තනූජා ජයවර්ධන, සමන් අතාවුදහෙට්ටි
මේක බැලු බැල්මටම පේන විදිහට හරිම අපූරු සුසංයෝගයක්. වෙනත් විදිහකින් කියනවා නම් සාමාන්‍යයෙන් අසාමාන්‍ය තෝරාගැනීමක්. මේ දෙන්නටම අපි ආදරය කරන්න පටන්ගන්නේ ඔවුන් තුළ තිබෙන වෙනස් හඬ පෞරුෂය නිසාමයි.හඬෙන් තම ග්‍රහකයන් වසඟ කරගත් මොවුන් රූපයෙන්ද ඔවුන්ගේ හදවත් තුළ සදා නොමැකෙන ඉඩක් වෙන්කර ගත්තා. ඒ නිසාම මේ දෙන්නා එකම රාමුවකට කොටු කරගන්න නවලියේ අපට හිතුණා.ඒ විතරක් නෙවෙයි මේ දෙදෙනාම ඔවුන්ගේ අදහස් හරි අපූරුවට මුදාහැරියේ අලුත් කථිකාවක් සමාජයේ ඇති කරන්න. මේ සමන් අතාවුදහෙට්ටි සහ තනූජා ජයවර්ධන නවලියට කියූ කතාවයි…
සමන් අතාවුදහෙට්ටිගෙන් කතාව පටන් ගත්තා
මගේ තාත්තලගෙ මුල් ගම මීරිගම. අපේ තාත්තයි අම්මයි දෙන්නම ගුරුවරු. ට්‍රේනින් කොලේජ් එකෙන් අවුට් වුණාට පස්සෙ මුලින්ම ඒ දෙන්නට පත්වීම දුන්නේ රෝයල් කොලේජ් එකට.ඒගොල්ලො ඒක ප්‍රතික්ෂේප කළා. එයාලට ඕන කළේ දුෂ්කර පාසලක දරුවන්ට උදව් කරන්න. ඒ දෙන්නම යනවා ට්‍රාන්සර් එකක් ඉල්ලගෙන වන්නියෙ ඇහැටුවැව ඉස්කෝලෙට. ඇහැටුවැව කියන්නෙ ලස්සන ගමක් මට යන්තම් වගේ මතකයි. පස්සෙ කාලෙක ලෙස්ටර් “දෑස නිසා” ෆිල්ම් එක කළෙත් ඒ ඇහැටුවැව ගමේ තමයි. එතකොට ඇහැටුවැවේදී තමයි මාව ඉපදෙන්නෙ.
මම පවුලේ පළවෙනි දරුවා. එහෙම ඉන්නකොට තාත්තට ආරංචි වෙනවා ඇහැටුවැවටත් එහා ඈත කොලනියක තියෙන පාසලක් ගැන. ඒ පාසල ඇරලා අවුරුදු එකහාමාරක කාලයක් තුළ ප්‍රදේශයේ තියෙන දුෂ්කරතාව නිසා විදුහල්පතිවරුන් හයදෙනෙක් ඇවිත් ගිය බව තාත්තා දැනගන්නවා. එතකොට අම්මට මල්ලි හම්බවෙන්නත් ඇවිල්ලා. තාත්තා රිස්ක් එකක් අරගෙන සියඹලන්ගමුව පළාතේ ඒ දුෂ්කර පාසලට අම්මත් එක්ක යනවා. 1959 යේ අග හරියෙ විතර ඒ ඉස්කෝලේ බාර අරගෙන ඒක පුළුවන් තරම් දියුණු කරනවා. අපට ඉස්කෝලේ යන්න සුදුසු කාලෙ එනකොට අර කලින් ප්‍රතික්ෂේප කරපු ට්‍රාන්සර් එක ඒ දෙන්නා ආයෙ ඉල්ලනවා. ඒ අපේ අධ්‍යාපනය වෙනුවෙන් කොළඹ රාජකීය විද්‍යාලයට. මම ඇතුළත් වෙන්නෙ දෙවනි පන්තියට. එතන ඉඳල අපි දිගටම ඉන්නෙ කොළඹ.
