ශ්‍රවණය ගැන සඳහන් කරන විටම ඔබේ සිතට නැගෙන්නේ කණ සමඟ සම්බන්ධ වුණ අදහසක්. මිනිස් කණ කොටස් තුනකින් යුක්තයි. කන් පෙත්ත, මැද කන සහ ඇතුළු කන ලෙසින් ඒ කොටස් තුන හැඳින්වෙනවා. බාහිර ශ්‍රවණ නාලය ඔස්සේ එන ශබ්ද තරංග මගින් කර්ණ පටකට කම්පනය වෙනවා. මේ කම්පන අනුව මැද කනේ පිහිටි ශ්‍රවණ අස්ථිකා පිළිවෙලින් කම්පනය වීමක් සිදු වෙනවා.
මෙම කම්පන අභ්‍යන්තර කනට ගිය පසු කර්ණශංඛයේ තිබෙන තරලය කම්පනය වීම නිසා ඇතිවන ස්නායු ආවේග ශ්‍රවණ ස්නායු ඔස්සේ මොළයට ගිය පසු අපට ශබ්දය හඳුනාගැනීමට පුළුවන්. ඉහත දැක්වූ ජීව විද්‍යාත්මක ක්‍රියාවලිය අනුව කනක ව්‍යුහය හා කාර්යන් සිදු වෙනවා.කනට සම්බන්ධ විවිධාකාර විද්‍යුත් මෙවලම් දැන් ඔබට ඉතා හොඳින් හුරු පුරුදුයි. ඔබ ගමන් කරන දුර ගණනය කරන smartwatch” Fitbit ව්‍යායාම කිරීමේදී දහනය වන ශක්තිය ගනනය කිරීමේ නවතම විද්‍යුත් සෞඛ්‍ය මෙවලම් දිනපතාම ලෝකයට එකතු වෙනවා. එතැනින් නවතින්නේද නැහැ. තව දුරටත් නවීන මෙවලම් හඳුනා ගැනීම සහ දැනට ඇති මෙවලම් වැඩි දියුණු කිරීම ගැන පර්යේෂකයන්ගේ උනන්දුව යොමු වෙනවා.
කනට මෙවලමක්…
අද තරුණ පරම්පරාව කනට කරාබු, මාල වැනි සම්ප්‍රදායික පළඳනාවන් ගැන කැමැත්තක් දක්වන්නේ නැහැ. නමුත් නවතම පර්යේෂණ මගින් හඳුනාගත් මේ සෞඛ්‍ය උපකරණය විලාසිතාවක් විදිහට වගේම ඔවුන්ගේ ජීවිතයට බෙහෙවින් ප්‍රයෝජනවත් වන බවට නම් සැකයක් නැහැ. වොෂිංටන් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් විසින් දැන් නවතම මාදිලයේ උපාංගයක් නිපදවා තිබෙනවා.
මෙම උපකරණය මාලයක් වගේ කරේ පළඳාගෙන සිටින්න පුළුවනි. එයින් සිරුරට අලංකාරයක් ලැබෙන බව ඇත්ත. නමුත් එතැනින් ඔබ්බට ගොස් පුද්ගලයෙකුගේ ශරීරයේ උෂ්ණත්වය, කුසගින්න, ව්‍යායාම, ඩිම්ම පිටවීම වැනි සිරුර අභ්‍යන්තරයේ සිදු වන ජීව විද්‍යාත්මක සංසිද්ධීන් බොහොමයක් හඳුනා ගැනීමේ අවස්ථාව ලැබෙන බැව් මෙම පර්යේෂකයන් විසින් පෙන්වා දී තිබෙනවා. මෙම උපාංගය Thermal earring යනුවෙන් හඳුන්වා දී තිබෙනවා.
Thermal earring
Thermal earring පිළිබඳව ප්‍රකාශිත තාක්ෂණ පත්‍රිකාවක දක්වා ඇති අන්දමට අපේ සිරුරේ උෂ්ණත්වය මනින විවිධ ස්ථාන තිබනවා. අපි එය ඉතා හොඳාකාරව දන්නා දෙයක්. දන්නා වචනයෙන් කිව්වොත් අපි උණ කටුව නළල, කිහිල්ලට, ගුදයට තබා ශරීර උෂ්ණත්වය මනිනවා. මේ ස්ථානවලත් තබා උෂ්ණත්වය මැනගැනීම සාමාන්‍යයෙන් සිදු වෙන්නක්.
