කෙනෙකුගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය කුමක් විය හැකිද? එය ඔබට මට එකපාරටම මෙය යැයි මෙසේ යැයි කිව නොහැකිය නමුත්, කුමාරසිරි පතිරණ කියන්නේ ඔහුගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය වුණේ කැසට් 50 ක් මල්ලක දමාගෙන කොළඹ එන සෑම දවසකම මල්වත්ත පාරේ කැසට් අලෙවිසල්වලට පයින් බඩගෑම කියාමය.“ මං හිතන්නේ සියපාරකට වඩා මම මල්වත්ත පාරේ යන්න ඇති. කවුරුවත් එක කැසට් එකක්වත් මුල්කාලේ ගත්තෙ නැහැ. ඒත් මම මගේ ගමන නැවැත්තුවේ නැහැ. මගේ ඒම වදයක් විදිහටම දැකපු එක දෙමළ මහත්මයෙක් කැසට් එකක් ගත්තා. ඒ සිංදු 12 ම එදාම ඇහුවා. අන්තිමට හරි ෂෝක් සිංදුනේ කොහේද ඉන්නේ කියල ඇහුවා. එදාම මගේ ළඟ තිබුණ කැසට් 48 ම විකුණන්න අරගෙන රුපියල් එක්දාස් ගාණක චෙක් එකක් අතට දුන්නා.” ඉතින් ඒ හැරවුම් ලක්ෂ්‍යය කෙබඳු වී දැයි අද ඔහු ඉන්න තැන අනුව අපටම නිගමනය කළ හැකිය.
ඉතින් කොහොමද ජීවිතය?
ඇත්තෙන්ම මේ දවස්වල අපි ආපු කාලේ වගේම ප්‍රසංග ගොඩක් අපට ලැබෙනවා. ඒ වගේම විදේශ සංචාර කිහිපයකටත් සහභාගී වුණා. ඉතින් ඒ වැඩත් එක්ක දෙසැම්බර් මාසෙ ඉඳලා මේ දක්වාම ගොඩක් වැඩ මට තිබුණා. ඒත්, රසිකයන් අලුත් නිර්මාණ ඉල්ලන නිසා මගේ youtube නාලිකාවට අලුත් සිංදු 20 ක් මම පටිගත කළා. හැබැයි තාම වොයිස් කරගන්න පුළුවන් වුණේ සිංදු පහක් හයක් විතරයි. මෑතකදී පුතත් එක්ක එකතු වෙලා කරපු සිංදුවකට මියුසික් වීඩියෝ එකක් ළඟදීම කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.
ගීතයක් ජනප්‍රිය වෙන්න නම් මියුසික් වීඩියෝ එකක් ඕනමයි කියලා ඔබත් හිතනවද?
ඇත්තෙන්ම නෑ. මගේ ජනප්‍රිය වුණු ‘මගේ හදවත’, ‘සිතින් පතා එන්නම්’ වගේ ගීතවලටවත් මියුසික් වීඩියෝ එකක් කරල නෑ. හැබැයි මගේ යාළුවෝ වගේම රසිකයොත් මේ ටිකේම මට කියනවා Young generation එකත් අයියගේ සින්දු අහන නිසා එයාලටත් ගැළපෙන්න අලුත් සින්දුවට මියුසික් වීඩියෝ එකක් කරන්න කියලා. එතකොට එයාල ඔයාගේ පරණ සින්දුත් අහන්න පුරුදුවෙයි කියලා.
ඔබේ දරුවො ගැනත් කිව්වොත්?
මට දරුවො හතර දෙනෙක් ඉන්නවා. මගේ ලොකු පුතා සිනෙත් මාලක පතිරණ. එයාට තමයි ඒකාලේ ‘පුංචි පුතු මගේ’ සින්දුව නිර්මාණය කළේ. දෙවැනියා දුව. එයා සත්මානි පතිරණ. තුන්වෙනි පුතා සත්මිණ සඳරුවන් පතිරණ. බාලයා චමත්ක ගීනෙත් පතිරණ.
ඉතින් මේ හතර දෙනාගෙන් වැඩිපුරම සංගීත ක්ෂේත්රයට නැඹුරු කවුද කියලා මම ඇහුවොත්?
මගේ දරුවො හතර දෙනාටම සංගීතය පිළිබඳ සහජ දක්ෂතාවක් තියෙනවා. තුන්වෙනි පුතයි, බාල පුතයි පොඩි කාලෙ ඉඳලාම පොඩි ළමයින්ගේ මියුසික් වීඩියෝවල සිංදු 25 ක් 30 ක් විතර කියලා තියෙනවා. හැබැයි මේ වෙනකොට සංගීත ක්ෂේත්රයේ නියැළිලා ඉන්නේ මගේ ලොකු පුතයි දුවයි තමයි.
ඇත්තෙන්ම ලොකු පුතා ගීත ගායනයට වඩා සංගීත අධ්යක්ෂණයට තමයි කැමැත්තක් දක්වන්නේ. අවු 15 ක විතර ඉඳන් චිත්‍රපට ක්ෂේත්රයේ බොහෝමයක් ආර්ට් වර්ක් කරන්නෙ එයා. හැබැයි ගීත ගායනය පැත්තෙන් බැලුවොතින් මගේ දුව තමයි ඒ වැඩේට දක්ෂ.
