මනුරංග විජේසේකර කියන්නෙ සංගීතයට ඇලුම් කරනා බොහෝ දෙනෙක් දන්නා හුරු පුරුදු නමක්. එක් මොහොතක ගී පද රචකයෙක් ලෙසත් තවත් මොහොතක නිවේදකයෙක් ලෙසත් ඔහු රසිකයන්, ප්‍රේක්ෂකයන් හමුවට පැමිණෙනවා. ඔහු කලාවට පිවිසි කතන්දරය හරි සුන්දරයි. කලාවට පිවිසෙන්න විවිධ පාරවල් හොයාගෙන යන ගමනෙදි ඒ හැම පාරක්ම වැහිල යද්දි කලාව අමතක කරලා වෙනත්ම ක්ෂේත්‍රයකින් රැකියාවක් කරන්න සිංගප්පූරුවට ගිය කාලෙක තමයි දෛවයේ හාස්කමකින් වගේ අදටත් කොල්ලො කෙල්ලොන්ට නිතර කියවෙන ‘දෑසින් පෑ ඉඟි මැරු දෙව්ලියේ’ මනුරංග අතින් ලියවෙන්නෙ. නමුත් මනූ සමාජගත වෙන්නෙ ‘රම්බරී’ ගීතයෙන්’ ඒ දෑසින් පෑ ගීතයට කලින් රම්බරී කලඑළි බැස්ස නිසා.ඉතින් නවලිය අපි ගියා මේ සුන්දර කලාකරුවගේ කලාගාරයක් බඳු වාසභවනට ඔහුවත් ඔහුගේ ආදරණීය බිරිඳ දිල්තරාත් මුණගැහෙන්නට…
කලාව හරියටම පටන්ගත්තෙ ලහිරු පෙරේරා එක්ක
පුංචි කාලෙ ඉඳන් මම කලාව පැත්තට බර දරුවෙක්. පාසල් අධ්‍යාපනය හැදෑරුවේ කොළඹ අසෝක සහ ආනන්ද පාසල්වලින්. පාසල් කාලෙ චිත්‍ර අඳින්න, ලියන්න, නිවේදනය කරන්න විශේෂ හැකියාවක් තිබුණා. ජීවිතේ මගේ ඒකායන ප්‍රාර්ථනාව වුණෙත් නිවේදකයෙක් වෙන්න.
මම ගුවන් විදුලි සංස්ථාවේ අභ්‍යාසලාභී නිවේදකයෙක් විදිහට හිටියා පාසල් කාලේ. නමුත් ඒක දිගටම කරන්න ලැබුණෙ නෑ. විවිධ දේවල් උත්සාහ කරල බැලුවා කලාවට එන්න. මියුසික් වීඩියෝ අධ්‍යක්ෂණය කළා. Centigradez ලගෙ පළවෙනි මියුසික් වීඩියෝ එක කළෙත් මම. නමුත් ඒ කිසි දේකින් මම බලාපොරොත්තු වුණ සාධනීය මට්ටමට එන්න බැරි වුණා.
ඒකත් එක්ක මම තීරණය කළා රට යන්න. ඉතින් සංචාරක ව්‍යාපාරය සහ හෝටල් කළමනාකරණය පැත්තෙන් මම සිංගප්පූරුවෙ රැකියාවක් කළා. ඔය කාලේ ලහිරු පෙරේරත් ආවා සිංගප්පූරුවට මියුසික් ඉගෙනගන්න. ලංකාවෙ හිටපු කාලෙ ඉඳන්ම ලහිරුව මම දන්නවා. ඉතින් එහේ හිටපු කාලෙ ලහිරුගේ ව්‍යාපෘතිවලට ලියපු සින්දු තමයි රම්බරි, ලබැඳියේ, දෑසින් පෑ, සුදු ගවුමෙ ඇයි මඩ ගෑවුණේ කියන සින්දු. පස්සෙ ලහිරු අධ්‍යාපනය ඉවර කරල ලංකාවට ආවා.
මමත් පසුකාලීනව නිවාඩුවකට ලංකාවට ආපු කාලෙදි රම්බරී රිලීස් කළා. නොහිතපු විදිහට ඒක විචාර විවේචන මැද්දෙ සමාජගත වුණා. ගොඩක් විවේචන මැද්දෙ තමයි රම්බරි හිට් වුණේ. විවේචන එක්ක මට පොඩි උත්තේජනයක් ඇති වුණා. මං හිතුවා කලාවට පිවිසෙන්න විවේචන ලැබීමත් සතුටුදායක දෙයක් කියල. ඕක තමයි කලාවට හරියටම පිවිසීමේ කතාව.
