නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: උපතේදී ඇති සත්කාරය විපතේදී නැති රටක්
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
සුව පියස

උපතේදී ඇති සත්කාරය විපතේදී නැති රටක්

Published February 5, 2024

එදිනත් වෙනදා මෙන් සුපුරුදු පරිදි රෝගීන් පරීක්ෂාව ආරම්භ කළා. චැනලින් කාමරයට ඇතුළු වූ කාන්තාව මීට පෙර කොහේදී හෝ දැක පුරුදු කෙනෙක්. ඇය සමග පිරිමි කෙනෙකුත් පැමිණ සිටියා.

ඔහු සතුව මලු දෙකක් පිරෙන්නට රෝගියෙකුගේ වාර්තාවලට සමාන ලියකියවිලි තිබුණා. කාන්තාව මුලින්ම කතාව පටන් ගත්තා. “ඩොක්ටර්ට මාව මතකද ? මීට අවුරුදු හතරකට විතර කළින් මගේ මහත්තයාව බැලුවේ ඩොක්ටර්. එයාට හොඳ කරන්න බැරි තරමට පැතිරුණු පිළිකාවක් තිබුණා.

බලපු ගොඩක් ඩොක්ටර්ස්ලා කිව්වේ ගෙදර එක්කගෙන ගිහින් හොඳට කන්න බොන්න දීලා හොඳින් බලාගන්න කියලා. එහෙම කරන්න කියපු කිසිම දෙයක් කරගන්න බැරි තැන තමයි මම එයාව ඩොක්ටර් ළඟට ගෙනාවේ.

ඩොක්ටර් අපිට හැම දෙයක්ම බොහොම හොඳට පැහැදිලි කරල ඒ වෙලාවේ කරන්න තියන හොඳම දේ අපිට කියල දීලා මගේ මහත්තයාගේ අන්තිම කාලෙ එයාව හොඳින් බලාගන්න මට උදව් කළා. ඒ වගේම උදව්වක් මේ මල්ලිගේ වයිෆ්ටත් දැන් ඕන වෙලා තියෙනවා.”

මෙතෙක් වේලා නිහඬව සිටි පිරිමි කෙනා බොහොම පහත් ස්වරයෙන් කතාව පටන් ගත්තා. ඔහුගේ කතා විලාසයෙනුත් ඉරියව්වලිනුත් ඔහු කොතරම් පීඩාවකින් සිටින්නේ දැයි තේරුම් ගැනීමට මට වැඩි වේලාවක් ගියේ නෑ.

“ ඩොක්ටර් මමයි මගේ වයිෆුයි, දුවයි ජීවත්වෙන්නේ එංගලන්යේ ලන්ඩන්වල බානට් කියන හරියේ. අවුරුදු කිහිපයකට කලින් මගේ වයිෆ්ට පියයුරු පිළිකාවක් තියෙනවා කියලා දැනගත්තා. ඒකට කරන්න ඕන හැම ප්‍රතිකාරයක්ම අපි එංගලන්තයේදී කළා. හැබැයි ඒක අනෙක් පියයුරු පිළිකාවලට වඩා ගොඩක් දරුණු එකක්.

කොච්චර දියුණු ප්‍රතිකාර කළත් ඒක එයාගේ ඇඟ පුරාම පැතිරුණා. අන්තිමට අපි හැමෝම තීරණය කළා එයාට තියෙන පීඩාවන්ගෙන් මුදවන්න කරන ‘පැලියේටිව් කෙයා’ විතරක් කරන්න.

පිළිකාව මර්ධනය කරන්න දෙන ප්‍රතිකාරවලින් කිසිම යහපත් ප්‍රතිඵලයක් එයාට තිබුණෙ නැති නිසයි ඒ තීරණයට ගියේ. බානට්වල ‘පැලියේටිව් කෙයා’ ටීම් එක එයාව හොඳින් බලාගත්තා. පොඩි වේදනාවක්වත් එයාට දැනෙන්න දුන්නේ නෑ.