දුවගේ අලුත් සින්දුවකුත් ළඟදී රිලීස් වුණානේ ඒ ගැන තාත්තා කෙනෙක් විදියට වගේම ප්‍රවීණ සංගීතවේදියෙක් විදියට ඔබට මොනවද හිතෙන්නේ?
ඇත්තෙන්ම මේක කාලයක් තිස්සේ එයාට තිබුණු ලොකු ආසාවක්. නමුත් රටේ තිබුණ අර්බුදකාරී තත්ත්වයත් එක්ක ඒක ටිකක් මඟහැරුණා. ඊටපස්සේ මම හිතුවා එයාගේ ආසාව ඉෂ්ට කරන්න මේ තමයි හොඳම කාලේ කියලා. ඉතින් අපේ පවුලේ වැඩක් විදියට අපි මේ දේ කළා. ඒකෙ අවුට්පුට් එක දකිනකොට ඇත්තෙන්ම මට ගොඩක් සතුටු හිතුණා.
ඔබට මෙච්චර දුර ගමනක් එන්න බිරිඳගෙන් ලැබුණු සහයෝගය කොහොමද?
මගෙ බිරිඳ චන්ද්‍රා අමරසිංහ. අපි දෙන්නම පොළොන්නරුවේ. අපිට තියෙන්නේ පාසල් ප්‍රේමයක්. පළුගස්දමන මහා විද්‍යාලයේ උසස් පෙළ පන්තියේදී තමයි ඇය මට මුණගැහෙන්නේ.
එහෙම පටන් ගත්තු ආදරය තමයි අද වෙද්දි තව තවත් වැඩිවෙලා තියෙන්නේ. ඒ වගේම තමයි ඇයගෙන් ලැබෙන සහයෝගය නිසා තමයි මේ වගේ සාර්ථක ගමනක් කුමාරසිරි පතිරණ කියන ගායකයාට එන්න පුළුවන් වුණේ. ඇය තමයි මගේ ගීත ගැයීමේ ආසාව ඉෂ්ට කරන්න ගොඩක් මහන්සි වුණේ.
ඔබ සංගීත ක්ෂේත්රයට පිවිසුණු විදිය ගැනත් කිව්වොත්?
මුලින්ම පාසල් ගමන ඉවර වෙනවත් එක්කම අපි පොඩි පොත් සාප්පුවක් පටන් ගත්තා. ඒකෙන් ලැබුණු ආදායමෙන් තමයි මම මුල් ගීත දොළහම කළේ. හැබැයි මම පොළොන්නරුවේ ඉඳිද්දී කොළඹත් එක්ක සම්බන්ධයක් නැති නිසා ඒ ගීත ජනගත කරන්න ගොඩක් මහන්සි වෙන්න වුණා.
නමුත් උත්සාහය අත්හැරියේ නෑ. මම මුලින්ම පොළොන්නරුවෙ ‘සුපර් ෆ්‍රෙන්ඩ්ස්’ සහ ‘සිල්වර් ටෝන්’ කියන බෑන්ඩ් දෙකේම ඩ්‍රම්ස් වාදකයෙක් විදියට සම්බන්ධ වුණා. ඊට පස්සේ මට හම්බුණු නාරාහේන්පිට ‘ගීත්’ සංගීත කණ්ඩායමෙන් තමයි මං සංගීත ක්ෂේත්රයේ ගොඩක් දේවල් ඉගෙන ගත්තේ.
මේ ක්ෂේත්රයට පිවිසෙද්දි ඒ ගමන ලේසි වුණාද?
ඇත්තෙන්ම නැහැ. ‘පිවිතුරු හද ළඟ’ මගේ මුල්ම කැසට් එක අලෙවි කරන්න මම මල්වත්ත පාරෙ කඩවලට නොගිය දවසක් නැහැ. හැබැයි ජෝතිපාල, මිල්ටන් මල්ලවාරච්චි වගේ ප්‍රවීණ ගායකයන් එක්ක බලද්දි ඒ වෙනකොට මම ගොඩක් ආධුනික කෙනෙක් නිසා ගොඩක් තැන්වලින් මගේ කැසට් එක භාරගත්තෙ නැහැ. හැබැයි එක දවසක් ද්‍රවිඩ ජාතිකයෙක් “ ඔයා හැමදාම එනවනෙ දෙන්නකෝ ඔයාගේ මහලොකු කැසට් එක” කියලා ඒක අරගත්තා. ඒක අහලා ඔහු මගෙන් කැසට් පනහක්ම මිලදී ගත්තා.
ඉතින් ඊටපස්සේ මොකද වුණේ?
මම ජිප්සීස් ආයතනයට මගේ කැසට් එක කරන්න භාරදුන්නා. ඒ හරහා මට රූපවාහිනී දැන්වීමකට පෙනී ඉන්නත් අවස්ථාව ලැබුණා. ඊට පස්සෙ තමයි කුමාරසිරි පතිරණගෙ කැසට් එක අංක එකේ කැසට් එක බවට පත් වුණේ.
