නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: මගේ අප්පච්චි දැවැන්තයෙක්, ඒ දැවැන්තයාට කූඹි එක්ක ඇරියස් එකක් තිබුණෙ නෑ- මාධවී ඇන්තනි
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
තරු විසිතුරු

මගේ අප්පච්චි දැවැන්තයෙක්, ඒ දැවැන්තයාට කූඹි එක්ක ඇරියස් එකක් තිබුණෙ නෑ- මාධවී ඇන්තනි

Published October 23, 2023

අමරණීය ජෝති, අමරණීය විජය, සිනමා සක්විති ගාමිණී ශ්‍රී ලාංකේය කලා ලෝකෙ අදටත් ඉහළින්ම වැජඹෙන නම්. හැබැයි මේ හැම කලාකරුවෙක්ම අද ඉන්නෙ අපිට නොපෙනෙන වෙනස්ම කලා ලෝකෙක. පහුගිය 09 වැනිදා ඒ නොපෙනෙන කලා ලෝකෙ අලුතින්ම සාමජිකත්වය ලැබුවෙ සකල කලා සක්විති ජැක්සන් ඇන්තනීයන්.

දශක ගණනාවක් පුරා සුවහසක් රසික සිත් අමන්දානන්දයට පත් කළ, ජන මනස දැනුමින් සන්නද්ධ කළ ඒ යෝධ පුරාවෘත්තය සදහටම දෑස් පියාගත්තත් ඒ පුරාවෘත්තය ඉන්ද වූ වෘක්ෂ තුනක් තවමත් හුස්ම ගනිමින් වැඩෙනවා. ඒ මාධවී, අකිල සහ සජිත. පවුලට ඉස්ඉස්සෙල්ලාම එකතුවුණ ලොකුම කෙලී විදිහට අප්පච්චි ගැන තියෙන සුන්දර, දුක්බර හැඟීම් වගේම තරුණ වියේ පටන් කැපකිරීම් ගොන්නක් කරලා ‘ජැක්සන්’ කියන බ්‍රෑන්ඩ් එක ලංකාවට දායද කරන්න වෙහෙසුණු හැටි ආදරණීය දියණිය මාධවීත් බිරිඳ කුමාරිත් අපි එක්ක මෙහෙම බෙදාගත්තා…

ජැක්සන් මහත්මයගේ ගති ගුණ වැඩියෙන්ම පිහිටලා තියෙන්නෙ සජිතට කියල බොහෝ දෙනෙක් කියනවා..

එහෙම කියන්න බෑ. ඇත්තටම ජැක්සන්ට සමානම හැකියාවන් තියෙන්නේ මාධවීට. ජැක්සන්ට වගේම මාධවීට චිත්‍ර අඳින්නත් පුළුවන්. චූටි පුතාට ජැක්සන්ගෙ රංගන, ගායන හැකියාවන් තියෙනවා. ඒ වුණාට ජැක්සන් වගේම පෙනුම, කටහඬ තියෙන්නේ ලොකු පුතාට. තුන්දෙනාම ජැක්සන්, ජැක්සන්, ජැක්සන්ම තමයි.

තමන්ගෙන් පස්සෙ දරුවො තුන්දෙනා තමන්ගේ කාර්යබාර්යය ඉස්සරහට ගෙනියයි කියන බලාපොරොත්තුව ඔහු තුළ තිබුණා නේද?

ඔව්. ජැක්සන්ගෙ ඔළුවෙ තිබුණ බරක් දැන් මගේ ඔළුවෙ තියාගන්න වෙලා. නමුත් එයාලට ඉස්සරහට යන්න මගෙන් ලොකු දෙයක් අවශ්‍ය වෙයි කියල මම හිතන්නෙ නෑ උපදෙස් ඇරෙන්න. මොකද කසාද බැඳපු ලොකු දරුවොනෙ. මම දැඩිව විශ්වාස කරනවා ජැක්සන් තාම මගේ දරුවො තුන්දෙනා එක්ක ඉන්නවා කියලා.

ටිකින් ටික සුවවෙමින් සිටි ඔහුට හදිස්සියේ මෙහෙම වෙන්න හේතුව මොකද්ද?

