59 වැනි යුද හමුදා මලල ක්රීඩා තරගාවලියේ අවසන් මහා තරඟ සහ සමාප්ති උත්සවය එළැඹෙන 31 වැනිදා කොළඹ සුගතදාස ක්රීඩාංගණයේදී යුදහමුදාපති ලුතිතන් ජෙනරාල් විකුම් ලියනගේ මහතාගේ ප්රධානත්වයෙන් පැවැත්වේ.
මෙවර පැවැති 59 වැනි ශ්රී ලංකා යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු මලල ක්රීඩා උළෙල සදහා රෙජිමේන්තු 21ක් නියෝජනය කරමින් ක්රීඩක ක්රීඩිකාවන් 575 තරඟ ඉසව් 26ක් යටතේ තරඟ වැදුණහ.
නව තරග වාර්තා හයක් සමගින් 59වැනි යුද හමුදා මලල ක්රීඩා තරගාවලියේ පළමු අදියර පසුගියදා(23 වැනිදා) නිමාවට පත් විය.
තරඟාවලියේ දෙවැනි දිනය අවසන් වන විට ශ්රී ලංකා කාලතුවක්කු හමුදාව පිරිමි අංශයේ පෙරමුණ ගැනීමට සමත්වූ අතර ශ්රී ලංකා කාන්තා බලකාය කාන්තා අංශයේ පෙරමුණේ පසුවිය.
පිරිමි මීටර් 100 සහ 200 ඉසව්වලත්, පිරිමි මීටර් 3000 බාධක දිවීමේ ඉසව්වේත්, කාන්තා මීටර්10000 ඉසව්වේත්, කාන්තා මීටර් 100*4 ඉසව්වේ සහ කාන්තා සත් ප්රයාම ඉසව්වේ දි නව තරග වාර්තා බිහිකිරීමට යුද්ධ හමුදා ක්රීඩක ක්රීඩිකාවෝ සමත් වූහ.
එහිදී ශ්රී ලංකා කාලතුවක්කු හමුදාවේ අරුණ දර්ශන පිරිමි මීටර් 200 ඉසව්ව තත්පර 20.45කින් අවසන් කිරීම මෙතෙක් මෙරට තුළදී ක්රීඩකයෙකු දක්වන ලද හොඳම කාලය වීමද විශේෂත්වයකි.
එම ඉසව්වේ රිදීපදක්කම තත්පර 20.59කින් තරඟය නිමකළ විදුලි හා යාන්ත්රික ඉංජිනේරු බලකායේ කාලිංග කුමාරගේ විසින් දිනාගත් අතර ලෝකඩ පදක්කම ශ්රී ලංකා කාලතුවක්කු හමුදාවේ මොහොමඩ් සෆාන් විසින් දිනාගනු ලැබුවේ තරගය තත්පර20.96කින් තරඟය නිම කරමිනි.
කාන්තා මීටර් 10000 ඉසව්වේ නව තරග වාර්තාවක් පිහිටුවමින් රන් පදක්කමට හිමිකම් කීමට එම තරගය මිනිත්තු35:01:91කින් නිමකළ ශ්රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ එම්.ආර්.වීරසූරිය සමත් විය.
මේ අතර පිරිමි මීටර් 100 ඉසව්ව තත්පර 10.42කින් නිමකර නව තරගාවලි වාර්තාවක් පිහිටුවමින් රන්පදක්කම ශ්රී ලංකා විදුලි හා ඉංජිනේරු බලකායේ වයි.සී.එම්.යෝධසිංහ දිනාගන්නා ලදී.
කාන්තා සත් ප්රයාම ඉසව්වේ නව තරග වාර්තාවක් සමගින් රන් පදක්කම දිනා ගැනීමට කාන්තා බලකායේ ලක්ෂිකා සුගන්ධි සමත් වූ අතර එහිදී ඇය ලකුණු 4426ක ප්රමාණයක් රැස් කරගන්නා ලදී.
කාන්තා මීටර් 100 සහාය දිවීමේ ඉසව්වේ නව තරග වාර්තාවක් පිහිටුවමින් රන් පදක්කම දිනා ගැනීමට ශ්රී ලංකා සංඥා බලකා කාන්තා කණ්ඩායම සමත් වූ අතර එම කණ්ඩායම නියෝජනය කරමින් ටී.ඒ.මුතුකුමාරණ, අමාශා ද සිල්වා, ශෆියා යමික් සහ සුභානි අබේරත්න සහභාගී වූහ.