ඒ ටීම් එකේ ඩොක්ටර්ස්ලා, නර්සර්ස්ලා සහ තවත් අය නිතරම එයා ගැන සොයා බැලුවා. ගෙදරටම ඇවිල්ලා එයාට ප්‍රතිකාර කරලා යනවා. ඒ අය කියපු විදිහට මගේ වයිෆ්ට තව ජීවත් වෙන්න වැඩි කාලයක් තිබුණෙ නෑ. හැබැයි ඒ හැමෝම පුදුම කරමින් එයා අවුරුදු එක හමාරක් විතර ඔය විදිහට ජීවත් වුණා.

මේ ප්‍රශ්න අතරෙම එයාට තවත් බරපතළ ප්‍රශ්නයක් තිබුණා. ඒ එයාගේ ඇඟේ ජොයින්ට්ස්වල. මේ ප්‍රශ්නය ශීත කාලයේදී වැඩි වෙනවා. මේ නිසා මම එයාව එංගලන්තයේ තිබ්බේ ‘සමර්’ එකේදී විතරයි. ‘වින්ටර්’ එකේදියි අනිත් කාලවලයි එයාව මම ලංකාවේ තියාගත්තා.

ලංකාවට එනකොට එයාට ඕන කරන වේදනාශක ඇතුළු සියලුම බෙහෙත් ලංකාවට ගෙනියන්න අපට ලබාදීලා තිබුණා. ඒ අතර වේදනාවට දෙන මෝෆීන් පෙති, කරල්, සිරප් සහ ඉන්ජෙක්ෂන් මදි නොවෙන්න දීලා තිබ්බා. ඒවා ලෙඩාට දෙන විදිහ අපිට කියා දීලයි තිබුණේ. මෑතක් වනතුරු එයාට ලොකු ප්‍රශ්නයක් තිබුණෙ නෑ.

ඒත් මාසෙක විතර ඉඳලා එයා වේගයෙන් දුර්වල වෙන්න පටන් ගත්තා. එයාට ඕන කරන සියලුම පහසුකම් ගෙදර හදලා තියෙන්නේ. එයාගේ කාමරය හරියට ICU එකක් වගේ. එයාව බලාගන්න ‘කෙයාර’ කෙනෙකුත් අරන් තියෙන්නෙ. ඩොක්ටර්ස්ලා ගෙදරටම ඇවිල්ලා බලනවා. හැබැයි මට තියෙන දුක මේගොල්ලෝ කරන දේවල් එංගලන්තයේ ‘පැලියේටිව් කෙයා ටීම්’ එක මේ වගේ වෙලාවකදී අපිට කරන්න කියලා තියෙන දේවල් නෙවෙයි. සේලයින් දානවා.

කන්න බැහැ කියලා නහයෙන් බටයක් දාලා ඒකෙන් බලෙන්ම කෑම දෙනවා. උගුරේ හිරවෙලා තියෙන සෙම ‘සකර්’ එකක් දාලා නිතරම අයින් කරනවා. එයාගේ මූණේ ලොකු බයක් සහ වේදනාවක් මට පේනවා. අපි එයාට මේ වෙලාවේ කරන්නෙ හරි දේ නෙමෙයි කියලා මගේ හිත වද දෙනවා. ලංකාවේ ‘පැලියේටිව් කෙයා සර්විස්’ එක ලබාදෙන්න ක්‍රමයක් නෑ කියලා තමයි හැමෝම කියන්නේ.

ඒ අතරේ තමයි මේ අක්කා මට ඩොක්ටර් ගැන කිව්වෙ. අනේ ඩොක්ටර්, ඩොක්ට පුළුවන්ද එයාට උදව් කරන්න.” නොනවත්වා කතා කළ ඔහුගේ මුහුණේ දැඩි වෙහෙසක් දක්නට ලැබුණා. එංගලන්තයේ තමයි ලෝකයේ තියෙන හොඳම ‘පැලියේටිව් කෙයා සර්විස්’ එක තියෙන්නෙ. එවැනි ඉතා හොඳ සත්කාරයක් ලබමින් ඉඳලා ලංකාවේදී ඒක ලබාගන්න බැරි වුණාම හිතට දැඩි වේදනාවක් සහ පසුතැවිල්ලක් ඇතිවීම වළක්වන්න බෑ. “ ඔයාගේ වයිෆ්ට උදව් කරන්න මට පුළුවන්. ඔයා දැනට කියපු දේවල්වලින් ඈ ඉන්නේ මොන වගේ තත්ත්වෙකද කියලා මට අනුමාන වශයෙන් හිතාගන්න පුළුවන්. පුළුවන් නම් අදම එයාව එක්කගෙන එන්න. ”

