ලෝක ප්‍රසිද්ධ ඇමෙරිකානු කතුවරයකු වූ ස්ටීවන් කින්ග් ගේ අපූරු කියමනක් තියෙනවා මෙහෙම. ‘ඔබට කියවීමට කාලය නොමැති නම්, ඔබට ලිවීමට ද කාලයක් නොමැත.’ කතුවරයෙක් බිහිවෙන්නනම් ඔහු හෝ ඇය තුළ පුංචි සන්දියේ පටන් පොතට පතට ඇලුම් කළ, ඒ වෙනුවෙන් කාලය මිඩංගු කළ කුඩා දරුවෙක් සිටිය යුතුමය. පස් වසක් අම්මගෙයි තාත්තගෙයි ආදරේ මැද්දෙ හැදිලා ඒ ආදරේ තමන්ගෙන් ගිලිහිලා පවුලට අලුතින් එකතු වුණ නංගිට යද්දි ‘සුමිත්‍රා රාහුබද්ධ’ කියන මේ අක්කත් තමන්ගෙ පාළුව කාන්සිය නිවාගත්තෙ ගස් කොළන් ගානෙ බඩගලා. පොත් පත් කියවලා.
ඒ නිසා ඇයට පුංචි කාලෙ කියවන්න, පරිසරය රසවිඳින්න ඇතිතරම් වෙලාව තිබුණා. ස්වභාවධර්මය රසවිඳින අතරේ අම්මා කියල දීපු ජනකතාත්, තාත්තා කියල දීපු භූත කතාත් නිසා ඇගේ ලෝකෙ අපූරු සෞන්දර්යයකින් පිරුණා. එහෙම මුළු ජීවිතේම පුරවගත්ත සෞන්දර්යයකින් ඇය ලියූ පළමු ග්‍රන්ථය ‘බුමු තුරුණු’. ඒ 1976 දී. මේ විශිෂ්ඨ කතුවරිය 2010 වසරේ සාහිත්‍ය සම්මාන සියල්ලම දිනාගත් ‘කන්දක් සේමා’ ග්රන්ථයට ඉන් නොනවතින ඇය ඉන් ලියූ චිත්‍රපටයත් එක්ක නැවතත් කරලියට පැමිණ ඇති නිසා අද සෙනෙහසක නවාතැන සෙනෙහසින් පුරවන්නට අපි ඇයට ආරාධනා කළා…
කොහොමද මේ දවස්වල ඔබේ වැඩකටයුතු?
මේ දවස්වල ඇත්තටම වෙන වැඩකටයුත්තක් නෑ ‘කන්දක් සේ මා’ චිත්‍රපටියේ වැඩකටයුතු ඇරෙන්න. චිත්‍රපටියට නම් ඉතාම හොඳ ප්‍රතිචාර ලැබෙනවා.
ඔබේ ළමා කාලය ගැන මතකය අවදි කළොත්…
මම පුංචිම කාලෙ හිටියෙ පිළියන්දල. ඊටපස්සෙ අතුරුගිරියෙ. ඔය කොහේ හිටියත් මගේ ළමා කාලයේ දැරිවිය අතුරුදන් වුණේ නෑ. මට අවුරුදු පහක් වෙද්දි තමයි අම්මට නංගිව ලැබුණෙ. ඊටපස්සෙ අම්මගෙයි තාත්තගෙයි දෙන්නගෙම අවධානය තිබුණෙ නංගි ළඟ. මම මගේ දෙමාපියන්ට චෝදනා කරනවා නෙවෙයි. කුඩා දරුවෙක් පවුලකට එකතු වුණාම ඒක සාමාන්‍ය දෙයක්. ඒත් එක්කම මගේ අවධානය ගස් කොළන්වලට යොමු වුණා. පොල් ගහෙන් පොල් ගහට පැන්නා. වත්ත පහළ තිබුණ උණ පඳුර ළඟ ඉඳගෙන කාලෙ ගෙව්වා. දැන් වුණත් මට මගේ ළමා කාලෙ මතක් කර කර රසවිඳින්න පුළුවන්. ඔය දේවල් නිසාම පුංචි කාලෙ ඉඳන් ලොකු සෞන්දර්යයක් මගේ ඔළුවට ආවා. මම ඉගෙනගත්තෙ මහරගම ජනාධිපති විද්‍යාලයෙන්. මට ඉන්නවා නංගිලා හතරදෙනෙක් සහ මල්ලිලා දෙන්නෙක්.
