හර්ෂ බුලත්සිංහල නම ඇසූ පමණින් කවුරුත් දන්නවා ඔහු අපේ රටේ ප්‍රවීණ කලා යුවළක් වන ලූෂන් බුලත්සිංහල සහ අනුලා බුලත්සිංහලයන්ගේ එකම පුත්‍රයා බව. නමුත් අම්මයි තාත්තයි ගිය පාරේ නොයා ඔහු ගියේ ඔහුගේම ගමනක්. ඒ ගිය ගමනෙදි විවිධ පුද්ගලයන්ගේ ඇනුම් පද ඇසුණු වාරත් අනන්ත අප්‍රමාණ බව හර්ෂ අපිට කිව්වා. මේ වෙද්දි ඔහු පදිංචි වෙලා ඉන්නෙ නවසීලන්තයේ. ඉතින් අපි හිතුවා මේ පාර හර්ෂගේ ආගිය තොරතුරු ටිකක් නවලියෙන් ඔබට අරගෙන එන්න.
● මේ දවස්වල කොහොමද ජීවිතේ?
මේ දවස්වල විවේකය නම් අඩුයි. මගේ ජීවිතේ බොහෝ දේවල් වෙනස් වුණා. සමහර දේවල් හිතාමතා වෙනස් කරන්න සිද්ධ වුණා. ඉතින් ඒ වෙනස්කම් එක්ක සහ ඉස්සරහට කරන්න බලාපොරොත්තු වෙන දේවල් එක්ක ගොඩක් කාර්යබහුලයි.
● හදිස්සියේම ලංකාවෙන් ගියේ ඇයි?
තමන්ට තමන්ගෙ හැකියාව මත දෙයක් කරන්න බැරි තැනක ඉඳලා තේරුමක් නෑ. මනුෂ්‍යත්වයට ගෞරවයක් නැති තැනක සහ තියෙන තැනක මට කරන්න පුළුවන් දේවල් තියෙනවා. මනුෂ්‍යයා තුළ ඉපදෙන හැඟීම් එක්ක සමාජානුකරණය වෙන්නෙ නැත්නම් එතන ඒ වැඩේ කරල තේරුමක් නෑ. මම අවසානයේ ඒක තේරුම් ගත්තා. ඒ නිසා නොගැළපෙන සමාජයක් තුළ,නොගැළපෙන පුද්ගලයන් අතර, නොගැළපෙන වෙලාවක මම ඉඳල වැඩක් නැති නිසා ඒ දේවල් කරන්න පුළුවන් තැනකට මම ආවා. මම විතරක් නෙවේ මගේ අම්මයි තාත්තයි ලංකාවෙ කරන්න හදපු දේවල් මතක් වෙද්දිත් මට හිතෙන්නෙ එයාලත් ඉපදුණේ වැරදි තැනක කියලා.
● බිරිඳ සහ දරුවන් ගැන සඳහනක් කළොත්…
මගේ බිරිඳ පෙරපාසල් ගුරුවරියක්. මට ඉන්නෙ දුවල දෙන්නෙක්. මාත් එක්ක නිව්සීලන්ඩ් ඉන්නෙ මගේ පොඩි දුව බනුජි. ඉස්සර අපේ අම්මලා අපේ පස්සෙන් පැන්නුවා වගේ මම මගේ දරුවන්ගෙ පස්සෙන් පන්නන්නෙ නෑ. එයලට එයාලගෙ ලෝකය හදාගන්න මම ඉඩ දීල තියෙන්නෙ.
● රටේ ප්‍රසිද්ධ, හැමෝගෙම ආදරය දිනාගත්තු දෙමාපිය දෙපලකගෙ පුතෙක් වුණ හැඟීම කොහොමද දැන්නෙන්නෙ?
රටම දන්න කියන දෙපළකගේ එකම පුතා වීම තුළ හොඳ සහ නරක දෙකම මට ලැබිලා තියෙනව. මගේ අම්මා, තාත්තා දිහා සමාජය බලන කෝණයෙන් මගේ දිහා බලන්න පටන්ගැනීම තුළ මට වුණ අසාධාරණකම් තියෙනව. මගේ දිහා ගොඩක් මිනිස්සු බැලුවෙ ”ආපෝ ලූෂන් බුලත්සිංහලගේ පුතා වෙලත් මූ මේවද කරන්නෙ?” වගේ කෝණෙකින්. එහෙම නැතුව අම්මලා තාත්තලට වඩා වෙනස් ගමනක් යන කෙනෙක් නේද කියන්න ඇරිච්ච කටවල් නෑ.
● කිව්වත් වගේ ඇයි ඔබ දෙමාපියන්ට වඩා වෙනස් ගමනක් ගියේ?