පැය කිහිපයක් යන්නටත් මත්තෙන් ගිලන් රථයක් උපකාරයෙන් ඇයව රෝහල කරා රැගෙන ආවා. මා ලබාදුන් උපදෙස් පරිදි නිවසින් පිටත් වනවිටත් රෝහල ආසන්නයට ළඟාවන විටත් ඒ බව ජංගම දුරකථනයෙන් ඔහු මාහට දැනුම් දුන්නා. ඒ ප්‍රමාදයකින් තොරව රෝගියා වෙත යාමට අවස්ථාව සලසා ගැනීමටයි.

ගිලන් රථය පැමිණෙන විටත් එය බලාපොරොත්තුවෙන් හදිසි ප්‍රතිකාර ඒකකයේ දොරටුව අසල සිටි මා වහාම රෝගී කාන්තාව හදිසි ප්‍රතිකාර ඒකකය තුළට ගෙනයාමට උපදෙස් ලබා දුන්නා. ඇය දුටු විගසම ඇය තම ජීවිතය අවසන් හෝරා කිහිපය සමඟ පොර බඳින බවක් මට වැටහුණා. ආහාර දීමට නහයෙන් දමා තිබූ බටයට පිටින් කහපාට දියරයක් පිටතට ගලායනු මා දුටුවා. ඇගේ මුඛය පිරෙන්නට ශ්‍රාවයන් එක්රැස් වී තිබුණා.

මුඛය තුළ සුදු පැහැති ස්ථර ලෙසට ‘කැන්ඩිඩා’ නම් දිලීරය වැඩී තිබුණා. ඇගේ නළල රැලි වැටී තිබුණා. ඇයට කතා කරන්නට බැරි නිසා ඇගේ වේදනාව කියාගන්නට ඇයට හැකියාවක් තිබුණෙ නෑ. ඇය විඳවමින් සිටි පීඩාව ප්‍රමාණාත්මකව කියවීමට නොහැකි වුවද ඇය සිටින්නේ අප්‍රමාණ පීඩාවකින් බව මා හට වැටහුණා.

ස්වාමිපුරුෂයාට කරුණු පහදා දී මුලින්ම කරේ නහයෙන් දමා තිබූ බටය ඉවත් කිරීමයි. මෙයින් කලබලයට පත්වූ ඇගේ සාත්තු සේවිකාව “අයියෝ ඩොක්ටර් දැන් මම මැඩම්ට කෑම දෙන්නෙ කොහොමද” කියා කෑ මොර දෙන්නට වුණා. ජීවිතයේ අවසන් පැය කිහිපය ගතකරන කෙනෙකුට අහාර පානවලින් ලොකු වැදගත්කමක් නැති බව මා ඇයට කාරුණිකව පහදා දුන්නා.

ඇගේ මුහුණ පැත්තකට හරවා කටේ එකතු වී තිබුණ ශ්‍රාවයන් ඉවතට ගලා යාමට ඉඩ සැලසුවා. “අනේ සර් සකර් එක දාලා සෙක්රීෂන් ටික අයින් කරමුකෝ. බලන්නකෝ හුස්ම ගන්නකොට තියෙන ගොර ගොර සද්දේ” එහෙම කිව්වේ හෙද නිලධාරිනියක්. ‘සකර්’ යොදාගෙන මුඛයේ ශ්‍රාවයන් ඉවත් කිරීම මෙවැනි රෝගීන්ට නොකරන දෙයක්.

ඒ වෙනුවට එම ශ්‍රාවයන් වියළීමට සමට යටින් එන්නතක් ලබා දුන්නා. ඇගේ වේදනාව සමනය කිරීමට මෝෆින් එන්නතත්, හිතේ ඇති කලබලකාරී බව සමනය කර සන්සුන් කිරීමට තවත් ඖෂධයකුත් සමට යටින් එන්නත් කරනු ලැබුවා. වාසනාවකට ඇගේ සමේ ඇඳ තුවාල තිබුණේ නෑ. පැය කිහිපයක් යන්නටත් මත්තෙන් ජීවිතයේ අවසන් හෝරා කිහිපය ගෙවන රෝගියෙකුට ලබා දිය යුතු සහන සත්කාරයේ ( Terminal Care) අන්තර්ගත කායික, මානසික, අධ්‍යාත්මික සහ සමාජයීය සහනයන් ළඟාකර දුන්නා.