ලියන්න කලින් පුංචි කාලෙ ඉඳන් කියවන්න ලොකු උනන්දුවක් තිබුණා නේද?
ඔව්. අවුරුදු පහේ ඉඳන්ම කියවන්න අම්මයි තාත්තයි මාව හුරු කරවලා තිබුණා. ඒ කියන්නෙ ලොකු ලොකු කතන්දර නෙවෙයි. පුංචි පුංචි කතා. මගේ අම්මට හොඳට ජන කතා කියන්න පුළුවන්. තාත්තට පුළුවන් භූත කතා කියන්න. එහෙම බලනකොට මගේ කතා ශෛලිය හැදෙන්න අම්මයි තාත්තයි ලොකු පිටිවහලක් ලැබුණා. මම ඔය කතා දෙවර්ගයෙන්ම ආභාෂය ලැබුවා.
ඔබේ වර්තමාන පවුල ගැන කතා කළොත්…
මට ඉන්නෙ දුවෙක් විතරයි. ඇයට අවුරුදු 35 යි. දුව වෛද්‍යවරියක්. මගේ සැමියා අපි අතර නෑ.

ලියන්න හිත යොමු වුණේ කොයි කාලෙද?
උසස්පෙළ කාලෙ ඉඳන්ම මම පත්තරවලට එහෙම ලිව්වා. දවසක් ඉස්කෝලෙ සාහිත්‍ය තරගයකින් මට හැම ඉසව්වකින්ම වගේ සහතික ලැබුණා. එදා ප්‍රධාන ආරාධිත අමුත්තිය විදිහට ඇවිත් හිටියෙ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය. මම කිහිපවතාවක් ඇගේ අතින් සහතික ගන්න ස්ටේජ් එකට නගිද්දි ඇය මට විහිළුවට කිව්වා ඔය ළමයා ස්ටේජ් එකේම නවතින්න කියල. ඉතින් පාසල් කාලෙ ඉඳන්ම ලියන වැඩේ කළා.
කෙටි කතා ලියලා යාළුවො එක්ක හුවමාරු කරගෙන කියෙව්වා. කොළඹ විශ්වවිද්‍යාලයේ පුස්තකාලය මට සුරවිමනක්. මට තියෙන්නෙ ආර්ථික විද්‍යා උපාධියක්. මම උපාධිය ලබාගත්තට වඩා ලොකු ප්‍රයෝජනයක් ගත්තෙ විශ්වවිද්‍යාල පුස්තකාලයෙන්. වැඩිපුරම කියෙව්වෙ සාහිත්‍ය කතා. ඔය සේරම පරිශීලනය කරලා කතුවරියක් විදිහට මම මුලින්ම ප්රකාශනය කරපු පොත තමයි 1976 ලියපු ‘බුමුතුරුණු.’
නමුත් කතෘ ජීවිතයේ වැඩියෙන්ම සතුටක් ගෙනා පොත ‘කන්දක් සේමා’ කිව්වොත් මං හරිද?
මෙහෙමයි. ලැබුණ කීර්තිය සහ පාඨකයින්ගේ වැළඳගැනීම අතින් ගත්තොත් කන්දක් සේමා තමයි ඉදිරියෙන් ඉන්නෙ. කන්දක් සේමා කියන්නෙ දරාගන්න බැරි තරමේ කීර්තියකුත් ඊටත් වඩා අවමාන කන්දකුත් මට ගෙනත් දීපු පොතක්. නමුත් මම ලියපු පොත්වලින් මම කැමතිම ‘දුල දුලාය’ පොතට.

ඇයි පොතක් නිසා ඔයතරම් අවමානයට ලක්වුණේ?
ඉතිහාසයේ පළවෙනි වතාවටනෙ පොතකට පිරිනමන සියලුම සම්මාන ‘කන්දක් සේමා’ කෘතියට ලැබුණෙ. නමුත් කුමක් හෝ හේතුවකට මේ පොතට සියලුම සම්මාන හිමිවීම මගේ වරදක් නෙවෙයි. මොකද විනිසුරු මඬුල්ලේ මම ඉඳගත්තෙ නෑ. එහෙම බලෙන් ලබාගන්න සම්මානෙකින් වැඩකුත් නෑ. මොකද තමන්ගෙ හිත දන්නවනෙ මේක බොරු සම්මානයක් කියලා. ඒත් සමහරු හිතුවා මේ සම්මාන ලැබුණෙ මගේ බලපෑමකින් කියලා. පොත්වලට ඇත්තට සම්මාන නොදුන්නු අවස්ථා ඉතිහාසයේ ඕනතරම් තියෙනවා.