දැනට කැසට් කොච්චර ප්‍රමාණයක් කරලා තියෙනවද?
මේ වෙද්දි කැසට් සහ CD 28 ක් කරලා තියෙනවා.
අද වෙනකොට ඔබ ඉන්න තත්ත්වයත් එක්ක ඔබේ ජීවිතේ ගැන මොකද හිතෙන්නෙ?
ඇත්තටම මම හරිම සතුටෙන් ඉන්නේ. මොකද ලංකාවෙ සංගීතයට දෙයක් කළා කියන සතුට මට තියෙනවා. පටන් ගත්ත තැනත් එක්ක බලනකොට අපි අද ඉන්නෙ ඉතාම ලොකු තැනක.
ඉන්පස්සේ අපි කුමාරසිරි පතිරණගේ අඩිපාරේම යන සත්මානි එක්ක කතා කළා. අලුත් සින්දුවත් එක්ක මේ දවස්වල ඇයට ලැබෙන ප්‍රතිචාර ගැනත් අපිට කිව්වා.
කොහොමද අලුත් සින්දුවට ලැබෙන ප්‍රතිචාර ?
ඇත්තෙන්ම මගේ වොයිස් එකට, මියුසික්වලට වගේම මියුසික් වීඩියෝ එකටත් ගොඩාක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා.
ඇත්තෙන්ම තාත්තාගේ නමින් යන එක නෙවෙයි මගේ ගමන –
සත්මානි පතිරණ
සත්මානි, මීට කලින් කරපු සංගීත නිර්මාණ ගැනත් කියමු.
මම මීට කලින් තාත්තගේ ‘හද මාගේ‘ ගීතයට ෆීමේල් වර්ෂන් එකක් කළා. තාත්තා මට ගීත ගොඩක් හදලා දුන්නා. එකක් තමයි ‘කාටවත් ඇයි වේදනා’ ගීතය. ඊට පස්සෙ අයියා මට ‘නුඹෙ ආලකම්’ කියන සිංදුව හදලා දුන්නා. ඒක අයියයි මමයි දෙන්නම කියපු ඩුවට් එකක්.
සත්මානි පොඩි කාලේ ඉඳලම සංගීත ක්ෂේත්රයට එන්න ආසාවක් තිබුණද? නැත්නම් නර්තනයට දක්ෂ නිසා ඒ පැත්තට වැඩිපුර කැමති වුණාද?
පොඩි කාලේ ඉඳන්ම මට තිබුණු ලොකුම හීනය තමයි දක්ෂ ගායිකාවක් වෙන එක. ඒ කාලේ මම හිතාගෙන හිටියේ සින්දුව කියන කෙනාම තමයි මියුසික් වීඩියෝ එකේ නටන්න වගේම රඟපාන්නත් ඕන කියලා. ඉතින් මගේ හීනෙ ගායිකාවක් වෙන එක නිසාමයි මම නටන්නත් ඉගෙන ගත්තේ.
ඔයා කුමාරසිරි පතිරණගෙ දුව වුණ නිසා ඉස්කෝලෙ දී විශේෂ සැලකිල්ලක් එහෙම තිබුණද?
මගේ ඉස්කෝලේ නුගේගොඩ සමුද්‍රදේවි බාලිකා විද්‍යාලය. ඒ වෙනකොට ඇත්තෙන්ම තාත්තගේ වැඩත් එක්ක එයාට ඉස්කෝලෙට එන්න හැකියාවක් තිබුණෙම නැහැ. ඒ නිසා අම්මා තමයි හැමවෙලේම ඉස්කෝලේ වැඩවලට ගෙදරින් ආවේ.
ඒ නිසා ඉස්කෝලේ ගොඩක් අය මම කුමාරසිරි පතිරණගෙ දුව කියන එක දැනන් හිටියෙ නැහැ. හැබැයි මම පාසලේ හොඳම ගායිකාව වීමත් එක්ක කුමාරසිරි පතිරණගෙ දුව කියන එක ඉස්කෝලේ හැමෝම දැනගත්තා. එතන ඉඳලා තාත්තට ලැබුණ ආදරේ මටත් ලැබුණා.
ඉතින් ඔයාගෙ මේ අලුත් ගමන ගැන ඔයාට මොකද හිතෙන්නේ?
ඇත්තෙන්ම තාත්තාගේ නමින් යන එක නෙවෙයි මගේ ගමන. මට ඉදිරියට යන්න ඕන සත්මානි පතිරණ විදිහට. තාත්තා මට ඉගැන්නුවේ එහෙම ගමනක් යන්න. තාත්තගෙ සිංදු කියන්න අපිට අයිතියක් තිබුණත් තාත්තා හැම වෙලාවෙම අපිට කිව්වේ ඔයාලටම කියලා අනන්‍යතාවයක් හදාගන්න කියලා.
හරින්දි ලියනගේ ✍️