පුංචි කාලෙ අපේ ෆැන්ටසි ලෝකෙ හිටියා උරහිස පිටිපස්සෙන් වැටුණු දිග සළුවක් තිබුණ, පියාඹලා ගිහින් මිනිස්සුන්ව අනතුරුවලින් බේරගත්ත චරිත. අපි එයාලට කිව්වෙ සුපිරි වීරයෝ කියලා. හැබැයි ටික ටික ලොකු වෙද්දි අපි තේරුම් ගත්තා ෆැන්ටසි ලෝකෙ ඉන්න ඒ මනඃකල්පිත වීරයන්ට වඩා හැබෑම වීරයෝ ඉන්නේ මේ මහපොළොවෙ කියලා. ඒ අතරිනුත් වීරයො වෙන්න පුළුවන් මිනිස්සුන්ටම විතරක් නෙවේ. පහුගිය දවසක වෙන්න ගිය විශාල විනාශයකින් තමන්ගේ හාම්පුතාගේ මුළු පවුලම බේරගත්ත, ඉබේ නැටවෙන නැට්ටකුයි තෙත හොම්බකුයි තියෙන, සුපිරි වීරයෙක් ගැනයි මේ ලියමන…
අපේ කතාවේ ප්‍රධාන චරිතය ‘කලූ’. සිදුවීම වෙලා තිබුණේ කළුතර, අගලවත්ත ප්‍රදේශයේ. ශාන්ත කුමාර තමන්ගෙ දරු පවුල සහ දෙමාපියන් එක්ක ජීවත්වුණ ගෙදර තිබුණේ තේ වත්තක් එක්ක තියෙන කන්දක් පාමුල. පෙර දවස් කීපය වගේම එදත් හොඳටම අගලවත්තට වැහැපු දවසක්. නමුත් ස්වභාවික ආපදාවක් ගැන කිසිම සැකයක් ශාන්තලට තිබුණේ නෑ.
නමුත් දවස පුරාම ඇදහැලුණු ධාරානිපාත වැස්ස ඔවුන්ට නින්දක් නම් ළඟා කළේ නෑ. තමන්ගේ හාම්පුතයි පවුලේ අනිත් උදවියයි නින්දට ගියාට පස්සෙ ගේ ඉස්සරහට වෙලා නිදාගන්න එක කලූගේ පුරුද්ද. නමුත් මධ්‍යම රාත්‍රිය වෙද්දි කලූ පෙන්නුම් කළේ අසාමාන්‍ය හැසීරීමක්.
වෙලාව පාන්දර 01.15 ට විතර ඇති ගේ ඇතුළේ හිටපු ශාන්තට ඇහුණේ කලූගේ සාමාන්‍ය බිරිල්ලේ සද්දය නෙවේ. ඒ වගේම කලූ බුරමින් හිටියේ ගේ වටේම දුව දුවයි. ඒ නිසාම ශාන්ත එළියට බැහැලා විපරම් කරලා බැලුවේ අනතුරක සේයාවක් දැනුණ නිසයි.
ශාන්ත එළියට බැස්ස හැටියෙම කලූ ගේ පිටිපස්සට දිව්වේ ‘මගේ පස්සෙන් එන්න’ කියලා ශාන්තට කටින් කියාගන්න බැරිවුණත් ඒ බව අඟවමින්. කලූගේ වෙනස තේරිලා ගේ පිටිපස්සට ගිය ශාන්ත දැක්කෙ ගේත් එක්කම තියෙන පස් කණ්ඩිය පසාරු කරගෙන දිය සීරාවක් ගලාගෙන යන හැටි.
වහාම ක්‍රියාත්මක වුණ ශාන්ත ගෙදර අංසබාගයෙන් පසුවෙන තමන්ගෙ තාත්තාවත් අම්මවත් තමන්ගෙ දියණියත් කැටුව එළියට දිව ගියා. මේ සිදුවීම වෙලා ගතවුණේ විනාඩි පහළොවක පමණ කාලයක් විතරයි.
