඇතිවෙලා තිබුණා. ව්‍යාපාරයක් විදිහට බයිට් අලෙවිය කරන්න මට විද්‍යා පීඨ විනය තුළ අවසරයක් තිබෙනවාද කියන ප්රශ්නය තිබුණා.
ප්‍රශ්නයටත් පිළිතුරු ලැබුණා…
ඔව් මම විද්‍යා පීඨයේ පීඨාධිපතිනිය ඇතුළු කළමනාකාරීත්වයෙන් මේ ගැන ඇහුවා. ගුරුවරයකුගේ විනය, ප්‍රතිරූපයට බාධාවක් නැත්නම් සීමාවාසී ගුරු අභ්‍යාසලාභිනියක ලෙස ව්‍යාපාරයක් කිරීමේ වරදක් නැති බව මට කිව්වා. ඒ අවසරය මත මම කොස් බයිට් ව්‍යාපාරය පටන් ගත්තා.
මගේ නමින් “පියුම් කොස් බයිට් “කියලා ෆේස් බුක් පිටුවක් පටන් ගත්තා. මාස තුනක් ගත වුණෙත් නැහැ. ටිකෙන් ටික ඇනවුම් ලැබෙන්න පටන් ගත්තා. මම කොස් බැදලා වියළා ගෙන එයට රටකජු, කරපිංචා, සුදුලූනු වගේම නූඩ්ල්ස් ස්වල්පයක් එකතු කරනවා. බයිට්වල ක්‍රිස්පි ගතිය වෙනුවෙන් එකතු කරන නූඩ්ල්ස් හැර අනෙක් සියලුම අමුද්‍රව්‍ය ගමෙන්ම උපයා ගන්නා දේවල්. අනවශ්‍ය රස කාරක, වර්ණ කාරක කිසිම දෙයක් එකතු කරන්නේ නැහැ.
හොඳම ව්‍යාපාර දහය අතරට එකතු වීම…
මගේ මුහුණු පොත ඔස්සේ කොස් බයිට් ව්‍යාපාරය ගැන තොරතුරු සම්ප්‍රේෂණය වීමත් සමග තවත් ජයග්‍රහණයක් මට ලැබුණා. හන්තාන සඳගිරි සෑය ස්වාමින් වහන්සේ කුඩා පරිමාණ ව්‍යාපාර දහයක් තෝරා ගත්තා. ඒ දහය අතරට මගේ පුංචි ව්‍යාපාරයත් ඇතුළත් වෙලා තියෙනවා.

බයිට් විතරක් නොවෙයි…
ව්‍යාපාරයක් විවිධාංගිකරණය වීමත් වැදගත්. එකම දෙයක. එකම තැනක නවතින්න නරකයි. ඒ නිසා කොස් බයිට් වගේම මම තිබ්බටු, මෝජු, අච්චාරු, මිරිස් මෝරු, මාළු ඇඹුල් තියල්, රටකජු වගේ දේවල් නිෂ්පාදනය කරනවා. ඊට අමතරව ආස්මි, කොකිස්, කොණ්ඩ කැවුම් වැනි රසකැවිලි ඇනවුම් බාර ගන්නවා.
ඔබට වෙලාවක්…
මගේ පාඩම් සටහන් සකස් කිරීම, ගුරු පුහුණු කටයුතු සමඟම මේ නිෂ්පාදන සකස් කිරීමත් සිදුකරනවා. දැන් දුර පළාත්වලිනුත් ඇනවුම් ලැබෙනවා. කුරියර් ඔස්සේ ඒවා නිවසටම ලබා දෙන්නත් කටයුතු කරනවා.
ව්‍යාපාරයේ අලුත් පිටුවක්…
මම මෑතකදී කොස් බයිට් වෙනුවෙන් විදේශීය ඇනවුම් කීපයක් ලැබුණා. ඉතාලිය, ඕස්ට්‍රේලියාව වගේ රටවල්වලින්. ඒත් තවම අපනයනය මට අපනයන සංවර්ධන මණ්ඩලයේ අනුමැතිය ලැබිලා නැහැ. ඒ නිසා මේ ඇනවුම බාරගන්න විදිහක් නැති වෙලා.
ඔබේ අනාගතය…
මම පුංචි කාලෙ ඉඳලම තනියෙන් නැගිටින්න උත්සාහ කළ කෙනෙක්. කට්ට කාලා ඉදිරියට යන හයිය මට තියෙනවා. අනාගතයේදී මම ගුරු වෘත්තියෙන් රැකියාවකට සම්බන්ධ වෙනවා.
ගුරු වෘත්තිය කියන්නේ බොහොම නම්බුකාර රැකියාවක්. ඇත්තටම විද්‍යා පීඨ පාඨමාලාව තුළ ලැබුණ විනය, ශික්ෂණය, සහයෝගය වගේ ගති පැවැතුම් නිසා මගේ පෞරුෂය තවත් දියුණු වුණා. මම මෙතෙක් ආ මඟට වඩා දැන් යා යුතු මග හොඳින් හෙලි පෙහෙලි වෙලා තියෙනවා. මගේ කැපවීම මත ඒ ගමන යන්නට අපහසු වෙන එකක් නැහැ.
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️