රාජකීයෙ ගතකරපු කාලය මතක් කළොත්…
එතකොට රාජකීය විද්‍යාලය කඩලා තිබුණේ, රාජකීය ප්‍රාථමිකය සහ රජකීය විද්‍යාලය විදිහට. විදුහල්පති හිටියේ එච්. ඩී. සුගතපාල. එතුමා කලාවට ගොඩක් ආදරේ කළ පොත් ලියපු කෙනෙක්. එයා තමයි ඒ කාලෙ ඉතා ප්‍රසිද්ධ “නවමඟ” පන්ති පොත් පෙළ ලිව්වෙත්. ඒ පොත් පෙළ හරහා තමයි සිබිල් වෙත්තසිංහව චිත්‍ර අඳින්න හඳුන්වලා දුන්නෙත්. මට මතකයි ඉස්කෝලෙ ගියාම “නවමඟ” පොත් මටත් හම්බුණා.
දෙවැනි පංති පොතේ මොකක් හරි ලස්සන චිත්‍රයක් තිබුණා. සුගතපාල සර්ව කොරිඩෝ එකේදි හම්බුණාම අපි ගුඩ්මෝනින් කියනවා. එහෙම කියන වෙලාවක මම කිව්වා අපේ පොතේ තියෙන චිත්‍ර හරිම ලස්සනයි සර් කියල. එතකොට එයා කිව්වා ඔයාට වඩා ටිකක් ලොකුයි හැබැයි පොඩි ළමයෙක් තමයි ඒවා ඇන්දේ කියල. ඔයලටත් පුළුවන් ඒ වගේ කලා නිර්මාණවලට සම්බන්ධ වෙන්න කියලත් කිව්වා. මට ඒ කතාව ලොකු දිරියක් වුණා. ඉතින් තාත්තයි අම්මත් දෙන්නත් කලාවට ගොඩක් ආස නිසා තාත්තට හොඳට සංගීතය පුළුවන් නිසාත් මටත් කලාවට එන්න ඕනම වුණා.
කොහොමද ගුවන්විදුලියට යොමුවුණේ ?
1967 දී පාසල් නාට්‍ය තරගයට අපේ පාසලෙන් නාට්‍යයක් ඉදිරිපත් කළා. තාත්තා තමයි ඒක ලියලා ප්‍රඩියුස් කළේ. ඒකට සමස්ත ලංකා දෙවනි තැන හම්බ වුණා. ඊටපස්සෙ ඔය නාට්‍ය බලපු නාන්නාඳුනන ගැහැනු කෙනෙක් ස්ටේජ් එකට ඇවිල්ලා නාට්‍යයේ රඟපාපු ළමයි කිහිප දෙනෙක්ව පෙන්නල කියනවා මම ගුවන්විදුලි සංස්ථාවේ වැඩ කරන්නෙ ඔයාලා කැමති නම් ගුවන්විදුලි සංස්ථාවේ වැඩසටහන්වලට සම්බන්ධ වෙන්න පුළුවන් කියල.
ඊට පස්සෙ අපි දැනගන්නව ඒ ප්‍රභා රණතුංග කියලා. එයා තමයි ඒ කලෙ ළමා හා කාන්තා වැඩසටහන් බාරව ගුවන්විදුලියේ හිටියේ. එයා ගුවන් විදුලියට තොරගත්ත ළමයි ටික ඒකට ගියා. සමහර ළමයි මඟදි හැලුණා. මම නම් එක දිගටම ගියා. එහෙම තමයි මම ගුවන්විදුලියට සම්බන්ධ වුණේ.
මම ඉස්සෙලාම ගුවන්විදුලියට යනකොට හතරේ නැත්නම් පහේ පංතියෙ හිටියේ. මගේ තාත්තත් ඒ වෙනකොට ගුවන්විදුලි වැඩසටහන්වලට සම්බන්ධ වෙලා හිටියා. හැබැයි එයලා අපිට ගුවන්විදුලියේ විශේෂ පාරවල් හදල දුන්නේ නැහැ. අපිටම හැදුණු පාරේ අපි ගියා. අපි කාගෙන්වත් යැපුණේ නැති නිසා අපේ ගමන ශක්තිමත් වුණා.