ඇගේ එකම දියණිය මේ වන විට එංගලන්තයේ වාසය කළ අතර ඇය තව සති දෙකකින් පමණ දින යෙදී තිබෙන තම දෙවැනි දරු ප්‍රසූතියට සූදානම් වෙමින් සිටියා. වෛද්‍ය උපදෙස් මත ඇයට ගුවන් ගමන් යෑමෙන් වැළකී සිටීමට සිදුව තිබූ නිසා අවසන් මොහොතේ තම ආදරණීය මව සමීපයේ සිටීමට අවස්ථාව අහිමිව තිබුණා.

මේ අවස්ථාවේදී අඩුම තරමින් ‘වීඩියෝ කෝල්’ එකකින්වත් තම මව බැලීමට අවස්ථාවක් නොදීමට පියා කටයුතු කළේ මව සිටින දුක්ඛිත ස්වරූපය ඇය දුටුවහොත් ඇගේ සිත ව්‍යාකූල විය හැකි නිසයි.නමුත් දැන් තත්ත්වය බොහෝ සෙයින් වෙනස්. ඉතා කෙටි කාලයක් තුළ ඇගේ ස්වරූපය බොහෝ සෙයින් වෙනස් කිරීමට සහන සත්කාරයට හැකි වුණා. ඇගේ ස්වාමිපුරුෂයාට මගේ සැලැස්ම විස්තර කර දුන්නා.

“ ඔයාගේ වයිෆ් දැන් හිටියට වඩා සන්සුන්. ඒ නිසා අපි දුවට ඇයව බලන්න ඉඩ ලබා දෙමු. එහෙම කරන්න බැරි වුණොත් පස්සේ කාලෙකදී ඇය මේ ගැන සිතමින් බොහෝ සෙයින් මානසිකව විඳවන්නට ඉඩ තිබෙනවා. මට වීඩියෝ කෝල් එකක් අරන් දෙන්න. මම ඇයට අම්මා වෙනුවෙන් කළ යුතු දෙය කියා දෙන්නම්”

මගේ පැහැදිලි කිරීමෙන් සෑහීමකට පත්වූ ඔහු තම දියණිය සමඟ කතා කරන්න

අවස්ථාව සලසා දුන්නා. මා ගැන හඳුන්වාදීමෙන් අනතුරුව කතාබහ ආරම්භ කළා.

“ කොහොමද දෙවනි බබා හම්බවෙන්න තව කොච්චර කාලයක් තියෙනවද? ”

“ සති දෙකක් විතර ඩොක්ටර්”

“ මේ කාලේ ගොඩක් අමාරු බව පේනවා. ඒත් සමහර දේවල් අපිට තරමක් වෙනස් කරලා ලොකු වෙනසක් බලාගන්න පුළුවන්”

“ඒ කිව්වෙ ඩොක්ටර්”

“ මම දන්නවා ඔයා ගොඩක් දුකෙන් ඉන්නේ කියලා මේ වෙලාවේ අම්ම ළඟ ඉන්න බැරි එක ගැන. අපි අම්මට වීඩියෝ කෝල් එකක් අරන් කතා කරමු. අම්මට ඔයාගේ කටහඬ හඳුනාගන්න පුළුවන්. සමහරවිට එයා ඔයා කතා කරනකම් බලාගෙන ඇති”

ඇගේ කම්මුල් දෙකම තෙත් කරමින් ඇස් දෙකින් කඳුළු ගලා යන්නට වුණා. ඇයට හැකි තරම් අඬන්නට ඉඩ දී දුක තුනී කරගැනීම අවස්ථාව සලසා දුන්නා.

“වීඩියෝ කෝල් එකක් අරගෙන කියන්න. අම්මට එයාගේ දුව කතා කරන්නේ කියලා. මේ වෙලාවේ අම්මා දිහා ඔයා බලාගෙන ඉන්නේ කියන්න. එයාව මේ වෙලාවේ තනි කරන්නේ නෑ කියන්න.”