ජැක්සන් අන්තරා වුණේ විසබීජයක් නිසා ඇතිවුණ නිව්මෝනියා තත්ත්වයකින්. ICU එකට සාමාන්‍යයෙන් රෝගියෙක් බලන්න යන්න දෙන්නෙ නෑනෙ පවුලෙ කීපදෙනෙක්ට ඇරෙන්න. අපි ඉතාම පිරිසිදුව ඒ ක්‍රියාපටිපාටිය කළේ. ඔය විසබීජෙ යනකල් අපි හරිම පරිස්සමෙන් ජැක්සන්ව බලාගත්තෙ. ජැක්සන්ව වෛද්‍යවරු, හෙදියො බලාගත්තෙ හරිම ආදරෙන්. දිගුකාලීනව ඇඳක ඉද්දි හැදෙන රෝගයක්වක් ජැක්සන්ට හැදුනෙ නෑ.

නමුත් ජාතික රෝහලේම ඉන්න යූටියුබ්වලට සම්බන්ධ දොස්තර කෙනෙක් අපේ අවසරයක් නැතුව බොහොම පහත් විදිහට තීරණ අරගෙන ජැක්සන්ව බලන්න යන්න එක එක්නෙකාට ඉඩ දුන්නා. ඒ දොස්තර ලැජ්ජා වෙන්න ඕනෙ මේ කරපු දේ ගැන. එයා ජැක්සන්ට වෙදකම් කරපු කෙනෙකුත් නෙවෙයි. මට රෝහලෙන්ම ආරංචි වුණා ඔය දොස්තර කට්ටියව ඇතුළට යැව්වා කියල ජැක්සන්ව බලන්න.

තව කලාකරුවෙක් කියලා කියගාන්න යූටියුබ් චැනල් එකක් කරන කෙනෙක් ඒ විදිහට ජැක්සන්ව බලන්න ගිහින් දානවා වීඩියෝ එකක් “කුමාරි අක්කේ… මං ගියා ජැක්සන්ව බලන්න. නිකන් බොරු කියන්න එපා” කියල.

කොහොමද එයා එහෙම ජැක්සන්ව බලන්න ගියේ ICU එක ඇතුළට? ඉතින් විසබීජ නොයා තියෙයිද? ජැක්සන්ගෙ ස්වභාවික ගමන මේක නෙවේ කියල මම හිතනවා. එයාට තව ආයුෂ තියෙනවා කියල හැමතැනින්ම කියල තියෙද්දි ඔහු නැතිවුණේ. මට දරාගන්න බැරි ඒකයි. ප්‍රසිද්ධ මිනිස්සුන්ව විකුණගෙන සල්ලි හම්බකරගන්නෙ ඇයි මේ මිනිස්සු?

ජැක්සන්ට කවුරුවත් බන්දේසියක තියල ප්‍රසිද්ධියක් දුන්නෙ නෑ. බොහොම සාමාන්‍ය පවුලක ඉපදිලා අමාරුවෙන් කට්ට කාගෙන ආපු ගමනක ප්‍රතිඵලය තමයි ජැක්සන් ඇන්තනී. එයා මේ තැනට එන්න වෙච්ච මහන්සිය ඉස්කෝලෙ කාලෙ ඉඳන් එයා එක්ක හිටපු මම දන්නවා.

මම ආයුර්වේදය අත්හැරලා දැම්මෙ ජැක්සන්ට කැම්පස් වැඩවලට උදව් වෙන්න ඕන නිසා. නැත්නම් මම අද ආයුර්වේද වෛද්‍යවරියක්. එච්චර කැපකිරීමක් කරලා හදාගත්ත මනුස්සයව විනාස කරන්න තවත් ඉගෙනගත්තු මිනිස්සුම ඉදිරිපත් වුණ එක ගැන මට හරි පුදුමයි. රටේ මිනිස්සු කොච්චර ජැක්සන්ට බැන්නත් මං කාටවත් වෛර කරන්නෑ. හැබැයි මට මේ පුද්ගලයො දෙන්නා ගැන තියෙන්නේ පුදුම තරහක්.

කලාකරුවෙක් වෙනුවෙන් අවසන් ගෞරවය දක්වන්න වැඩිම පිරිසක් පැමිණියේ ජැක්සන් මහත්මයගෙ මරණ ගෙදරට නේද?