ඒ වෙලාවල්වලදි මම අඬලත් නෑ මට සම්මානයක් දුන්නෙ නෑ කියලා. සම්මාන දෙන නොදෙන එක ඒ අදාළ පුද්ගලයන්ගෙ වැඩක්. මගේ වැඩේ ලියන එක. 2010 ඉඳන් මේ පොත නිසා අවමාන ලැබීම අදටත් අවසන් නෑ. මොකද දැන් ඒකෙන් චිත්‍රපටියත් ඇවිත් නිසා. නමුත් මම ප්‍රාර්ථනා කරනවා අනේ වෙන පොතකටත් මගේ පොතට ලැබුණා වගේ සම්මාන පහම ලැබෙන්න කියලා. මොකද එතකොට කට්ටියට මාව අමතක වෙලා යයිනේ. එතකොට මං විඳින අවමාන ඉවරයක් වෙයි.
පොතක් ලියද්දි ඔබේ මූලික අරමුණ වෙන්නෙ මොකද්ද?
මම ලියන්නෙ සාමාන්‍ය මිනිස්සුන්ට කියවන්න. මුලින්ම මම ලියන පොත පාඨකයාට තේරුම්ගන්න පුළුවන් වෙන්න ඕනෙ. මම කවදාවත් මං ලියපු පොතක් ප්‍රමෝට් කරගන්න කවුරුන් පස්සෙ ගිහින්වත් කරදර කරල නෑ. පාඨකයා වැළඳගන්නවනම් වැළඳගනීවි. නැත්නම් කරන්න දෙයක් නෑ. අද ලියනවට වඩා හොඳ පොතක් හෙට ලියන්නයි මගේ උත්සාහය. ඉතින් ජීවත්ව ඉන්නාතුරු, මගේ සෞඛ්‍ය ලියන්න මට අවසර දෙනතාක් මම ලියනවා.
ජීවිතේ මුහුණ දුන් අභියෝග…
මට හැම දවසක්මඅභියෝගයක්. මේ දිනවල ලොකුම අභියෝගය ‘කන්දක් සේ මා’ චිත්‍රපටිය. කන්දක් සේමා පොතට සාහිත්‍ය සම්මාන පහක් ලැබුණට ඒත් එක්කම අවමාන දාහකුත් ආවා. නිර්මාණකරුවෙක් කියන්නෙ සංවේදී කෙනෙක්. සමහරවෙලාවට අපිට ලැබෙන්නෙ අපි කවදාවත් අපේක්ෂා නොකරපු දේවල්. ඒ සමහර දේවල් දරාගන්න හරි අමාරුයි. නමුත් අපිට ඒ දේවල්වලට මුහුණ දෙන්නම වෙනවා.
පොතේ තිබුණ චරිතවලට චිත්‍රපටයේදී නළු නිළි පිරිස උපරිම සාධාරණයක් කළා කියල ඔබ හිතනවද?
සහතික වශයෙන්ම ඔව්. විශේෂයෙන්ම නූපාගෙන් (නිරෝෂා පෙරේරා). චිත්‍රපටියේ එකම එක සීන් එකක් විතරක් රඟපාපු කෞශල්‍යා ප්‍රනාන්දුගෙන් විශිෂ්ඨ රංගනයක් ලැබුණා. ඒ වගේම අනිත් සියලුම රංගන ශිල්පීන් ශිල්පිණියන් චරිතයේ ප්‍රමාණය කුඩා වුණත් විශාල වුණත් වෘත්තීමය රංගනයක් කළා.
නූපාගේ චරිතයට නිරෝෂාව ගනිද්දිත් ඔබට ලොකු බලපෑමක් ආවා නේද?
