දියවෙන්නට පෙර හෙට උදයේ හිම ජීවිතේබැලලයිකාව ද වයමින් තුටින් යමු මාවතේ…ඉවාන් පවුලූෂා… ඇයි හොරැහින් මදෙස බලන්නේ…නැටුමට ඇවිදින් නැතිදෝ මබඳ වෙලන්නේ..
රුසියානු ශ්‍රේෂ්ඨ කතුවරයකු වූ මැක්සිම් ගෝර්කි ඔහුගේ යෞවන වියේදී ලියනවා ‘මකාර් චුද්ර’ නමින් කෙටිකතා පොතක්. ලොව පුරා උන්මාදයක් ඇති කළ මේ කෙටිකතා පොතේ එක් කතාවක ප්‍රධාන චරිත දෙක වෙන්නෙ ලොයිකෝ සහ රද්දා.දුටුවනින්ම ලොයිකෝට රද්දා ගැන ප්‍රේමණීය හැඟීමක් ඇතිවුණත් රද්දාගේ අධික ආඩම්බරකම ඊට හරස් වෙන්නේ දෛවය රද්දාට කරපු සරදමකට වගේ. අවසානයේ කතාව නිමා වෙන්නෙ දුටු දා පටන් ආලය කළ සුන්දර රද්දාට ලොයිකෝ හදවත පසාරු කරන් යන්නට අනින පිහි පහරකින්. නමුත් රද්දා අවසන් මොහොතේදී ලොයිකෝගේ ඇස් දෙක දිහාම බලාගෙන ඔහුට ‘ආදරෙයි’ කියල කියනවා. නමුත් ඒ වෙද්දි රද්දා ලොයිකෝට අල්ලගන්න බැරි තරම් දුරකට ගිහින් ඉවරයි.ඔබ හිතනවා ඇති මේ පොතෙත් ඉවාන් පවුලූෂා ගීතයෙත් ඇති සම්බන්ධය මොකද්ද කියල. ලොයිකෝ තමයි ඉවාන් පවුලූෂා විදිහට අප අතරට ගීතයෙන් පැමිණෙන්නේ. පවුලූෂාට මේ ප්‍රේමණීය ගීය ගයන්නෙ ඔහුට අවසන් මොහොතේ හෝ ආලය ප්‍රකාශ කළ රද්දා. හැබැයි රද්දා අයිති වෙන්නෙ රුසියාවට වුණාට රද්දා වුණ අප්සරා අයිති අපිට. ඒ නිසා පවුලූෂා එක්ක මෂූර්කා නැටුමට යන්න කලියෙන් අපි අප්සරාව නවලියට ගොඩවද්දගත්තා.
● අප්සරා සෑහෙන කාලෙකට පස්සේ…
ඒකනේ. මම දැන් අවුරුදු කිහිපයක ඉඳන් ඩුබායි හිටියට මාසයක් ගාණෙ ලංකාවට එනවා. නමුත් වැඩිය කවුරුත් දන්නෙ නෑ. ඒත් මේ පාර ටිකක් වැඩි කාලයක් ලංකාවෙ ගතකරන්න හිතාගෙන තමයි ආවෙ.
● ඩුබායිවල මොනවද කරන්නෙ?
මගේ සැමියයි මමයි දෙන්නම රැකියාව කරන්නෙ ඩුබායිවල. මම එහේ ජෙනරල් කවුන්සලර් කෙනෙක් විදිහට රැකියාව කළේ. වෘත්තියෙන් නීතිඥවරියක්. නමුත් දැන්නම් මම රැකියාව කරන්නෙ නෑ.
● පුතාල දෙන්නා ගැනත් විස්තර ටිකක් කියමු
ලොකු පුතාට අවුරුදු 22 යි. පොඩි පුතාට අවුරුදු 19 යි. දෙන්නම ඉගෙනගන්නෙ ඕස්ටේරලියාවේ. ලොකු පුතා සිව්වෙනි වසරේ වෛද්‍ය ශිෂ්‍යයෙක්. පොඩි පුතා පළමු වසරේ වෛද්‍ය ශිෂ්‍යයෙක්.