ඔව්. යාපනෙන් පවා මිනිස්සු ආවා ජැක්සන්ට අවසන් ගෞරවය දක්වන්න. පවුලෙ කෙනෙක් නැති වුණා වගේ මිනිස්සු ඇඬුවේ. අපි මෙච්චර ජන ගඟක් එයි කියලා කල් ඉඳලම දැනන් හිටියා. ජැක්සනුත් දවසක් කිව්වා “මං මැරච්ච දවසක ලංකාව වටෙන්ම මිනිස්සු මාව බලන්න ආවොත්, ඒ කියන්නෙ මම හරියට ජීවත් වෙලා කියන දේ” කියල. ඒක ඒ විදිහටම වුණා.

අරන්‍යා පුංචි වුණත් ඇයටත් සීයා තාත්තගෙ මතකයක් හිතේ ඇති…

අනේ අරන්‍යාට තවම සීයා තාත්තා මතකයි. එයා නිතරම එයාගෙයි සීයා තාත්තගෙයි චිත්‍ර අඳිනවා. ජැක්සන් හැමදාම අරන්‍යාව වඩාගෙන පාර ගාවට ගිහින් පාරෙ යන එන මිනිස්සු, සත්තු පෙන්නනවා. එයා හිටියනම් අරන්‍යා තව කොච්චර දේවල් ඉගෙනගනීද. එයා දන්නවා සීයාතාත්තා ආයෙ එන්නෙ නැති බව. අපි සීයා තාත්තාව පෙට්ටියකට දාලා වලකට දාලා වැහුව බව. ඒත් එයා ඒ ගැන අඬන්නෙ වැලපෙන්නෙ නෑ ආදරෙන් සීයාතාත්තාව මතක් කරනවා මිසක්.

පවුලේ වැඩිමහල් දියණිය විදිහට අප්පච්චි ගැන දැනෙන හැඟීම ගැන මම මුලින්ම අහන්නම්…

අප්පච්චිට අනුව මම අප්පච්චිගෙ පණ. මටත් දැනෙන්නෙ එහෙමමයි. මල්ලිලා මං එක්ක තරහා වෙන්නෙ නෑ. එයාලත් ඒක දන්නවා.

දියණියක් විදිහට රටක් ආදරේ කළ අප්පච්චිගේ වියෝව දරාගත්තෙ කොහොමද?

දරාගන්න බෑ. හිතාගන්නත් බෑ. අපි හරි අවාසනාවන්තයි කියලා හිතෙනවා. අපි මේ සිද්ධිය ඇතුළේ අසරණ වෙච්ච වාර ගණන මහ ගොඩක්. අප්පච්චිට වුණේ එක අනතුරක් නෙවෙයි. අප්පච්චි මේ සිද්ධිය වෙන මොහොතේදිත් හිතේ ලොකු වේදනාවක, කලකිරීමක හිටියේ. සමාජය තුළ එයා ගැන වැරදි චිත්‍රයක් මවපු මාලිමා ඇඟිලි ගැන. අවසානෙදි ලෙඩ ඇඳ පවා ඔවුන් දේශපාලනික ආයුධ කරගත්තා. නමුත් ඒ දැවැන්තයාට කූඹි එක්ක ඇරියස් නෑ. ඉතිං දරාගන්න බැරි පිළිකුළක් හිතේ ඉතුරු වෙලා තියෙනවා මේ හැමදේම ගැන.

ඔහු කවදකහරි ආයෙත් නැගිටීවි කියන බලාපොරොත්තුව මේ අවුරුද්ද පුරාවටම ඔබ හැමෝ ගාවම තිබුණා…

පළමු අනතුරෙන් පස්සෙ අප්පච්චි ජූලි 18 දක්වා අපි එක්ක හස්ත සංඥාවලින් කතා කළා. පුංචි බෝඩ් එකක ලිව්වා. අපි ලොකු විශ්වාසයකින් හිටියා අප්පච්චි සුවවෙයි කියලා. මොකද එයාගෙ සැත්කමින් පස්සෙ චලනවල ලොකු ප්‍රගතියක් තිබුණා. කතා කරන්න බැරුව හිටියේ එයාට හුස්ම ගන්න බටය දාලා තිබුණේ කටින් නිසා. එදා ඒ බටය ගලවන්න තීරණය කළාට පස්සෙ අප්පච්චිට දැඩි සත්කාර ඒකකයෙදි හුස්ම හිරවුණා. මොළයට හානියක් වෙන්න කලින් යළිත් හුස්ම බටය යොදාගන්න ඒ මොහොතේ බැරි වෙලා. ඒත් මොළය හානි වුණා මිසක් මැරුණෙ නෑ.