ඔව්. ස්ක්‍රිප්ට් එක ලියන වෙලාවෙ ඉඳන් නූපාගේ චරිතයට මගේ ඔළුවෙ හිටියෙ නිරෝෂා විතරයි. අනිත් විශේෂ දේ ඇයට ජපන් භාෂාව පුළුවන්. නිරෝෂා කියන්නෙ සිනමාවේ බැබලුණු තරුවක් නෙවෙයි. ඇය රඟපාල තිබුණෙ සනත් ගුණතිලක එක්ක එකමත් එක රටක කියන චිත්රපටියෙ විතරයි. මම සනත්ගෙන් කතා කරල ඇහුවා නිරෝෂා කොහොමද? වැඩ කරන්න ලේසිද? වැඩේ සීරියස්ලි කරනවද කියල. ඊටපස්සෙ සනත් කිව්වා ‘හරි අමාරුයි චරිතෙකට ගන්න. මොකද එන්නෙ නෑ. හැබැයි එයාට හොඳයි කියල හිතුණොත් එනවා. ඊටපස්සෙ වෙන කිසිම දෙයක් ගැන හිතන්නෑ චරිතෙ ගැන විතරමයි හිතන්නෙ කියල.’ සනත්ගෙ ඒ කීම ඇත්තම ඇත්ත.
නූපාගේ චරිතය ඇය එකපාරින්ම බාරගත්තා. ඇය නූපාට සමවැදුණා. මම වැඩකරපු රංගන ශිල්පිණියන්ගෙන් මීට කලින් එහෙම චරිතයට සමවැදුණු නිළියක් දැක්කනම් ඒ වසන්ති චතුරාණි විතරයි. නිරෝෂාව නූපා විදිහට තෝරගනිද්දි මගෙන් එක එක්කෙනා ඇහුවා නිරෝෂා වගේ දැඟලිල්ලක් තියෙන කෙනෙක්ව තෝරගන්න මට පිස්සුද කියලා. නමුත් නිරෝෂාගේ ඒ දැඟලිල්ල ඇතුළේ අහිංසක නූපාටත් ඉඩක් තියෙන බව මම දැනන් හිටියා. එහෙම කියපු අයම අද කියනවා නූපාගේ චරිතයට නිරෝෂා තරම් වෙන කවුරුත් ගැළපෙන්නෙ නෑ කියලා. මං හිතන්නෙ නිරෝෂාව ගන්න එපා කියපු අයට ඇය හොඳ උත්තරයක් දුන්නා.
කොහොමද දර්ශන තලයේ කටයුතු සිද්ධ වුණේ?
අපේ බොහෝ දර්ශන සිදුකළේ නීගතාවේ. අවසන් දර්ශන දැඩි හිම පතනය මැද රූගත කළේ. ඒ කිසිම තැනක නිරෝෂා සෙරප්පු දෙකක්වත් නැතුවයි හිටියෙ. අවසානයේ ඇයගේ අත පය ගල් ගැහුණා. රූගතකිරීම් නවත්තන්න හදද්දි, ඒ වෙනුවෙන් විකල්ප හොයන්න හදද්දි ඇය කිව්වා නවත්තන්න එපා මේ කොටස අරන් ඉවර කරමු කියලා. නිරෝෂා හොඳටම වෙව්ලන්න ගත්තා. අවසානයේ උස්සගෙන තමයි ඇයව රැගෙන ගියේ. ඇය හොඳ සංයමයක්, සංවරයක් ඇති රංගන ශිල්පිණියක් විදිහට තවත් කෙනෙක්ට මම රෙකමන්ඩ් කරන්නෙ බය නැතුව.
පොතක් චිත්‍රපටයකට ගොඩනැංවීම පහසුද?
නෑ. මම අදටත් හිතන්නෙ ‘කන්දක් සේමා’ පොත චිත්‍රපටියකට ගොඩනගපු එක ජීවිතේ මම කරපු ලොකුම මෝඩකමක් කියලා. මොකද මගේ මාවත ලිවීම මිස චිත්‍රපට කිරීම නෙවෙයි. ඉතින් මේකෙන් වුණේ අවුරුදු නවයක්ම මගේ කාලෙ නිකරුණෙ නාස්ති වුණ එක. ඒ ගැන මට දුකයි. මම අවුරුදු නවයම නොලිව්වා නෙවෙයි. නමුත් පොතක් ලියනකොට සන්සුන් මනසක් තිබිය යුතුයි. මට ඒ සන්සුන් මනස මේ අවුරුදු නවය පුරාම තිබුණෙ නෑ.
අවසාන ප්රශ්නය විදිහට මම ඔබෙන් මෙහෙම අහන්නම්. ඔබේ ජීවිතයත් ඔබ දරාගත්තෙ කන්දක් වගේද?
මම කන්දක් වගේ මගේ ජීවිතේ දරා නොගත්තානම් මෙච්චර දුරක් මට එන්න ලැබෙන්නෙ නෑ. අද එහෙනම් සුමිත්‍රා රාහුබද්ධ කියන කතුවරියත් නෑ.
එරංදි කෞශල්‍යා