ආදරය ගැන කතා කරනකොට මුලින්ම කියන්න ඕනේ ආදරේ කරන්න විවාහකද, අවිවාහකද, දුරද ඉන්නේ, ළඟද ඉන්නේ කියන දේ අදාළ වෙන්නේ නෑ. සැබෑ ආදරයක් නම් ඒ දෙන්නා බඳින්නම ඕනේ කියලා දෙයකුත් නෑ. ‘Out of site,Out of mind '. කියලා ඉංග්‍රීසි කියමනක් තියෙනවා. ඒ කියන්නේ කෙනෙක් තමන්ගේ දෘෂ්‍ය පථයෙන් ඉවත් වුණාම ඔහු හෝ ඇය මනසිනුත් ඉවත් වෙනවා කියන එක. නමුත් ඒක ආදරේ කියන මාතෘකාව තුළ කොච්චර අදාළද කියන ගැටලුව තියෙනවා. කොච්චර දුර හිටියත් ආදරෙන් ඉන්න කපල්ස් අපි ඕන තරම් දකිනවා. ඒක තමයි සැබෑ ආදරය.
අපි තේ එකක් ගත්තොත් ඒකේ සීනි තියෙනවා. තේ කොළ තියනවා. වතුර තියනවා. මේ සේරම එකතු වෙලානෙ තේ එක හැදෙන්නේ. ඒ වගේම තමයි ආදරය කියන එකෙත් අවසන් ප්‍රතිඵලය එන්න අනුරාගය, සුහදත්වය, ලංවීම වගේ දේවල් මිශ්‍ර වෙන්න ඕනේ. මේ සුහදත්වය සහ ලංවීම ශාරීරිකව වෙන්නත් පුළුවන් මානසිකව වෙන්නත් පුළුවන්. කොච්චර දුරක හිටියත් ඒ කෙනා තමන්ට සමීපයි කියලා හිතෙන අවස්ථා තියෙනවා. ඒ වගේම කැපවීම, කැපකිරීම කියන දේත් ප්‍රේමයක අත්‍යවශ්‍ය සාධක දෙකක්.
සමහරවිට ආදරේ කරන දෙන්නෙක්ට එකිනෙකාගෙන් ඈත් වෙලා ජීවත් වෙන්න සිද්ධ වෙන්න පුළුවන්. ඒකත් කැපකිරීමක ස්වභාවයක්. එහෙම දුර ඈතකට දෙන්නගෙන් කෙනෙක්ට යන්න වුණොත් සමහර සම්බන්ධතා කාලයක් ගිහින් නවතිනවා. ඒකයි ආදරයකදී තේරුම් ගැනීම අවශ්‍ය වෙන්නේ.
ඔබ අහලා ඇති වර්තමානයේ තරුණ ගායකයකු ගායනා කරන ගීතයක් තියෙනවා ‘නෙලා ගැනුමට නොහැකි වූවද අත්හැරීමක් නොවෙයි ප්‍රේමය‘ කියලා. එයාව තමන්ගෙ ළඟ තියාගන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි එහෙමයි කියලා ප්‍රේමය අත්හරින්නම ඕන නෑ. දුර ඉඳන් හරි එයා දිහා බලාගෙන සුසුම් හෙලා සැනසෙන එකත් ප්‍රේමයේම කොටසක්.
එකම රටේ එහා කොනේ මෙහා කොනේ ඉඳගෙන ආදරේ කරන අය ටිකකට අමතක කරමුකෝ. රටවල් දෙකක ඉඳන් ආදරේ කරන පෙම්වතුන්, පෙම්වතියෝ, සැමියන්, බිරින්දෑවරු කොච්චර ඉන්නවද? එතන ආදරයක් නැද්ද? ආදරේ තියෙනවා. ඒ ආදරයට අනුරාගය මිශ්‍ර වෙලත් තියෙනවා. හැබැයි ඒ අනුරාගය කායික අනුරාගයක් නෙවෙයි. කායික ස්වරූපයෙන් එළියට ආවෙ නැති වුණාට ඒක මානසික අනුරාගයක්. ඒ මානසික අනුරාගය සමහර විට ගීත කොටසකින්, වචනයකින්, එහෙමත් නැත්නම් එක බැල්මකින් එළියට එන්න පුළුවන්.
ළඟ ඉඳගෙනත් ආදරේ නොකරන අය ඉන්නවා. ඔය අතරේ තවත් සමහරු ඉන්නවා දෙන්නා දෙන්නට ආදරෙයි. හැබැයි එයාලට එකට ජීවත් වෙන්න බැරි පොදු සාධක තියෙනවා. නමුත් අනෙකාගේ සතුට දැකල සතුටු වෙන්නත් පුළුවන් නොමැරෙන ප්‍රේමයක් එයාලා ගාව තියෙනවා. ආදරයක් ඇතුලේ අනෙකාගේ සතුට මිසක් දුක දකින්න අකැමතියි.
හැබැයි ආදරේ කියන නිර්වචනය ඇතුළෙ ඔය කිසිම දෙයක් නෑ. ඉතින් කොච්චර දුරකින් හිටියත් නොවෙනස්ව ඉන්න පුළුවන්නම් එතන තමයි සැබෑ ආදරේ තියෙන්නේ. ආදරය කරන කෙනා තමන්ගෙන් ඈතට ගියොත් ඒක අනෙකාව රිද්දනවා.
ඒක ඇත්ත. ඒත් ඒක ආදරේට බාධාවක් වෙන්නෙ නෑ. සමහර අයට ආදරේ වෙනදට වඩා දැනෙන්නේ සහ තව තවත් ආදරේ කරන්න හිතෙන්නේ දුරට ගියාම. ඉතින් දුර කියන්නේ මානසික සංකල්පයක් විතරයි. හැබැයි ආදරය කියන දේ එලෙසම පවතිනවා.
ආදරය ඇතුළේ ආත්මාර්ථය තියෙනවා. හැබැයි පූර්ව ආත්මාර්ථකාමීත්වයක් වුණාම එතන පරාර්ථකාමීත්වයට ඉඩක් නැති වෙනවා. ‘ආදරය කරන්න – ආදරය ලබන්න‘ මේක තමයි ආදරයේ කොටස් දෙක.
හැබැයි ආදරය ලබන එක විතරක් නම් ඔයාගේ අපේක්ෂාව එතන තියෙන්නේ ආත්මාර්ථයක්. එතනදි උඩ පැහැදිලි කළා වගේ ආදරයක් අපිට අනෙකාගෙන් බලාපොරොත්තු වෙන්න බෑ. ආදරය කිරීම සහ ආදරය ලැබීම එකිනෙකට සමානුපාත වෙන්නම ඕනේ.
මනෝ විද්‍යාඥ, ආචාර්ය
අශෝක් ප්‍රියදර්ශන
එරංදි කෞශල්‍යා ✍️