නිත්‍යවානි කන්දසාමි
මීට අවුරුදු 24කට උඩදි ඒ කියන්නේ 2000 අවුරුද්දෙදි ලංකාවේ සිනමාවට ‘සරෝජා‘ කියන විශිෂ්ඨ ගණයේ චිත්‍රපටය බිහිවුණා. මේ චිත්‍රපටිය හරහාත් ඊට වසර කීපයකට උඩදි නිර්මාණය වුණ පුංචි සුරංගනාවි හරහාත් අපේ සිනමාවට ලැබුණා දක්ෂ ළමා රංගන ශිල්පිණියක්. ඇය නිත්‍යවානි කන්දසාමි. තමන්ගෙ පළමු නිර්මාණ ද්විත්වයෙන්ම ජාත්‍යන්තර සම්මානවලට පවා හිමිකම් කියූ නිත්‍යවානි හොඳම නිළිය සඳහා වන සරසවි සම්මානයෙන්ද පිදුම් ලැබුවා. හොඳම නිළිය ලෙස ළමා නිළියක් සම්මානිත වීම ඉතාම විරල අවස්ථාවක් වුණා. එදා යන්තම් අවුරුදු 06ක් වෙච්චි පුංචි සරෝජා අද අවුරුදු 31ක තරුණියක්. චිත්‍රපටි දෙකක පමණක් රඟපෑවත් නිත්‍යවානි එක්ක මුසු වෙච්චි ඒ අතීත සුවඳ තවමත් අපේ හදවත් ඇතුළේ රැඳිලා තියෙන නිසා අපිට නිත්‍යාව අමතක කරන්න බෑ. ඒ නිසා අපි නිත්‍යාට කතා කරලා ඇගේ වතගොත ටිකක් හොයලා බැලුවා…
නිත්‍යා කොහොමද ජීවිතේ?
ජීවිතය හොඳින් ගෙවෙනවා. හොස්පිට්ල් එකේ වැඩ එක්ක ටිකක් කාර්යබහුල වෙලා ඉන්නේ.
ඒ කියන්නෙ දැන් සම්පූර්ණ දායකත්වය වෘත්තියටද?
ඔව්. ඇත්තටම දැන් හොස්පිට්ල් එකේ වැඩ එක්ක වෙන කිසිම දේකට සම්බන්ධ වෙන්න වෙලාවක් නෑ. අනික දැන් කොළඹත් නෙවේනෙ ඉන්නේ. කලාව ගැන කතා කළොත් මං ඉතින් ෆිල්ම්ස් දෙකක් විතරනෙ කළේ. ඊටපස්සෙ ටීවී ප්‍රෝග්‍රෑම්ස් කීපයක් කළා. දැන්නම් එහෙම ලොකුවට ආරාධනා ලැබෙන්නෙත් නෑ නිර්මාණවලට.
නිත්‍යා මොන රෝහලේද වැඩ කරන්නේ?
ගම්පොළ මූලික රෝහලේ. මං ඉන්නේ මෙඩිකල් වෝඩ් එකේ. තාම මං මෙහෙට ඇවිත් මාසයයි.
රෝහලට එන අය නිත්‍යාව අඳුරගන්නවද?
ඇත්තම කිව්වොත් එහෙම ලොකුවට අඳුරගන්නෙත් නෑ. දැන් ඉතින් පෙනුමත් වෙනස්නේ. හැබැයි අඳුරගන්න අයත් ඉන්නවා.
කොහොමද දෙමළ ජාතිකයෙක් වෙලත් මෙච්චර හොඳට සිංහල කතා කරන්න පුළුවන් වුණේ?
ඉස්සර අපි හිටියේ වත්තල. ගෙවල් අවට ගොඩක් හිටියේ සිංහල අය. ඉතින් එයාලා එක්ක කතා කරද්දි නිකන්ම සිංහල පුරුදු වුණා.
අදටත් සරෝජා, පුංචි සුරංගනාවී TV එකේ පෙන්නුවොත් මාව මතක් වෙලා කෝල්, මැසේජ් කරන අය ඉන්නවා
නිත්‍යවානි කන්දසාමි
නිත්‍යා රඟපෑවෙ චිත්‍රපට දෙකක විතරක් වුණාට එයින් ලැබුණ ප්‍රසිද්ධිය සහ ජනප්‍රියත්වය අති මහත්. අදටත් ඒ ගැන දැනෙන හැඟීම මොන වගේද?
