සර්ව ජන ඡන්ද බලය රටක ජනතාවකගේ පරමාධිපත්‍යයයි. එම පරමාධිපත්‍ය බලය නැවත නැවතත් පෙන්වන පළාත් පාලන මැතිවරණය අත ළඟයි. මේ වනවිටත් ජනතාව බලාගෙන සිටින්නෙ ගමේ බලය කාට, කොහොම පැවරේ දැයි යන්නයි. නමුත් ජනතාවට මේ පුංචි ඡන්දය ගැන වාගේ වගක් නැති ගාණයි.
එහෙත් බලයේ සිටින පක්ෂයේ ඇත්තන් කියන්නේ රටට තවත් වැඩ කිරීම සඳහා ගමේ බලයත් ඔවුන්ට ජනතාව ලබා දිය යුතු බවයි. අනෙක් සියලු පක්ෂද විවිධ ස්වරවලින් ජනතාවට කියා සිටින්නේ ගමේ බලයවත් ඔවුන්ට ලබාදී මේ ආණ්ඩුවේ සුද්දය එතැනින් පටන් ගත යුතු බවයි. කවුරුන් කෙසේ කීවත් ජනතාව ගමට හොඳම තීරණය තෝරා ගනු ඇති.
ගම සාදා, නගරය සාදා, පළාත සාදා, රටක් හදන පියවරට ඔවුන් නොපමාව 6 වැනිදා උදෑසන දායක වනුද ඇත. ඒ නිසා මෙතෙක් සිටියාක් මෙන් මේ දින කිහිපයේදීත් ඔබ ඉවසීමෙන් සිටින්න. මැතිවරණය මුවාවෙන් කිසිදු කඩාකප්පල් ක්‍රියාවක් නීති විරෝධී ක්‍රියාවක් ගමේදී හෝ නොකරන්න.
මාස හතකට කලින් පැවති මහ මැතිවරණයේදී බලය ගැනීමට පෙරට ආ පක්ෂ එක හඬින්ම කියා සිටියේ අල්ලස, දූෂණය, නාස්තිය නවතා ජනතා සල්ලි කොල්ලකෑ හොරුන් අල්ලන බවය. අල්ලලා පමණක් නොව හොර සල්ලි මෙරටට ගෙන්නා ගන්නා බවය. අධිකරණයෙන් ඔවුන්ට ලැබිය යුතු උපරිම දඬුවමද ලබාදෙන බවය.
ඒ සියල්ල කනින් අසා බුද්ධියෙන් විමසා දේශපාලනයෙන් හෙම්බත් වූ ජනතාව ජීවිතයේ පළවෙනි වතාවට හොර ලේබලය නොගහ ගත් අණ්ඩුවක් පත් කරගත්තේය. මේ වනවිට ඔවුන්ගේද ඡන්ද කතාවල සැබෑ චිත්‍රය සියලු ජනතාවගේ හදවත් තුළ ඇඳී ඇත. ඒ අනුව කවුරුන් මොන සුරංගනා කතා දැන් කිව්වත් බුද්ධිමත් ජනතාව ගමේ බලය හොඳම අයට පැවරීමට පියවර ගනු ඇත.
ජනතාවට හිමි සර්වජන ඡන්ද බලය පොඩි ඡන්දයක් වුවත් ලොකු ඡන්දයක් වුවත් එය ජනාධිපතිවරණය වුවත් පාවිච්චි කළ යුතුමය. එසේ පාවිච්චි නොකරන සෑම පුරවැසියකුම යම් කිසි අවස්ථාවක දුක්වනු ඇත. ඒ නිසා අපගේ පළමු ඉල්ලීම වන්නේ මැයි හය වැනිදා උදෑසන ඡන්ද පොළට යන්න, අනන්‍යතාව පෙන්වා, ඔබේ වටිනා ඡන්දය ගම හැදීම වෙනුවෙන් පාවිච්චි කරන්න. ඔබේ කැමැත්ත හොඳම කැමැත්ත වනු ඇත.