අවසන් මොහොත දක්වාම අප්පච්චි සතුටු හිතෙන දෙයක් කිව්වම දත් පෙන්නලා හිනාවුණා. හොඳින් ඇස් ඇරගෙන හිටියා. අපි යනවා කිව්වම කට ඇද කරලා දුක මූණක් පෙන්නුවා. ඈනුම් ඇරියා. කඳුළු ගලමින් ඇඬූ අවස්ථා තිබුණා. ඒවට මං ළඟ තියෙන වීඩියෝ සාක්ෂි. මං මළගෙදර ආපු බොහෝ අයට ඒවා පෙන්නුවා. ඒ අය පුදුම වුණා. මොකද අප්පච්චි කෝමා වෙලා නිද්‍රාශීලී බවින් වැතිරිලා ඉන්නවා කිව්වම එයාගෙ පෙනුම වැහැරිලා කියලා යූටියුබ් වෙළෙන්දෝ කිව්වා. අපි අප්පච්චි වෙනුවෙන් හැමදාම යාච්ඤා කළා. පිරිත් කිව්වා. ඒත් අප්පච්චිව බේරගන්න බැරි වුණා.

අප්පච්චි රෝහලේ හිටි කාලෙ ඔබලා විවිධ වැඩසටහන්වලට යනවා කියල මිනිස්සු විවිධ කතා කිව්වා…

අපි කළේ රස්සාවක්. හරියට ඔයා වැඩට යන්න අඳිනවා වගේ අපි ඒ වැඩසටහන්වලට යන්න සුදුසු විලාසිතාවක් කළා. රඟපෑම රස්සාවක්. ප්‍රසංග වේදිකාවේ සිංදු කීම රස්සාවක්. මෝස්තර නිරූපණය මට රස්සාවක්. සන්නාම ප්‍රවර්ධනයත් රස්සාවක්. අප්පච්චි ලෙඩ ඇඳේ හිටියට බොහෝ මිල අධික බෙහෙත් විටමින් වර්ග අපි අරන් දුන්නා දිනපතා. ඒ වගේම අප්පච්චි ලෙඩ වුණත් අපි අපේ යැපුම් මාර්ගය කරගෙන ගියා දහසක් ගැරහුම් මධ්‍යයේ. මොකද අපේ නිවෙස්වල බිල්, වාහන ලීසිං, වියහියදම් ඉබේ පියවෙන්නෙ නෑනෙ.

මාධවී දුවෙක්ට වඩා යාළුවෙක් වගේ අප්පච්චි එක්ක හිටියා කිව්වොත් මං හරි නේද?

ඔව්. අපි යාළුවො වගේ නෙවෙයි යාළුවෝ තමයි. මං ෆේස්බුක් එකේ ෆොටෝ එකක් දාන්න එඩිට් කළාම ඒක මුලිං යැව්වෙත් අප්පච්චිට හොඳද අහන්න. මගෙ අදහස් මම මුලින්ම බෙදාගත්තෙත් අප්පච්චි එක්ක. අපි රණ්ඩුත් වෙනවා. එයා මට කොල්ලා වගේ මැසේජ් දානවා ‘මං එක්ක තරහද?’ කියලා. මං ඒවා දැන් ආයෙ ආයෙ බලනවා. අප්පච්චි කැමති ගෙදර ඉන්න. උඩුවෙ හාමුදුරුවෝ බණට කිව්වා අප්පච්චි කිව්වලු කාලෙකින් දැක්කෙ නෑ කිව්වම මං වැඩිපුර ගෙදර ඉන්නෙ හාමුදුරුවනේ.. මට එළියට එන්න හිතෙන්නෙ නෑ. එතන පුදුම නිවනක් කියලා.