නමුත් සමට සම්බන්ධ උපකරණයකින් උෂ්ණත්වය මැන ගැනීම ඉතාම නිවරැදි බැව් දැන් මෙම පර්යේෂකයන්ගේ මූලික අධ්‍යනයන් මගින් පෙනී ගියා. ඒ නිසාම ශරීර උෂ්ණත්වය මැනීම වෙනුවෙන් ඔවුන් හඳුන්වා දෙන මෙම Thermal earring උපාංගය සමට සම්බන්ධ කර ගැනීම වඩාත් සාර්ථක බැව් අධ්‍යනයන් අවසානයේදී පෙනී ගියා.
අපහසුවක් නැහැ…
වෛද්‍ය විද්‍යාත්මක මෙවලමක් පළඳනාවක් ලෙසින් Thermal earring යොදාගැනීම සඳහන් කරන විට ඔබේ සිතේ එතරම් යහපත් චිත්‍රයක් මැවෙන්නේ නැතුවත් ඇති. නමුත් මේ Thermal earring උපාංගය විශාලත්වයෙන් සාමාන්‍ය කරාබුවක ප්‍රමාණයට සමානයි. බැටරි බලයෙන් ක්‍රියාත්මක වන අතර බැටරියේ ආයු කාලය දින 28 ක්. විද්‍යුත් කාන්දමක් මඟින් උෂ්ණත්වය ගනනය කරන සංවේදකයක් කනට සවි කරනවා .
මේ සංවේදකය පත්තර ඇමිනුම් කටුවක් තරමටම කුඩා ප්‍රමාණයකින් යුක්තයි. ඊට පහලින් තවත් සංවේදකයක් සවි කරනවා. මෙය ඉතාම හුරුබුහුටි අන්දමින් නිපදවා තිබෙනවා. අරුමෝසම් විලාසිතාවක් ලෙසින්ද සැලකිය හැකි දෙවැනි සංවේදකය Resin හෝ වටිනා ඛණිජ වර්ගයක් යොදා ගෙන නිර්මානය කරනවා.
දැන් මෙම මෙවලම Bluetooth chip බැටරියක්, උෂ්ණත්වය මනින සංවේදකයක් සහ Antenna යන අංගෝපාංගවලින් සමන්විත වෙනවා. පුද්ගලයෙකුගේ ශරීරයේ උෂ්ණත්වය වගේම ඇවිදින විට දහනය වන කැලරි ශක්තිය, හෘද වේගය , ඩිම්බ මෝචන දිනය වැනි අපේ සිරුරේ සිදු වෙන යම් යම් ක්‍රියාවලියන් ගැන දත්ත මෙහි සටහන් වෙනවා.
පෝල ජී ඇලන් විශ්ව විද්‍යාලයේ පරිගණක තාක්ෂණ සහ ඉංජිනේරු විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධි අපේක්ෂක Qiuyue (Shirley) Xue සඳහන් කරන්නේ බොහෝ දෙනෙක් මෙය අපහසුවක්, එහෙම නැත්නම් තමන්ගේ ශරීරයේ පෙනුමට බාධාවක් විදිහට හිතන්න පුළුවන්. නමුත් මම ඒ සියල්ලම පසෙක තබා මගේ ශරීර සෞඛ්‍ය වෙනුවෙන් මේ Smartwatches මෙවලම නිතරම පාවිච්චි කිරීමට සූදානම් මම කරාබු පළඳින්න කවදත් කැමැතියි. ඒ මගේ පෞද්ගලික ජීවිතයේ කොටසක්.
තව දුරටත් අදහස් ඉදිරිපත් කරමින් Xue කියා සිටින්නේ අද වෙන විටත් සමාජයේ ඇති Apple Watch , Fitbit වැනි මෙවලම් ඔබට ඉතාම හොඳින් හුරු පුරුදුයි. නමුත් මෙම උපාංග මගින් ඔබට ලැබෙන්නේ දවසේ සාමාන්‍ය උෂ්ණත්වයක් පමණයි. නමුත් ඔබට ඩිම්බයක් පිට වෙන දිනයේ ඇති උෂ්ණත්වයේ වෙනස්වීම, හෘද වේගය වැනි දත්ත ඉහත සඳහන් උපකරණයකින් ලැබෙන්නේ නැහැ. ඒ නිසා කොටින්ම කිව්වොත් අනාගතයේදී Electrocardiogram වාර්තාවක් වෙතින් අපට ලැබෙන දත්ත මගින් අපේ සෞඛ්‍ය තත්ත්වය ආරක්ෂා කර ගැනීමට වඩාත් පිටුවහලක් බැව් අමුතුවෙන් කිව යුතු නැහැ.
https://www.jckonline.com/ ඇසුරෙන්
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️