“ඔන්න අද ලොකු නඩුවක්. පුතා ස්ලැබ් එකට නැගලා ලෑලි කෑල්ලකින් ගලකට ගහලා එහා ගෙදරක ජනේලයක් බිඳිලා” කටුගස්තොට ‘පතිරණ’ නිවසේ කුස්සියෙ උය උය හිටපු ශාලිකා එදා හවස ගෙදර ආපු තමන්ගෙ සැමියා වුණ අනුරට පුතාගේ අවනඩුව කිව්වම පහුවදා උදේම අනුර කළේ තමන්ගෙ පුතාව ආයෙත් ස්ලැබ් එකට එක්ක ගිහින් ගල ගහපු විදිහ පෙන්නන්න කියපු එක. සාමාන්‍යයෙන් පුතා වැරැද්දක් කළොත් දඬුවමක් දෙන තාත්තා එදා පුතාට දඬුවම් නොකළේ ඒ ගහපු ගල ගිහින් තිබුණ දුර එසේ මෙසේ දුරක් නොවුණ නිසා. අම්මා කොච්චර අකමැති වුණත් පුංචි කාලෙ ඉඳන්ම ක්‍රිකට් ජීවිතේ කරගත්ත පුතාගේ ඇඟේ අමුතුම දක්ෂතාවක් තියෙන බව තාත්තා දැනගත්තෙ එදා ‘මතීෂ පතිරණ’ ලෑලි කෑල්ලෙන් ගහපු ගල ගිය දුර නිසාලු. දඬුවමක් දෙනවා වෙනුවට එදා මේ තාත්තා කළේ තමන්ගෙ පොඩි පුතාව තව තවත් ක්‍රිකට්වලට උනන්දු කරවපු එක. ඒ උනන්දුවෙන් ආපු ගමන කොච්චරක්ද කියනවනම් LPL ඉතිහාසයේ මෙතෙක් වාර්තා වූ ඉහළම මිලක් සටහන් කරමින් ඩොලර් 120,000ට මෙවර ඔහුව වෙන්කරවා ගත්තා. අද රටක්, ලෝකයක් ආදරේ කරන ඇතෙක් වගේ පුතෙක් ගැන අහන්න මේ ආදරණීය දෙමව්පියන් හැරෙන්නට වෙන කවුරුත් නැති නිසා අපි අද සෙනෙහසක නවාතැනට මතීෂගේ අම්මටත් තාත්තටත් ආදරෙන් ආරාධනා කළා…
අම්මේ අපි මුලින්ම මතීෂගේ ආදරණීය පවුල ගැන කතා කරමු…
මතීෂට ඉන්නේ අක්කල දෙන්නෙක්. ලොකු අක්කා ඇමරිකාවෙ ඉන්නෙ. පොඩි අක්කා සොෆ්ට්වෙයාර් ඉන්ජිනියරින් උපාධියක් හදාරනවා. මම ගෘහණියක්. තාත්තා ව්‍යාපාරිකයෙක්. අපි ඉන්නෙ නුවර, කටුගස්තොට.
පුංචි කාලෙ මතීෂ මොන වගේ චරිතයක්ද?
පුංචි කාලෙ හිටියේ දැන් ඉන්න මතීෂ නම් නෙවෙයි. පුදුම දඟ මල්ලක්. අපිටත් වෙලාවකට පුදුමයි මේ ඉන්නේ පුංචි කාලේ හිටපු මතීෂමද කියලා. දැන් ඉන්නේ නිහඬ, අහිංසක මතීෂ කෙනෙක්.
මතීෂ ක්‍රිකටර් කෙනෙක් වෙනවට අම්මා අකමැති වුණා කියන්නේ ඇත්තද?
ඔව්. අපි හිතුවෙ නෑනේ ඉතින් ක්‍රිකට් ගහලා පුතාට ගොඩ යන්න පුළුවන් වෙයි කියලා. අතරමග අධ්‍යාපනයත් කඩාගෙන වැටුණොත් එයාට දෙපැත්තම නැතිවෙනවා. ඒ නිසා මං ක්‍රිකට් පැත්තෙන් පුතා ඉස්සරහට යනවට කැමති වුණේ නෑ.
එතකොට මතීෂ දක්ෂතා පෙන්නද්දි?
ඒත් මගෙන් සපෝට් එක හරිම අඩුවෙන් ලැබුණේ. තාත්තයි මතීශගෙලොකු තාත්තයි තමයි ඒ දේවල්වලට සපෝට් කළේ. මමයි අක්කලා දෙන්නයි එයා එක්ක හිටගත්තේ දහනවයෙන් පහළ වර්ල්ඩ් කප් එකට තේරුණාට පස්සේ. දැන් මට පුතා ගැන දැනෙන සතුට වචන කරන්න බෑ. තියෙන්නෙ සතුටු කඳුළු විතරයි.