● මේ දවස්වල මොනවද වැඩකටයුතු?
ගිය අවුරුද්දෙ නොවැම්බර් ඉඳලා මේ වෙනකල් මම අලුත් සින්දු තුනක් කළා. ඒ තුනෙන් දෙකක් ෆයිනලයිස් කරමින් ඉන්නවා. බොහෝදුරට සති දෙකකින් වගේ එක සින්දුවක් හෝ රිලීස් වේවි. මේ දවස්වල ඔය සින්දු තුනේ වැඩ තමයි කෙරෙන්නෙ. මගේ පළමු ගීතය ඉවාන් පවුලූෂා කියන්නෙ රුසියාවට සම්බන්ධ සින්දුවක්. අලුතින් එන එක සින්දුවකුත් රුසියාවට සම්බන්ධ එකක්. අනිත් දෙක ප්‍රේම ගීතයන්. නමුත් සාම්ප්‍රදායික ප්‍රේම ගීතයන්ට වඩා බෙහෙවින් වෙනස්.
● ඇයි රුසියාවට සම්බන්ධව සින්දු කරන්න ආසාවක් ආවෙ?
ඉවාන් පවුලූෂා සින්දුවට දැන් අවුරුදු 27 ක් විතර ඇති. නමුත් අදටත් ඒ ගීතයේ ජනප්‍රියත්වය අඩුවක් නෑ. ඒකට හේතුව විදිහට මම දකින්නෙ සින්දුවේ වචන, විෂුවල් එක වගේම මගේ හඬ. ඒ වගේම ලංකාවෙ මිනිස්සු ගීතයකින් විඳල නැති අත්දැකීමක් තමයි ඉවාන් පවුලූෂා ගීතයෙන් ලැබුණෙ. මගේ අලුත් සින්දුවලින් දෙකක් ලිව්වේ මගේ කැම්පස් එකේ සීනියර් බැජ් එකක හිටපු හේමමාලි හපුආරච්චි අක්කා. එයා සින්දු කීපයක් ලියලා දුන්නා. එකක් රුසියාවට සම්බන්ධයි. ඉතින් මට හිතුණා මම ප්‍රසිද්ධ වුණෙත් රුසියාවට සම්බන්ධ සින්දුවකින් නිසා මේ සින්දුව තෝරගන්නවා කියල. මට ඕන වුණේ නාට්‍යානුසාරී රූප රචනයක් කරන්න පුළුවන් ගීතයක්.
● ඇත්තටම ඔබව මිනිස්සු හඳුනන්නෙ අප්සරා නමින්ද එහෙමත් නැත්නම් ඉවාන් පවුලූෂා ගායිකාව නමින්ද?
මාව පෞද්ගලිකව දන්නෙ නැති ගොඩක් අය මාව අඳුරන්නෙ ඉවාන් පවුලූෂා ගීතය කියන ගායිකාව නමින්. ඒ නමින්ම තමයි මං හිතන්නෙ ලංකාවෙ ගොඩක් දෙනෙක් මං ගැන දන්නවනම් දන්නෙ.
● අප්සරාට ජීවිතේ කොහොමද දැනෙන්නෙ?
ජීවිතේ කියන්නෙ එක පෙළට එන සිද්ධි දාමයකට. හැම සිද්ධියකටම කාල පරාසයක් තියෙනවා. ඉතින් ඒ කාල පරාසය ඇතුළත අටලෝ දහමට අනුව මම ජීවත් වෙනවා.
● පාසල් ජීවිතේ ගැන මතක් කළොත්…
මම පාසල් තුනකින් අධ්‍යාපනය හැදෑරුවා. පළවෙනි එක මාතලේ සංඝමිත්තා විද්‍යාලය. හය වසරෙන් පස්සෙ මාතර කන්යාරාමෙක හිටියා. උසස් පෙළ කළේ මාතර සුජාතා බාලිකා විද්‍යාලයෙ.
● පුංචි කාලෙ දඟ චරිතයක්ද?
අම්මෝ ඔව්. පුංචි කාලෙ ඉතින් ජීවිතේ කිසි බරපතලකමක් තේරෙන්නෙ නෑනෙ. ඒ කාලෙ සැහැල්ලුවෙන් වගේම දැඟලිල්ලෙන් තමයි ජීවිතේ ගෙවුණෙ.