ගයාන් සහ ලහිරු ආයෙ මට රට යන්න දුන්නෙ නෑ ආයෙ රට යන්න සතියක් විතර තියෙද්දි ගයාන් පෙරේරා සහ ලහිරු පෙරේරා දෙන්නම කිව්වා රට යන්න එපා ලංකාවෙ නැවතිලා කලාව පැත්තෙන් දෙයක් කරමු කියල.
ඒකත් එක්ක මට මාර වරප්‍රසාදයක් ලැබුණා ගයාන් පෙරේරාගේ හිතවත්කම උඩ සුනිල් පෙරේරා ජ්‍යෙෂ්ඨ කලාකරුවගේ ගෙදර අවුරුදු තුනක් නැවතිලා වැඩ කරන්න. ඒ කාලෙ ඇතුළත කලාවට එන්නෙ කොහොමද, රැfඳන්නෙ කොහොමද කියල මම ඉගෙනගත්තා. එවැනි ජ්‍යෙෂ්ඨයෙක් ගාව රැඳිලත් කලාව ඇතුළේ ගමනක් යන්න බැරි වුණා නම් මම ෆේල්.
මාව දෙවිදිහටම දකින්න මිනිස්සු කැමති ඇති…
මම හිතන්නෙ නිවේදකයෙක් විදිහටත් ගී පද රචකයෙක් විදිහටත් බැලන්ස් එකේ වැඩ කරගෙන යන නිසා මිනිස්සු මාව මේ චරිත දෙකෙන්ම දකින්න කැමති ඇති. නිවේදකයෙක් විදිහට මාව අඳුරගෙන කතාබහ කරන පිරිසකුත් ඉන්නවා. ගී පද රචකයෙක් විදිහටත් මාව අඳුරන අය ඉන්නවා.
විහිළුවටවත් මට ගායකයෙක් වෙන්න බෑ…
භාතිය සන්තුෂ්ලා ලංකාවේ පුනරුදයක් ඇති කරපු කාලෙ මටත් ආසාවක් තිබුණා සින්දුවක් කියල බලන්න. ඒ කාලෙ තමයි මං හිතන්නෙ ලංකාවේ මියුසික් එක්ස්පෙරිමන්ට්ස් වැඩියෙන්ම සිද්ධවුණ කාලෙ. ඉතින් මමත් උත්සාහ කරල බැලුවා. පස්සෙ මම තේරුම්ගත්තා විහිළුවටවත් මට ගායකයෙක් වෙන්න බෑ කියල.
සන්නාම නිර්මාණය කිරීමේ හැකියාවක් මට තියෙනවා
සින්දුවක් කරනකොට ඒක සම්පූර්ණ ව්‍යාපෘතියක් බවට පත්කරගෙන ඒක ඇතුළෙ තියෙන මානව පරිපාලනය, මුදල් පරිපාලනය, ප්‍රචාරය, අලෙවිය වගේ ගොඩක් කොටස් කලමනාකරණය කරන්න මට පුළුවන්. ගායකයෙක් එක්ක ළඟින් වැඩ කරලා ඔහුට අදහස්, යම් තැන්වල අඩු වැඩිවීම් මම පෙන්නලා දෙනවා. මං හිතන්නෙ බොහෝ දෙනෙක් මං ගාවට එන්නෙ ඒ මුළු කොටසෙම එකතුවෙන් සන්නාමයක් ගොඩනැගීමේ හැකියාවක් මට තියෙන නිසා වෙන්න ඇති.
ඇන්ටික් පිස්සුව දැන් දරුණුයි
මමයි බිරිඳයි දෙන්නම විනෝදාංශයක් විදිහට ඇන්ටික් බඩු එකතු කරනවා. ඒ වැඩේ හෙමීට පටන් අරන් දැන් දරුණු වෙලා තියෙන්නේ. සමහර දවස්වල ෂෝ එකෙන් හම්බෙන සේරම සල්ලිවලින් මගදි ඇන්ටික් බඩු ගන්නවා.