සරෝජා චිත්‍රපටියේ රඟපානකොට මට වයස අවුරුදු හයයි. පුංචි සුරංගනාවි චිත්රපටියෙ රඟපානකොට අවුරුදු දහයයි. එච්චර පුංචි වයසකදි රඟපාලා තවමත් මිනිස්සු කතාබහ වෙන චරිතයක් වෙන්න ලැබුණ එක ලොකු දෙයක්. ඒ ගැන මට තියෙන්නේ ලොකු සතුටක්. ඊටපස්සෙ ඒ හා සමානව ජනප්‍රියත්වයක් ලැබුණ නිර්මාණයක් තමයි හර්ෂ දිසානායකගේ ‘පිච්ච කැකුළු මල් මාලය’ සින්දුව.
තවමත් ඔය ෆිල්ම්ස් දෙක ඉඳලහිටලා හෝ බලනවද?
මම නම් ඇත්තටම සෑහෙන කාලෙකින් බැලුවෙ නෑ. නමුත් සමහරු ඇවිත් කියනවා මට නිවාඩු දවස්වලට ටීවී එකේ චිත්‍රපටිය පෙන්නනවා කියලා. එහෙම පෙන්නන දවස්වලට මාව මතක් වෙලා කෝල්, මැසේජ් කරන අයත් ඉන්නවා.
නිත්‍යා අලුත් අවුරුද්දට සූදානම මොන වගේද?
තාම මම මේ හොස්පිට්ල් එකට ඇවිත් මාසයක් නිසා නිවාඩු නම් අඩුයි. නිවාඩුවක් ලැබුණත් කොළඹ ගිහින් ආයේ ගම්පොළ එන තරමට දිග නිවාඩු ලැබෙන්නෙත් නෑ. ඒ නිසා හැම සති අන්තෙකම හස්බන්ඩ් එනවා මාව බලන්න.
ඔහු බැංකු නිලධාරියෙක්. ඒත් මේ පාර අවුරුද්දට දීර්ඝ සති අන්තයක් එන නිසා මට කොළඹ ඇවිත් අවුරුදු සමරන්නත් පුළුවන් වෙයි. සිංහල අය අවුරුදු සමරන විදිහටම නැකත් බලල තමයි අපිත් චාරිත්‍ර වාරිත්‍ර කරන්නේ. වෙනසකට තියෙන්නේ අපි කෝවිල් යන එක සහ අපි හදන කෑම ජාති වෙනස්.
මොනවද නිත්‍යා අවුරුද්දට හදන කෑම ජාති?
පොංගල් බත් එක අනිවාර්යයෙන් හදනවා. පොංගල් කිව්වට ඒ බත් එකම තමයි අපි හැම ෆෙස්ටිවල් එකකටම හදන්නේ. ඊට අමතරව වඩේ, මුරුක්කු, කේසරී වගේ කෑම හදනවා.
අවුරුදු සමරන්නේ පවුලේ අයත් එක්කද නැත්නම් සැමියා එක්කද?
විවාහයෙන් පස්සේ මමයි සැමියයි පදිංචි වුණේ රත්මලානෙ ෆ්ලැට් එකක. ඒ ෆ්ලැට් එකේම අනිත් පැත්තේ තමයි අපේ අම්මලා ඉන්නෙත්. ඒ නිසා කොහොමත් අවුරුදු සැමරෙන්නේ අපි හැමෝම එකට.
මං ඇහුවොත් ඒ කාලේ නිත්‍යා එක්ක රඟපාපු ළමා රංගන ශිල්පීන් එක්ක අදටත් සම්බන්ධකම තියෙනවද කියලා?
ඉඳලා හිටලා ප්‍රමුදි අක්කා එක්ක මැසේජ් කරනවා. එයා මගේ වෙඩින් එකටත් ආවා. පුංචි සුරංගනාවි එකේ මාත් එක්ක රඟපාපු තාරක අයියව නම් අන්තිමට මම දැක්කේ එයා ITNඑකේ නිවුස් කියපු කාලේ මේකප් රූම් එකේදි. ඒ කාලෙ මම වසන්තම් එකේ වැඩසටහනක් කළා.
අනාගත බලාපොරොත්තු මොනවද?
මම තාම මොන අංශයේ වෛද්‍යවරියක්ද කියලා Specialize කරලා නැහැ. ඒවට වෙනම එක්සෑම් කරන්න ඕනේ. ඉතින් ඒ වෙනුවෙන් සූදානම් වෙන්න ඕනේ. ඊට අමතරව මට මොනවා හරි කලා කටයුත්තකට සම්බන්ධ වෙන්න ආරාධනාවක් ආවොත් ඒ ගැනත් හිතලා බලනවා.
එරංදි කෞශල්‍යා ✍️