අපේ නම් රෙඩියෝ එකෙන් ඇහෙනකොට පන්තියෙ ළමයි අතර විශේෂ තැනැක් ලැබුණා. එතකොට මම නවය දහය පංතිවල. මම සාමාන්‍ය පෙළට කළේ ඉංජිනේරු විෂයන්. උසස් පෙළටත් ඉංජිනේරු අංශයට තමයි සමත් වුණේ. ඒලෙවල් කරන්න ඔන්න මෙන්න තියෙද්දි මට ගුවන් විදුලියේ සහන නිවේදක රස්සාවක් ලැබුණා.
එදා ගුවන්විදුලියෙන් ලැබුණ අත්දැකීම් ගැන අද කතා කළොත්…
එදා ගුවන්විදුලියට පරිපූර්ණ මිනිස්සු ගොඩක් සම්බන්ධ වෙලා හිටියා. ඒක අපේ ජීවිතයට ලොකු අත්දැකීමක් වුණා. කරු අයියා, ප්‍රේමකීර්ති, දයා අක්කා, බණ්ඩාර කේ. විජේතුංග ඒ අය පවා අපිත් එක්ක ඉතා කිට්ටුවෙන් අශ්‍රය කළා.එයාලගෙන් ගොඩක් දේවල් අපි ඉගෙන ගත්තා. අනික් ටික අත්දැකීමෙන් ගත්තා. වැඩසටහන්වලටත් ආවේ අමරදේව, සරච්චන්ද්‍ර වගේ ප්‍රමාණික අය.
හැබැයි ගුවන් විදුලිය යාවත්කාලීන වුණේ නැහැ. කාලයත් සමඟ දියුණු වෙන්න නම් දියුණු තාක්ෂණය වගේම අලුත් වැඩසටහන් ඕනේ. ඒ මුකුත් ගුවන්විදුලිය කළේ නැහැ. උදාහරණයක් හැටියට FM ලෝකයට හඳුන්වල දුන්නම ගුවන්විදුලිය පස්ස ගැහුවා FM තරංගවලට මාරුවෙන්න.
ප්‍රධාන හේතුව වුණේ එදා ගුවන්විදුලියේ හිටපු ඉංජිනේරුවෝ FM තාක්ෂණය හදාරලා නැතිකම. සිරස ඇවිත් FM රේඩියෝ එකක් හඳුන්වල දුන්න ගමන් ඒක ශ්‍රාවකයන්ගේ කනට මිහිරි වුණා. ගෝෂා නැති වුණා. ඇත්තටම මම දකින විදිහට ගුවන්විදුලිය මල් වට්ටියක තියල පෞද්ගලික ගුවන්විදුලි නාලිකාවලට දුන්නා වගේ වැඩක් තමයි එදා කළේ.
සමන් කිව්ව ඒ කතාවලට තවත් හොඳින් ඌණපූරණය කළ හැකි චරිතයක් වන තනූජා ඊළඟට මෙහෙම අදහස් දැක්වූවා.
තනූ කොහොමද ඔයා රේඩියෝ අභියෝගය එදා බාරගත්තේ ?
මට තියෙන්නෙ චැනල් හෙඩ් විදිහට Y FM අත්දැකීම. Y FM එන්නෙ 2005 දී. ඒ වෙනකොට මම ටීවී පර්සනෑලිටි එකක්. පර්සනෑලටි එකයි මම විෂුවලි දැකපු දේයි ගුවන්විදුලියට ගේන එක තමයි මම එදා කළේ. මගේ ඔළුවේ හැමතිස්සෙම වැඩ කරන්නෙ විෂුවල්. මම පාඩම් කරන්නෙත් පුංචි පුංචි රූප ඇඳගෙන. ඒ හින්දා මම ටෙලිවිෂන් එකේදී කරපු දේවල් ගුවන්විදුලියට හැරෙව්වා. ඒ නිසා වාව් ෆැක්ටර් එකක් අපට එන්න ගත්තා. එතනදී මම ඩිජිටල් ප්ලැට්ෆෝම් එකත් පාවිච්චි කළා.
ඒ කාලෙ ඔන්ලයින් ක්‍රමය තමයි ටිකක් ස්ට්රෝන්ග්ව තිබුණේ. මම කිසිම වෙලාවක අලුත් තාක්ෂණය මඟඇරපු කෙනෙක් නෙවෙයි. නිමල් ලක්ෂපති ආරච්චි මට හැමතිස්සෙම කිව්වෙ තාක්ෂණය මඟහැරලා මේ රස්සාව කරන්න බැහැ කියල. යූත් චැනල් එකක් නිසා මට සිද්ධ වුණා හැමතිස්සෙම තාක්ෂණය පාවිච්චි කරන්න. එහෙම නොවුණා නම් යූත් එකට රීච් කරන්න බැරි බව මම දැනගෙන හිටියා.