දිල්තරාව යාළු කරගත්තෙ බෑන්ඩ් එකක ලෝගෝ එකක් හදන්න දීලා
දිල්තරාට චිත්‍ර අඳින්න පුළුවන්. අපි දෙන්නා හොඳම යාළුවෝ. ඒත් මට ඕනෙ වුණා අපි දෙන්නගෙ යාළුකම ආදරේකට පෙරළගන්න. මම බොරුවට මගේ බෑන්ඩ් එකකට ලෝගෝ එකක් ඇඳගන්න ඇය ගාවට ගියා. බෑන්ඩ් නෙවේ ඒවා දැන් රබර් බෑන්ඩ් වෙලා තියෙන්නේ. ඒවා මගෙ බොරු කතා. මොකද ලෝගෝ එකක් හදන්න කලින් බෑන්ඩ් එකට මෙම්බර්ස්ලා එකතු කරන් ඉන්න එපැයි.
මෙම්බර්ස්ලා හොයන්න කලින් ලෝගෝ එක හදාගත්තෙ දිල්තරාව හම්බෙන්න තිබ්බ වුවමනාවට. නමුත් මට බෑන්ඩ් එකක් හදන්න උවමනාවක් තිබුණා අයිරාවණ නමින්. නමුත් තදියමක් තිබ්බෙ නෑ මුලින්ම ලෝගෝ එක හැදුවට. ඒ බෑන්ඩ් එකේ ආසාව තවමත් හිතෙන් ගිලිහිලත් නෑ. දිල්තරා අයිරාවණ වෙනුවෙන් හදපු ලෝගෝ එක මම ආසම කරන චිත්‍රයක්. බෑන්ඩ් එක හැදුවෙ නැතත් මම කවදහරි ඒක ටැටූ එකක් හරි කරගන්නවා.
කෛකශී මට වඩා අම්මා එක්ක එකතුයි
මම සාමාන්‍යයෙන් දෙයක් ගැන වැඩිපුර හිතන මනුස්සයෙක්. සමහර විට ඒක දුවටත් කරදරයක් ඇති. නමුත් තාත්තෙක් දුවගෙ පළමු අයිතිකාරයා බවට පත්වීමේදි සිදුවන දේ මට දැන් තේරෙනවා. ඒක වැඩිපුර හිතන එකම කියන්නත් බෑ. ඒක තමයි දුවෙක්ගෙයි තාත්තෙක්ගෙයි අතරෙ ඇතිවන බැඳීම. නමුත් මේ මොහොතේ මං හිතනවා කෛයිකශී මට වඩා දිල්තරා එක්ක එකතුයි කියල. නමුත් ඒ දෙන්නම දෙන්නා අතරේ අවුලක් දාගත්ත ගමන් පටගාලා එන්නෙ මං ගාවට.
මේ සොඳුරු කැදැල්ලේ මහ වෘක්ෂය ‘මනූ’ එක්ක කතාබහ කරනකොට ඒ හෙවණේ ආදරණීයව කැදැල්ල ලස්සන කරන්න වෙහෙස මහන්සි වෙන දිල්තරාව මේ කතාවට එකතුකර නොගත්තොත් ඒක ලොකු අඩුවක්
අපේ ජීවිතේට කෛයිකශීත් දැන් හැඩගැහිල
බබාට දැන් අවුරුදු තුනයි මාස අටයි. මනූ නිසා මමයි බබයි ගතකරන්නෙත් කාර්යබහුල ජීවිතයක්. දුවත් දැන් ඒ ජීවිතේට හුරු වෙලා. මනූ එක්ක අපිත් ෂෝස්වලට යනවා. මොකද අපි තුන්දෙනාට එකට ඉන්න තියෙන කාලය අඩු නිසා මම තීරණේ කළා එයා එක්ක හැමතැනකම යන්න. ඒවා ඉවර වෙන්නෙ පාන්දර එකටද දෙකටද දුව තියෙන දෙයක් කාලා පාඩුවේ කරදර නොකර ඉන්නවා.
මනූගේ ඩ්‍රයිවර් මම
මනූ කරන්නෙ මහන්සි වෙන ජොබ් එකක්. ස්ටේජ්වල පැය ගණන් හිටගෙන ඉඳලා ආපහු වාහනේ ඩ්‍රයිව් කරන්න එයාට අමාරුයි. ඒ නිසා මම තමයි ආපහු එනකොට ඩ්‍රයිව් කරන්නෙ. අනිත් එක මනූ කැමති කාර් එකේ පිටිපස්සට වෙලා පාඩුවෙ යන්න. මට සෙට් වෙන එකම තැන ඩ්‍රයිවින් සීට් එක. නැත්නම් මට වමනි යනවා. එතනම තියෙනවා අපි දෙන්නා මැච් වෙන ලොකු පොයින්ට් එකක්.