ක්‍රිකටර් කෙනෙක් වෙනවට කොච්චර අකමැත්තෙන් හිටියද කියනවනම් මතීෂගේ බැට් එකත් පිච්චුවලු නේද?
(සිනාසෙමින්) ශිෂ්‍යත්වය ළඟම තිබුණා. ඒක ජීවිතේ කඩඉමක්නේ. පුතා ගියෙත් ප්‍රයිමරි ස්කූල් එකකට. ශිෂ්‍යත්වයෙන් පාස් වෙලා පුතා හොඳ ඉස්කෝලෙකට යනවා දකින්න මට ඕනේ වුණේ. නමුත් මතීෂ බැට් එක අතෑරියේ නෑ. නිදාගත්තෙත් බැට් එක ළඟින් තියාගෙන. කිසිම වැඩක් කළේ නෑ.
හැබැයි එහෙමයි කියලා අධ්‍යාපනය කඩාගත්තෙත් නෑ. හැමපාරම පන්තියේ මුල්ම පහ අතරේ හිටියා. නමුත් මට බයක් දැනුණා ශිෂ්‍යත්වෙන් ෆේල් වෙයි කියලා. ඉතින් දවසක් මම හොඳ වැඩක් කරන්නම්කෝ කියලා බැට් එක පිච්චුවා. හැබැයි ඉතින් කොච්චර බැට් පිච්චුවත් ආයෙ බැට් එකක් අරන් දෙන්න තාත්තා හිටියා.
මතීෂ මොන පාසලේද ඉගෙනගත්තේ?
මුලින්ම ගියේ දොඩංවල ජනාධිපති ආදර්ශ කණිෂ්ඨ පාසලට. එතනින් පස්සේ රණබිම රාජකීය විද්‍යාලයට ගියා. ඒ පාසලෙන් තමයි පුතා ක්‍රිකට්වලට අත්පොත් තිබ්බේ. ඊටපස්සේ මෙයාගේ දක්ෂතාවය දැකලා ත්‍රිත්ව විද්‍යාලයෙන් පුතාව ගත්තා.
ඉන්දියාවේ ක්‍රිකට් ෆෑන්ස්ලා දේවත්වයෙන් අදහන එම්.එස් දෝනිව මුණගැහෙන්නත් අම්මලට හැකි වුණා. ඒ හමුවීම ගැන විස්තර කළොත්…
දෝනිව හම්බෙන්න යනවා කියලා දැනගත්තම මොනවද එයාගෙන් අහන්නේ? කොහොමද කතා කරන්නේ කියලා ලොකු චකිතයක් තිබුණා. ඒක බයක් වගේ හැඟීමක්. මොකද දෝනි කියන්නේ මුළු ලෝකයක්ම දන්න කෙනෙක්නේ. නමුත් ඒ චකිතය ඔහුව දැක්කම නැති වුණා.
අපිට හුරු පුරුදු කෙනෙක් මුණගැහුණා හා සමාන හැඟීමක් දැනුණේ. ඒ තරම් සුහද පිළිගැනීමක් ඔහුගෙන් අපට ලැබුණා. පුතා කියන්නෙ දෝනි එයාගෙ දෙවෙනි තාත්තා කියලා. දෝනි එක්ක කතා කළාම අපිටත් එහෙම හිතුණා. ගිය ආත්මෙ අපේ නෑදෑයෙක්ද කියලත් හිතුණා. දෝනිගෙපවුලේ අය හිටපු හෝටල් කාමරයට අල්ලපු කාමරේ තමයි අපි නැවතිලා හිටියේ.
දෝනි මොකද මතීෂ ගැන කිවුවේ?
ඉස්සෙල්ලාම දෝනිව හම්බුනේ ගිය අවුරුද්දෙ. ඒ හම්බුනාම කිව්වා පුතා ගැන කිසි දේකට බයවෙන්න එපා, පුතාව එයා බලාගන්නවා කියලා. මේ පාර ඉන්ජර්ඩ් වෙලා ලංකාවට එද්දිත් කිව්වේ කොහේ ගියත් එයා පුතාගේ පිටිපස්සෙන්ම ඉන්නවා කියලා.
නිදහසේ ඉන්න වෙලාවට මතීෂ මොනවද කරන්නෙ?
පුතා ගෙදර ඉන්නවා හරිම අඩුයි. නිදහසක් හම්බුනගමන් නුවර ගෙදර එනවා. ගෙදර ආවම එළියටවත් බහින්න අකමැතියි. අපි එක්කම තමයි කාලේ ගෙවන්න කැමති. එයා ගෙදර ඉද්දි ක්‍රිකට් ගැන කතා කරන්න සම්පූර්ණයෙන්ම තහනම්. කොටින්ම අපි එයා ඉද්දි මැච් එකක් බලනවටවත් ආස නෑ.
මතීෂට මැච් එකකින් හම්බුන මුල්ම මුදලින් මොනවහරි විශේෂ දෙයක් එහෙම කළාද?