අප්පච්චි ගැන මේ රටේ මිනිස්සු නොදන්න දෙයක් අද හැමෝටම දැනගන්න කියන්න කියල කිව්වොත්…

මගෙ අප්පච්චි බොහොම නිහතමානී කෙනෙක්. ආදරේ මහ ගොඩක් දුන්නු, අනික් අයගෙ දුක තේරුම් ගත්තු, නවක නිර්මාණකරුවන්ට උදව් කරපු කෙනෙක්. පිරිසක් අප්පච්චිව රටේ වැරදිවලට වැරදිකාරයා කරද්දි අප්පච්චිව පාවිච්චි කරපු පිළේ අයත් ඒ හැම වරදක්ම අප්පච්චි පිටින් දාලා අත හෝදගත්තා. නමුත් බහුතරයක් සාමාන්‍ය මිනිස්සු මගෙ අප්පච්චිට හරි ආදරෙයි. අප්පච්චි හැමදාම කිව්වෙ මම කරන්නෙ වැඩේ හදාගන්න එක මිසක් හිත හදාගන්න එක නෙවෙයි කියලා.

අප්පච්චි කලාව වෙනුවෙන් ජීවත් වෙලා කලා නිර්මාණයක් අතරතුරදීම අනතුරට පත් වුණා. දේශපාලනික සම්බන්ධයක් හේතුවෙන් අප්පච්චි කරගත්තු එකම වාසිය රාගම පොඩි වී කුඹුරේ ඉතා අබලන් වෙලා තිබ්බ මහා මාර්ග ටික සංවර්ධනය කරවගත්ත එක. ඒ නිසයි කාට කාටත් තමුන්ගෙ ළමයින්ව ගේ ළඟින්ම පාසල් බසයට නග්ගන්න පුළුවන් වුණේ. ඒ කාලෙ අපිව ගන්න ඒවා ආවෙ නෑ පාර කැඩිලා කියලා. අපි මහ පාරට පයින් ගියේ.

ඔබ පුංචි කාලෙ ඔහු කළ කැපකිරීම් ඔබට මතකද?

අපිට මුල් කාලෙ තිබ්බෙ පොඩි බයික් එකක්. අම්මා ලෝන් එකක් දාලා තමයි ඒක අරන් තිබ්බෙ. අප්පච්චි දවසක් කඩවත පල්ලමක බයික් එකේ එද්දි එයාගෙ අතේ තිබ්බ මල්ලක් ඉරිලා අල, ලූණු පල්ලම දිගේ රෝල් වෙලා ගියාලු. එයා බැහැලා දාඩිය පෙරාගෙන දුවමින් ඒවා දෝතින් එකතු කළාලු.

ඒක දැකලා ඇවිත් උදව් කරපු කෙනෙක් තමා මේ බව කිව්වෙ. මගෙ රත්තරං අප්පච්චි අන්න එහෙම පුංචිම තැනේ සිට ගොඩනැගිච්ච මිනිහෙක්. එයා අන්තිම මොහොතෙදි පැද්දෙත් air bags නැති 1997 කැබ් එකක්. අලුත් වාහයක් ගන්න එයාට සල්ලි තිබ්බෙ නෑ. කව්රුත් විශ්වාස කරන්නෙ නෑ. මගෙ අප්පච්චි හම්බ කළේ මිනිස්සු මිසක් මුදල් නෙවෙයි.

එරංදි කෞශල්‍යා















 

TAGGED: jackson anthony, madawi anthony
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love1
Sad8
Happy0
Sleepy0
Angry1
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

Miss world කිරුළ මට ලැබුණොත් රටට කීර්තියක් වගේම ඩොලර් ගෙන්නත් පුළුවන්

May 5, 2025

මේ දවස්වල මම අලුත් චිත්‍රපටයක රඟපානවා

April 21, 2025

බැඳපු දවසේ ඉඳලා ගාල්ලේ තමයි අපි අවුරුදු චාරිත්‍ර කරන්නේ.

April 14, 2025

ගෙදර ඉන්න වෙලාවට බලු පැටව් දෙන්නත් එක්ක තමයි වෙලාව ගෙවෙන්නේ

April 7, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?