දුන් උපදෙස් පරිදි දියණිය සියලුම දේ සිදු කළා. ඇගේ දියණියත් ආච්චි සමඟ කතා කළා. මේ වෙලාවෙදි ඇගේ මුහුණ ප්‍රාණවත් බවකින් පිරී ගියා. හරියට ඈ මේ මොහොත එනතුරු බලා සිටියා වගේ. දියණියත් මිණිබිරියත් දිගටම දුරකථනයෙන් ඇය සමඟ සම්බන්ධව සිටියා.ඇගේ උගුරේ සිරවී තිබු ශ්‍රාවයන් බොහෝ සෙයින් වියළී ගොස් තිබුණා. ඇගේ මුහුණේ යම් ප්‍රාණවත් ගතියක් දක්නට ලැබුණා.

ඇගේ වේදනාව සමනය කිරීමට අවශ්‍ය ඖෂධයත්, ඇයව සන්සුන්ව තැබීමට දෙන බෙහෙතත්, ශ්‍රාවයන් වියළීමට දෙන ඖෂධයත් නිරතුරුවම ඇයට ලබා දෙමින් තිබුණා. ඇය බෞද්ධ වූ බැවින් සිහින් හඬින් පිරිත් සජ්ඣායනයක් ඇයට ඇසෙන්නට සලස්වා තිබුණා. ඉතා දුක්ඛිත ලෙස ජීවිතය අවසන් කාලය ගත කිරීම සිටි ඇය අඩු තරමින් අවසන් පැය කිහිපය නිසි සහන සත්කාරයට පින් සිදු වන්නට සුවපහසුවෙන් ගත කළා. රෝහලට පැමිණ ඉතා සුළු වෙලාවකින් ජීවිතයේ අවසන් කොටස උඩුයටිකුරු වෙනසකට ලක් කරමින් ඉතා හොඳ අවසානයක් කරා ගමන් කළා.රාත්‍රි හතට පමණ ඇගේ ස්වාමිපුරුෂයාගෙන් මට දුරකථන ඇමතුමක් ලැබුණා.

“ඩොක්ට මේ වෙලාවේ කතා කළාට සමාවෙන්න. වයිෆ් නැති වුණා මේ දැන්. අපි ඔක්කොම අන්තිම තත්පරය දක්වාම එයත් එක්ක හිටියා. එංගලන්තයේ හිටියා නම් ඇයට ලැබෙන්න තිබු සහන සත්කාරය ලංකාවේදී ඇයට ලබා දුන්නාට ගොඩක් ස්තුතියි.”

අපි ඉපදෙනකොට අපට කොතරම් සැලකිල්ලක් තිබෙනවාද? ශ්‍රී ලංකාව තුළ දරු ප්‍රසූතියකට සූදානම් වන මවකටත්, අලුත උපන් බිලිඳාටත් උපරිම සැලකිලි ලැබෙනවා. අවාසනාවකට උපතේදී ඇති ඒ සත්කාරය අපි මේ ලෝකය හැර යන විට ලැබෙන්නේ නෑ. උපතේදී දෙන සත්කාරය විපතේදී ඊටත් වඩා තීව්‍රරව ලබාදිය යුතු වෙනවා. එබැවින් ශ්‍රී ලංකාව තුළ සහන සත්කාරය අනිවාර්යයෙන්ම දියුණු කළ යුතු වෙනවා. එසේ නොමැති වුවහොත් අපගේ ජීවිතයේ අවසානයද ඉතා දුක්බර ලෙස වේදනාවල් රැසක් විඳිමින් සිදුවීම වළක්වන්නට බැරිවෙයි.

හරින්දී ලියනගේ ✍️





 

TAGGED: health, Terminal Care, ඩොක්ටර්, බිලිඳා, සත්කාරය
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love1
Sad0
Happy1
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

මුත්‍රා ආසාදන ඇතිකරන E-coli  ගැන දැනගන්න.

May 5, 2025

කකුල් ඉදිමෙනවා කියන්නේ රෝගලක්ෂණයක් විිය හැකියි

May 5, 2025

ආයෙත් මැලේරියාව අපට එපා

May 5, 2025

තෙල් කාලා ඉවරනම් මේ තමයි Exercise පටන්ගන්න හොඳම කාලේ

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?