● ඉවාන් පවුලූෂා ගීතය මෙතරම් ජනප්‍රිය වෙයි කියල ඔබ හිතුවද?
ඒ ගැන අවබෝධක් තිබුණෙම නෑ. නමුත් පසුකාලෙක මට හිතුණා මට එච්චර අගයක් නොතිබුණාට මිනිස්සු කොච්චර ඒ සින්දුවට ආදරේ කරලද කියල. ඒ සින්දුවේ තියෙන වචන අපිට අමුතුයි. බැලලයිකාව, මෂූර්කා නැටුම වගේ දේවල් ලංකාවෙ අපිට ආගන්තුකයි. සම්පූර්ණයෙන්ම වෙනස් රසයක ගීතයක්. විශේෂයෙන්ම සංගීතය මේ සින්දුව මිනිස්සු අතරට යන්න ලොකු හේතුවක්. ඉවාන් පවලූෂා ගීතයේ සංගීතය ප්‍රියන්ත ඩිරෙක්ස් සහ පද රචනය චාරුක සුරවීර. අනිත් කාරණය රූප රචනාව. ඒ කාලෙ අපිට රසවිඳින්න ලොකුවට රූපරචනා තිබුණෙත් නෑ. මේ ගීතය කොළඹ විශ්වවිද්‍යාලයෙන් කරපු නිර්මාණයක්. එතකොට මම නීති ශිෂ්‍යාවක්. මං හිතන්නෙ මේ සේරම නිසා ඉවාන් පවලූෂාට ලොකු වාසනාවක් පෑදුණා.
● රීමේක් එකක් කරන්න අදහසක් තියෙනවද?
මෙහෙමයි. රීමේක් එකක් කරන එක මට විතරක් කරන්න පුළුවන් දෙයක් නෙවේ. රීමේක් එකක් කරනවනම් ප්‍රියන්ත ඩිරෙක්ස් අයියා අනිවාර්යයෙන්ම සම්බන්ධ විය යුතුයි. මොකද මේ සින්දුවට එයාගෙ දායකත්වය වැඩියි. ඒ වගේම චාරුක මල්ලිගෙනුත් අදහස් ගන්න ඕනෙ. මටත් හිතුණා Remake එකක් කළොත් හොඳයි කියල. ළඟදි අපි තුන්දෙනා හම්බෙනව. අහල බලන්න ඕනෙ ඔය ගැන.
● ඩුබායිවල වෙසක්,පොසොන් සමරනවද?
ඇත්තටම කිව්වොත් එහෙම ලොකුවට සමරන්නෙ නෑ. නිවාඩුත් නෑනෙ. නමුත් ලංකාවෙ අය ඉන්න පැතිවල කූඩු හදලා වෙසක්, පොසොන් සමරනවා. ඒ වගේම අපිට තියෙනවා පන්සලක්. ඉතින් අපි දානමාන එහෙම දෙනවා. පුතාලා දෙන්නා ඩුබායි ඉද්දි දහම් පාසලුත් ගියා.
● ඉදිරි බලාපොරොත්තු…
මගේ දැනට තියෙන ලොකුම බලාපොරොත්තුව ඉස්සරහට වැඩි වැඩියෙන් ලංකාවට එන එක. ලංකාවට ඇවිත් එහෙමෙහෙ ඇවිදලා, යාළුවෝ හම්බෙලා නිදහසේ ඉන්න එක තමයි ලොකුම ආසාව. මම යන්න කැමතිම අනුරාධපුරේ රුවන්වැලිසෑයට. මම හරිම ආසයි රෑ 7 න් පස්සෙ ශ්‍රී මහ බෝධිය ගාවට ගිහින් ඉඳගෙන ඉන්න. කොහොමත් අවුරුද්දට හතර පස් වතාවක් යැවෙනවා. පුතාලා ලංකාවට ආවම එයාලවත් අනිවාර්යයෙන්ම මම අනුරාධපුරේ එක්කන් යනවා.
එරංදි කෞශල්‍යා