මගේ ගමන අම්මගෙයි තාත්තගෙයි ගමනට වඩා වෙනස් වුණේ මම පුංචි කාලෙදිම සංගීතයට යොමුවීමත් එක්ක. අම්මා සරල ගී ගායිකාවක් වුණාට මියුසික් කම්පෝස් කරල නෑනේ. ඉතින් මං ඒ සේරම දේවල් කරන්න ගත්තා. අනිත් එක තාත්තා නාට්ටි ලිව්වා කියල මටත් උවමනා වුණේ නෑ නාට්ට් ලියන්න. නමුත් මම ඒ දෙන්නගෙන් ගොඩක් දේවල් ඉගෙනගත්තා. ක්ෂේත්රය තුළ කාටවත් කොන්ද නවන්නෙ නැතුව, කාටවත් පාච්චල් නොවී වැඩ කරන්නෙ කොහොමද කියන දේ. නමුත් ඒ දේම තමයි මට පරහට හිටියෙත්. එක්තරා තැනකදි බොහොම ශක්තිමත් දෙයක් වුණෙත් නැතුව අම්මා, තාත්තා හදාරපු ශාස්ත්‍රය තුළ මම ජීවත් වුණේ නෑ. වෙනස් ආකල්ප ගොන්නක් එක්ක තමයි මම වැඩ
● හර්ෂ නළුවෙක් නොවුණානම් මේ වෙද්දි කවුද?
නළුවෙක් නොවුණනම් මම මොකක් කරයිද කියලා කියන්න බෑ. ඒ මම සංගීතයත් කරන නිසා. මම සංගීතය දකින්නෙ සියලු කලාවන්ගේ අග්‍ර ඵලය විදිහට.
● හර්ෂ පුංචි කාලෙ මොන වගේ චරිතයක්ද?
පුංචි කාලෙ මං ටිකක් දඟ චරිතයක්. දඟ වුණාට නසරාණි වැඩනම් කරල නෑ. ගොඩක් අය කියනවා මම පොඩි කාලෙ හරි ආඩම්බරයි කියල. මං දන්නෑ ඒකට හේතුව. ඒත් පුංචි කාලෙ ඉඳන් මට නොගැළපෙන මිනිස්සුන්ව මං අඳුරගත්තා. හැබැයි කවදාවත් මගේ අම්මා තාත්තා රටම දන්න දෙන්නෙක් කියන දේ ඔළුවෙ තියාගෙන ජීවත් වුණේ නෑ.
● අම්මා තාත්තා එක්ක ගෙවුණ කාලෙ සුන්දර මතකයන් එහෙම ඇතිනෙ…
සුන්දර ඒවා එක්ක වැඩිපුර තියෙන්නේ බැනුම් අහපුවා තමයි. පොඩි කාලෙ මට ඉංග්‍රීසි පේන්න බෑ. මං අම්මගෙනුයි තාත්තගෙනුයි වැඩියෙන්ම බැනුම් අහල තියෙන්නේ ඉංග්‍රීසි හරියට ඉගෙනගන්තෙ නැති නිසා. පාසල් වයසට කලින් ගත්තොත් අම්මයි තාත්තයි වැඩිපුර මාත් එක්ක හිටියෙ නෑ. මොකද එයාලා ගොඩක් කාර්යබහුලයිනෙ. නමුත් කොච්චර කාර්යබහුල වුණත් මට ඒ දෙන්නා කිසිම අඩුපාඩුවක් කරල නෑ. හැබැයි මං ඒ දෙන්නටම හරි බයයි.
● අම්මට පුංචි කාලෙ බයෙන් හිටියත් ඇයගේ අහිමි වීම තරුණ පුතෙක් විදිහට කොහොමද දරාගත්තෙ?
දැන් අම්මා නැති වෙලා අවුරුදු දෙකකට කිට්ටුයි. මට හිතෙනවා අම්මා දැන් හිටියනම් මම ඉන්න තත්ත්වෙ දැකලා මොන වගේ ප්‍රතිචාරයක් දක්වයිද කියල. ඇත්තටම අම්මා එක්ක ටිකක් අමාරුයි. මොකද ඇය බොහෝ දේවල් ගැන ගොඩක් වොරි වෙනව. නමුත් තාත්තා එහෙම නෑ. දෙන්නගෙ තියෙන්නේ කොලිටීස් දෙකක්.
● චරිතයක් වෙනුවෙන් කළ කැපකිරීමක් මතක් කළොත්…
ඔය ප්‍රශ්නෙ ඇහුවම මට මුලින්ම මතකෙට ආවෙ සුදෝසුදු ටෙලිනාට්‍යයේ අදිරිගේ චරිතය. මට මතක විදිහට මාස තුනක් විතර ඒකෙ රූපගතකිරීම් තිබුණා. ඒ චරිතය වෙනුවෙන් මම යම්කිසි කැපකිරීමක් කළා. අපි දැකල තියෙනවා ලෝකෙ බොහෝ නළු නිළියෝ චරිත වෙනුවෙන් ලොකු ලොකු කැපකිරීම් කරනව. මං හිතන්නෑ ඒ වගේ කැපකිරීම් ලංකාවෙ අයට කරන්න පුළුවන් කියල.
එරංදි කෞශල්‍යා