ලෝකවාසී බෞද්ධ ජනතාව මහත් වූ භක්තියෙන් සමරන ප්‍රධාන ආගමික උත්සවය වන්නේ වෙසක් උත්සවයයි. තථාගතයන් වහන්සේගේ ඉපදීම, බුදුවීම සහ පිරිනිවන් පෑම හෙවත් සම්බුදු තෙමඟුල ඇතුළු බොහෝ බෞද්ධ කාරණා වෙසක් උත්සවය නිමිතිකොට ගෙන ලෝකවාසී බෞද්ධ ජනතාවට වැදගත්වීම ඔවුන් විවිධ ආකාරයේ ආගමික වතාවත්වල නිරත වෙමින් වෙසක් පුන් පොහෝ දිනය හරසරින් සැමරීමට හේතු වී තිබේ.
මීට අමතරව වෙසක් උත්සවය තුළ සුමේධ තාපසයා දීපංකර බුදුරාජානන් වහන්සේගෙන් නියත විවරණ ලැබීම, සිද්ධාර්ථ කුමාරයා ලෙසින් සතර පෙරනිමිති දැකීම, බුද්ධත්වයෙන් පසුව බුදුරජාණන් වහන්සේගේ ඥාතීන් තුළ තිබුණු මාන්නය දුරු කරලීම සඳහා යමාමහා පෙළහර පෑම, බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායකයා වූ ආනන්ද මහා රහතන් වහන්සේ වසර 120 ක් ආයු වළදා පිරිනිවන් පෑම සහ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් වසර අටකට පසුව තෙවන ලංකාගමනය සිදුවීම, විජය කුමරුගේ ලංකාගමනය, දේවානම් පියතිස්ස රජුගේ දෙවන රාජාභිෂේකය පවා වෙසක් පොහොය දිනයක සිදුව ඇති බවට සටහන් මහාවංශ ඉතිහාසයේ සඳහන් වේ.
මෙවර රාජ්‍ය වෙසක් මහෝත්සවය “කළණ ගුණ ඇති උතුම් මිනිසුන් ඇසුරු කරමු” යන තේමාව යටතේ බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශය, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය සහ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව එක්ව නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් නුවරඑළිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන විහාරස්ථානයේදී වෙසක් සතිය තුළ පැවැත් වේ.
ලොව බොහෝ බෞද්ධ රටවල් තිබියදීත් කදිරගාමර් මැතිතුමන්ගේ මැදිහත්වීමෙන් ශ්‍රී ලංකාව වෙසක් පොහොය දිනය ජාත්‍යන්තර නිවාඩු දිනයක් කිරීමේ ගෞරවය හිමි කරගෙන තිබෙන අතර එහෙව් අපි වෙසක් පුන් පොහොය නිමිති කරගෙන ආමිස පූජාවල නිරත වන අතරම බෞද්ධ දර්ශනයෙන් කියාදෙන ප්‍රතිපත්ති පූජාව ජීවිතයට එකතු කරගන්නේ නම් මෙවර වෙසක් පොහොය වෙනුවෙන් අපි ගන්නා හොඳම තීරණය එය වනු ඇති.
ඒ නිසා වැඩිහිටි ඔබ බෞද්ධ දර්ශනයේ පිහිටා ඔබේම දුවා දරුවන්ද එම දර්ශනයට යොමු කරගැනීමේ අධිෂ්ඨානය මේවර වෙසක් පොහොය වෙනුවෙන් ඇති කරගනු ඇතැයි විශ්වාස කරමු. එය ඔබ වෙසක් පොහොය වෙනුවෙන් ගන්නා හොඳම තීරණය බව අනාගතයේ දී දැනෙනු ඇති.
ඔබ සැමට අර්ථවත් වෙසක් මංගල්ලයක් වේවා… !!!