මුළු පස් කන්දම කඩාවැටිලා ශාන්තලාගේ ගෙදර යට වෙන්න ගියේ ඇහිපිය ගහන තරමේ වෙලාවක්. ඒ මොහොතේ නිවැසියන් ගෙදර සිටියනම් ජීවිත හතරක් පස් ගොඩකින් වැහිලා යන්න ඉඩ තිබුණා.
සුරතල් සුනඛයා ‘කලූ’ ඔවුන්ගේ ජීවිත බේරා දුන් අයුරු ශාන්ත කුමාර පැවසුවේ මේ අයුරිනුයි.
“මමයි මගේ බිරිඳයි, අම්මයි, තාත්තයි, මගේ දුවයි පස්දෙනා මේ ගෙදර එකට ජීවත් වෙන්නෙ. මේ සිද්ධිය වුණේ අලුයම 01.15ට විතර මහා වැස්සක් එක්ක. ඒ වෙද්දි ගෙදර හිටියේ මගේ දෙමව්පියන් සහ කුඩා දියණිය සමග මම. බිරිඳ එදා හිටියේ එයාගෙ මහගෙදර මහ වැස්ස නිසාම අපි හැමෝම එදා ඇහැරිලයි හිටියේ. පාන්දර ‘කලූ’ බුරබුරා ගේ වටේට යමින්, ගේ පිටුපසට වෙලා තදින් බුරන්න ගත්තා.
බුරන සද්දෙ වෙනදට වඩා වෙනස් නිසා මම දොර ඇරගෙන කලූ ගාවට ගියා. කලූ මට යමක් කියනවා වගේ තේරුණා. පස්සෙ මම කලූ පිටිපස්සේ ගෙදර පිටිපස්සෙ පස් කණ්ඩිය ළඟට ගියාම තමයි දැක්කේ පස් කණ්ඩිය පසාරු කරගෙන බොර පාට වතුර පාරක් එනවා.
මම ඉක්මනින්ම ගෙදරට ගිහින් අසනීපෙන් ඉන්න තාත්තයි, අම්මයි, දුවයි අරගෙන එළියට පැනලා දිව්වා. කලූත් අපේ පිටිපස්සෙන්ම ආවා. අපිට මීටර් පන්සීයක්වත් එන්න ලැබුණේ නෑ වාහන දෙකක් එකට හැප්පෙනවා වගේ ලොකු සද්දයක් එක්ක කන්ද සම්පූර්ණයෙන්ම නාය ඇවිත් මගේ ගෙදර නොපෙනී ගියා. කලූ අපට මේ විදිහට සංඥාවක් නොදුන්නා නම් මේ වෙද්දි අපි හතර දෙනාම මහ පොළොවේ වැළලෙන්නට තිබුණා.”
තේ වගාකරුවෙක් වන ශාන්තත් ඇගේ බිරිඳ හර්ශනීත් දුක් මහන්සියෙන් හම්බකරගත් මුදලින් තැනූ නිවස අද නැත. ඔවුන්ට ඉතිරිව ඇත්තේ කලූත් ඇඳිවතත් පමණි. නමුත් කලූ නිසා ඔවුනට ඔවුන්ගේ වටිනා ජීවිත රැකී ඇත. ගුණමකු මිනිසකුට කන්න දෙනවට වඩා බල්ලෙක්ට බත් කටක් දුන්නොත් ඌ අඩුමතරමින් නැට්ට හරි වනනවා කියන්නෙත් සත්තුන්ගෙ තියෙන ඒ කෘතගුණ සැලකීම නිසා. ඉතින් කලූ හාම්පුතාලා එයාට කන්න දුන්නු ණය මේ සසරෙදිම ගෙවලා අහවරයි.
එරංදි කෞශල්‍යා ✍️