මෙම සටහන ලියන්න දිනයට පෙර දින එනම් අප්‍රේල් 22 වැනිදා අඟහරුවාදා ලංකාවේ වෙඩි තබා ඝාතනය කිරීම් තුනක් වාර්තා විය. මෙම ඝාතනයන් තුනම කොතැනක, කොහොම, කුමන අරමුණකින් සිදුවුවත් සාමාන්‍ය ජනතාව වශයෙන් අපට එය අනුමත කළ නොහැකියි. මරණය සාමාන්‍යකරණය වීම, රටක සමාජයක විය නොයුත්තකි.
නිමිත්තක් වශයෙන් ගත් කළ අලුත් ආණ්ඩුව බලයට පත්වී ඇති කාලය තුළම සාමාන්‍ය සමාජය තුළ එළිමහනේම මිනිස් ඝාතන කීයක් නම් වාර්තා වී ඇත්ද ? එය සංඛ්‍යාත්මකව තිස් පහකට ආසන්නය. තිස් වසරක් පුරා පැවති ඊළාම් යුද සමයේත් මීට වසර හයකට පෙර සිදුවූ පාස්කු බෝම්බ ප්රහාරයේදීත්, මීට වඩා මිනිසුන් සංඛ්‍යාවක් එකවිටම මිය ගියේ යැයි කෙනෙකුට තර්ක කළ හැකිය.
එය සැබෑවකි. එලෙස මිය ගියේද සාමාන්‍ය වැසියන්ය. එසේ මියගියේ මරාගෙන මැරෙන බෝම්බ කරුවකු යොදා යම් කණ්ඩායමක් තමා පිළිගන්නා විමුක්තියක් වෙනුවෙන් මිනිස් ජීවිත බිලී ගැනීමේ අරමුණ මුදුන් පමුණුවා ගැනීම වෙනුවෙන් ය. නමුත් පසුගිය මාස කිහිපය තුළ තනි තනිව හෝ පුද්ගලයන් දකුණේ ඝාතනය වූයේ එවැනි අරමුණක් ඇතිව නොවේ.
මෙය කළින් තිබුණ තත්ත්වයට වඩා භයානකය. මම, ඔබ වුවද මේ යන ක්‍රමය යටතේ කෙනෙකුගේ ඉලක්කයක් විය හැකිය. එයට ඇතැම්විට පුද්ගලික කෝන්තරයක්, දේශපාලන මත නොරිස්සීමක්, දේශපාලන පක්ෂයකට උදව් කිරීමක්, සමාජයේ වැරදි දේ වෙනුවෙන් පෙනී සිටීමක් වුවත් ප්රමාණවත්ය.
පසුගිය කාලයේ මියගිය, පාතාලයට සම්බන්ධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ පුද්ගලයන් ගැන අපට කතාවක් නැත. ඔවුන්ට නීතියෙන් දඬුවම් නොදුන්නේ නම් යම්කිසි ස්වභාව ධර්මයේ වේගයක් ක්‍රියාත්මක වෙමින් හෝ දඩුවම් ලබා දුන්නේ නම් ඒ පිළිබඳවද අපට කතාවක් නැත. නමුත් මේ කතා කරන්නේ ඊට එහා ගිය මරණය සාමාන්‍යකරණය වී තිබීමේ භයානකත්වයයි. රටක ජාතික ආරක්ෂාව වළපල්ලට යෑමේ භයානකත්වයයි.
අපට බලය දුන්නොත් පාතාලය එක රැයකින් මඩිනවා, ජාතික ආරක්ෂාව පිළිබඳව ටියුෂන් දෙන්න බංකු අරගෙන වාඩිවෙන්න යනුවෙන් කියු හිස් වචන ප්‍රායෝගික ජීවිතයේදී කොතරම් බොළද දැයි දැන් ඔවුන්ට වැටහෙනු ඇත. ඒ නිසා දැන්වත් නිදාගෙන සිටින තැනින් නැගිට ජාතික ආරක්ෂාව තහවුරු කිරීමටත් සාමාන්‍ය ජන ජීවිතය ආරක්ෂා කිරීමටත් පෙරට එන්න.