අපි ගත්ත ගොඩක් වැඩසටහන් ආකෘති, සිංදු ඒ අරමුණ වෙනුවෙන්ම ගත්ත ඒවා. Y FM වගේ නාලිකාවක් අතිශයින්ම සාර්ථක වුණේ තාක්ෂණයයි අලුත් වැඩසහටහන් ආකෘතියි නිසා. ඒ වෙනකොට රටේ ගුවන්විදුලි නාලිකා 28 ක් තිබුණා. ඒවයින් එකම එකයි තිබුණේ අවුරුදු 12 ඉඳල 30 දක්වා තරුණ ඕඩියන්ස් එකට කතා කරන්න.
කොහොමද ටිවී කෙනා රෙඩියෝ කරන කෙනෙක් වුණේ?
මාව චැනල් හෙඩ් විදිහට තෝරගෙන කියල දැනගත්ත වෙලාවෙ නිමල්ට මම කෝල් එකක් දුන්නා. මම කිව්වා නිමල් අයියෙ මේ බලන්නකෝ මාව රේඩියෝ චැනල් එකක චැනල් හෙඩ් කරන්න යනවා කියල. මම රේඩියෝ ගැන මුකුත්ම දන්නෙ නැහැනේ කියලත් කිව්වා. නිමල් කිව්වා නොදන්න එකම තමයි පුතේ හොඳම දේ කියල. ඒක තමයි මගේ මෝටිවේෂන් ෆැක්ටර් එක වුණේ. ඒ වෙනකොට සිරස FM වල පරිණත කට්ටියක් හිටියා. නිහාල් අයියලා, කිංස්ලිලා මට උදව් කළා.
හැමතිස්සෙම පරිණත මිනිස්සු එක්ක ආශ්‍රයක් මට තිබුණා. වැරදුණ තැන්වලදී බැනුම් ඇහුවා. එයාල මාව හරි ගැස්සුවා. සිරස FM වල සාර්ථකත්වයත් Y FM වලට බලපෑවා. මගේ අලුත් අයිඩියාස් විකුණන්න මාර්කටින් එකත් කැමති වුණා. එහෙම තමයි මම වෙනස් වුණේ. ගොඩක් කොන්සට් හවස තුනට පටන් අරගෙන රෑ හතට ඉවර කළා. මම එහෙම කළේ තාරුණ්‍යයට ලයිෆ් එක එන්ජෝයි කරන්න ඕනෙ රෙස්පොන්සිබිලිටි තියාගෙන බව පෙන්වන්න. මම කොහොමත් චේන්ජින්වලටත් අප්ඩේට්වලටත් බොහොම කැමති කෙනෙක්.
තක්ෂණයේ දියුණුව තනූ දකින්නේ මොන විදිහටද?
ඔයාටත් මතක ඇති අපේ පුංචි කාලේදි අපේ අම්මල අපට බැන්නා ටීවී බලන්න එපා, කාටූන් බලන්න එපා කියල. අද අම්මල ළමයින්ට බනිනවා ෆේස්බුක්, යූටියුබ් යන්න එපා කියල. හරියට දැන් වෙලා තියෙන්න මීඩියම් එක මාරු වීම විතරයි. අපිට මතක තියෙන්නේ ටීවී එකත් එක්ක තිබුණ සම්බන්ධය විතරයි. අපි VHF කැසට් ගෙනල්ල හොරෙන් බලපු කාලයකුත් තිබුණා. ඒත් ඒ වයස පහු කරපු අද අම්මලට ඒවා මතක නැහැ. තාක්ෂණය ඕනේ. අද අපි කතා කරන්නේ විශ්ව ගම්මානයක් ගැන. එහෙම නැතුව ලෝකයට යන්න බැහැ.
මම හැමතිස්සෙම යං බ්ලඩ් ගැන විශ්වාස කරනවා
තනූජා ජයවර්ධන
තනූ ලංකාවේ තාරුණ්‍යය ගැන මොකද හිතන්නෙ?