පුතා ගොඩක් ආගම දහමට ලැදියි. අපේ මුළු පවුලම වුණත් මුලින්ම ලැබෙන දෙයින් කොටසක් පන්සලකට, පින් වැඩකට යොදවනවා. පුතත් එහෙමයි. පුතා අපිට නොකියා කරන එහෙම වැඩ ගොඩක් තියෙනවා
හොඳ වගේම ඇතැම් අවස්ථාවලදී මතීෂට සමාජමාධ්‍ය හරහා දෝෂාරෝපණත් එල්ල වෙනවා. කොහොමද මතීෂ ඒවට ප්‍රතිචාර දක්වන්නේ?
අනේ මන්දා මේ ළමයා මහ පුදුම ළමයෙක්. අපි හරි එහෙම දෙයක් දැකලා පෙන්නුවොත් අයියෝ ඕවා බලන්නේ මොකටද අම්මේ කියලා අහනවා. පුතා කියන්නේ ඔහොම බයින කවුරුත් ක්‍රිකට් ගැන දන්නේ නෑ, ක්‍රිකට් ගැන දන්න ග්‍රවුන්ඩ් එකක ජාත්‍යන්තර ක්‍රිකට් සෙල්ලම් කරලා තියෙන කෙනෙක් මට බැනලා තිබ්බොත් පෙන්නන්නකෝ කියලා.
මේ පාර වර්ල්ඩ් කප් ටූනමන්ට් එකට යද්දි මතීෂ මොකද කිව්වේ අම්මට?
පුතානම් මුකුත් කිව්වේ නෑ. අපි තමයි කිව්වේ කප් එක ගේන්න කියලා. මං මුලිනුත් කිව්වනේ පුතා දේවල් කිය කිය කරන්නේ නෑ. ඒ නිසා හොඳ දෙයක් අනිවාර්යෙන්ම වෙයි.
අපි ඊළඟට හැරුණෙ මතීෂගේ පස්සෙන්ම ඉඳගෙන ක්‍රිකට්වලින් ඉස්සරහට ඇදගෙන ගිය වීරයගෙ පැත්තට. ඔහු නමින් අනුර පතිරණ.
තාත්තෙ මතීෂගෙ බැට් එක අම්මා පිච්චුවට පස්සෙ ඇත්තටම තාත්තා තව බැට් එකක් අරන් දුන්නද?
බැට් එක පිච්චුවට පස්සෙ පුතා ගත්තා ලෑලි කෑල්ලක්. ඒකත් අරගෙන දවසක් පුතා ස්ලැබ් එක උඩට ගිහින් ගලකට ගහල තිබුණා. ඒ ගල සෑහෙන දුර ගිහින් ගෙදරක ජනේලයක් කුඩු වෙලා. පුතාගෙ දඟ වැඩ නිසා මම එයාට දඬුවම් කළත් එදා මං දඬුවමක් දුන්නෙ නෑ.
මං බලද්දි එයා ඔළුවෙ ඉඳන්ම රෙද්දක් පොරවන් නිදි. පහුවදා පුතාට මං කිව්වා ගල ගහපු විදිහ පෙන්නන්න කියලා. පුතා පෙන්නුවා. එදා තමයි මට තේරුණේ පුතාට ලොකු දක්ෂකමක් ඇඟ ඇතුළෙ තියෙනවා කියලා. ඒ සිද්ධියෙන් පස්සෙ මං පුතාව තව තවත් ක්‍රිකට්වලට උනන්දු කෙරෙව්වා. පුතා ලොකු ගමනක් යන බව මට තේරුණා.
මතීෂගෙ තව මොනවද දක්ෂතා?
පුතා පාසල් මට්ටමින් බේස් බෝල් ගැහුවා. දිගටම කරගෙන ගියේ නෑ. ඊට අමතරව පියානෝ ප්ලේ කළා. ලස්සනට සින්දු කියන්නත් පුළුවන්.
තාත්තගෙ බලාපොරොත්තුව මතීෂ මේ වෙද්දි ඉෂ්ඨ කරලද තියෙන්නේ?
ඇත්තටම ඔව්. දරුවෙක්ව හදලා අම්මෙක් තාත්තෙක් බලාපොරොත්තු වෙන්නෙ සමාජයේ හොඳ තැනකට යවන්න. ඒ වගේම දරුවොත් දැනගන්න ඕනෙ ඒ තැනට ගිහින් දෙමාපියන්ව සතුටු කරවන්න. අපේ පුතා ඒ සතුට අපි දෙන්නට දුන්නා.
අම්මේ.. ආයෙමත් මං අම්මගෙන් අන්තිමට මෙහෙම අහන්නම්. රටක් වටින පුතෙක් හදපු එක ගැන අද තියෙන්නේ මොනවගේ හැඟීමක්ද?
මං දුවට වචන දෙකකින් උත්තරයක් දෙන්නම්. නිහතමානී ආඩම්බරයක්.
එරංදි කෞශල්‍යා ✍️