හොඳම යාළුවා අන්තිමේ සැමියා වුණා
හොඳම යාළුවෝ දෙන්නෙක් තමයි අන්තිමේ සැමියයි බිරිඳයි වුණේ. ඉතින් දැනටත් අපි දෙන්නා අතරේ ඒ හොඳම යාළුකම නැති වෙලා නෑ. ඉස්සරත් මම එයාගෙ සමහර නිර්මාණ විවේචනය කළා. අගය කළා. අදටත් එහෙමයි. මනූ කියන්නෙ හරිම සපෝටිව් සැමියෙක්. තාත්තෙක් විදිහටත් එහෙමයි. අපි නැතුව එයා කොහෙ හරි ගියත් නිතරම මැසේජ් කර කර බලනවා අපි පරිස්සමෙන්ද, මොනවද කරන්නෙ කියල.
මනූගේ ‘අයිරාවණ’ නම ඊළඟ ළමයටවත් දානවා…
මනූ බෑන්ඩ් එකකට ලෝගෝ එකක් හදාගන්න කියල බොරුවට මාව හොයන් ආවට අද වෙනකල් අයිරාවණ බෑන්ඩ් එක හැදුණෙ නෑනෙ. ඉතින් මම කියල තියෙන්නේ ඊළඟ ළමයටවත් ඒ නම දාමු කියල.
මගේ පිළිකා තත්ත්වය හඳුනගත්තේ අම්මා නිසා
මගේ පිළිකාව තබුණෙ තයිරොයිඩ් පද්ධතිය ඇතුළේ. දවසක් අම්මා මට කිව්වා මම කෙළ ගිලිනකොට උගුරු දණ්ඩ උගුරෙ පැත්තකික් ගෙඩියක් උඩට පහළට යනවා කියල. මම ඒක ගණන්ගත්තෙ නෑ. මමයි මනූයි කණ්ණාඩියෙන් කොච්චර බැලුවත් අපි ඒක දැක්කෙ නෑ. ඒත් අම්මගෙ වදේ නිසාම ගිහින් බයොප්සි එකක් කළාම කැන්සර් එකක් කියල දැනගත්තා. ඔපරේට් කරද්දි දැනගත්තා ඒක ව්‍යාප්ත වෙලා කියල. නමුත් අම්මගෙ වදේ නිසාම ගිහින් චෙක් නොකළනම් තත්ත්වය දරුණු වෙන්න තිබුණා. දැන් වෛද්‍ය උපදෙස් මත අවදානෙන් වෙලාවට බෙහෙත් බීලා පරිස්සමෙන් ඉන්නවා.
ෆැෂන් ඩියසිනින් හැදෑරුවත් දැන් මම ගෙදර
මම ෆැෂන් ඩිසයිනින් ගැන ඉගෙනගත්තා. නමුත් මම ඒ දේ රැකියාවක් විදිහට කළේ නෑ හරිම ස්ටේරස්ෆුල් නිසා. ඒ වගේම විවාහයෙන් පස්සෙ මට ඕනෙ වුණා පවුලට වැඩි අවදානයක් දෙන්න. මම ෆැෂන් ඩිසයිනින් ජොබ් එකට වඩා කැමතියි මනුරංගගෙ ඩ්‍රයිවර් වෙන්න.
දුවගෙ නම දැම්මෙ මෙහෙමයි
කෛකශී කියන්නෙ රාවණගෙ අම්මා හෝ සුළු මව. මනූ හිතාගෙන හිටියා අපිට ලැබෙන්නෙ දුවෙක්ද පුතෙක්ද කියල දැනගන්න කලින් දුවෙක් හම්බුණොත් කෛකශී කියල දානවා කියල. දුආනා කියන්නෙ අයිරිෂ් නමක්. ඒක මම ඉන්ටර්නෙට් එකෙන් හොයාගත්තෙ. ඒකෙ තේරුම අඳුරෙන් එළියට.
එරංදි කෞශල්‍යා