මම හැමතිස්සෙම යං බ්ලඩ් ගැන විශ්වාස කරන කෙනෙක්. අපට හොඳ ටැලන්ටඩ් කෙල්ලො කොල්ලො සෙට් එකක් ඉන්නවා. හැබැයි හැම තිස්සේම ඒක පත්තුවෙන්නෙ ටැලැන්ටඩ් කෑල්ලෙන් නෙමෙයි. මියුසික් ගත්තත්, සයන්ස් ගත්තත්, පොලිටික්ස් ගත්තත්, IT ගත්තත් දක්ෂ තරුණ තරුණියන් ඉන්න රටක් මේක. ඒක හරියට මැනේජ් වෙන්නෙ නැති ප්‍රශ්නයක් තමයි තියෙන්නෙ.
කවදාවත් දක්ෂ කෙල්ලෙක් කොල්ලෙක් දැක්කම කුහක වෙන්න එපා කියන පණිවුඩය මට නිමල් දීලා තිබුණා. ඒ හින්දද දන්නෙ නැහැ ටැලන්ටඩ් කොල්ලො කෙල්ලො දැක්කාම මම නම් තාමත් වශී වෙනවා. ඩිවයිසස් එක්ක ඉපදුණ අද තාරුණ්‍යය මිනිස්සුත් එක්ක ගනුදෙනු කිරීමේදි ඇතිවන අඩුවපාඩු මම දකිනවා. ඒවා හදාගන්න තමයි අපි වගේ අය එයාලට උදව් කරන්න ඕනෙ.
සමන්, පරිණත කෙනෙක් විදිහට ඔබ කොහොමද අද රටේ ඉන්න තාරුණ්‍යය දකින්නෙ ?
මට නම් ජෙනරේෂන් වෙන්වෙලා පෙන්නෙ නැහැ. මට හැමෝම එකයි. එහෙම දකින එක හොඳක්ද නරකක්ද කියල මට තේරෙන්නෙත් නැහැ. තාරුණ පරම්පාරාව කවුරුහරි නරකයි කියනවා නම් ඒ නරක ඒ වැඩිහිටි පරම්පරාවෙත් තියෙනවා. තරුණ පරම්පරාවේ තියෙන ජවය, නිර්මාණශීලිබව සහ හොඳ වැඩිහිටි පරම්පරාවෙත් තියෙනවා. තනූ කිව්වා වගේ තරුණ පරම්පරාවේ මානූෂීය සම්බන්ධතා දුර්වල වෙලා තියෙනවා කියන එකට මමත් එකඟයි. ඒකට එයාලට විතරක්ම දොස් කියන්න බැහැ.
මගෙ මිනිබිරිය අවුරුදු දෙකේ ඉඳලා ස්මාර්ට් ෆෝන් එක ඔපරේට් කරන්න දන්නවා. ඒක එයාලට සාමාන්‍ය දෙයක්. ඒගොල්ලොන්ගෙ තියෙන අඩුපාඩු අපි ඒ ගොල්ලොන්ට කියල දෙන්න ඕනෙ. සමහරක් විට වැඩිටියෙකුට ෆෝන් එක ඔපරේට් කරන්න බැරි නම් ඒක එයලට කියල දෙන්න ඕනෙ. එහෙම කළොත් තමයි ලෝකේ ලස්සන වෙන්නෙ කියල මම හිතන්නෙ. පරම්පරා තියා ජාතින්වත් මට වෙන් කරලා හඳුනගන්න බැහැ. මට පේන්නෙ ඔක්කෝම එක විදිහෙ මිනිස්සු වගේ. සමාජයේ ජීවත්වෙද්දි අපි එකිනෙකාට උදව් කරන්න ඕනෙ අඩුපාඩු හදාගන්න.
ඔබේ ගෙදර කව්ද ඉන්නෙ
සාමාන්‍යයෙන් මම පෞද්ගලික ජීවිතය ගැන වැඩිය කතා කරන කෙනෙක් නෙවෙයි. ඒක පෞද්ගලිකයි. මම විවාහ වෙලා, මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. ඒ දරුවන්ටත් දැන් දරුවෝ ඉන්නවා.
හරින්දී ලියනගේ ✍️