නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: ෆියුචර් ස්ටාර් තමයි මගෙ ස්ටාර් එක වුණේ – රොහාන් රණතුංග
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
තරු විසිතුරු

ෆියුචර් ස්ටාර් තමයි මගෙ ස්ටාර් එක වුණේ – රොහාන් රණතුංග

Published October 16, 2023

ඉස්කෝලෙ යන කාලෙ විවිධප්‍රසංගයකට ඉංග්ලිෂ් ඩේ එකට ගුරුවරුන්ට අකීකරු වෙන්න බැරිකමට බොහොම අකමැත්තෙන් වේදිකාවට ගොඩ වෙලා පුංචි රංගනයක් ඉදිරිපත් කළාට ඔහු දක්ෂකම් දක්වන්නෙ ක්‍රීඩාවට. කලා අංශයෙන් උසස් පෙළට මුහුණ දීල පාසල් දිවියට ආයුබෝවන් කියද්දි සිහින මවන්නෙ සූපවේදියෙක් වෙන්න. ඒත් දක්ෂකම් දක්වපු ක්‍රීඩාවෙන්වත් සිහින මවපු සූපවේදි රැකියාවෙන්වත් අනාගතය ජය ගන්නට නොහැකි වන්නේ එදා අකමැත්තෙන් ඉදිරිපත් වුණ රංගන ශිල්පය දෛවයේ උරුමය වූ නිසාම වන්නට ඇත.

ඒ ඔස්සේ යන අතරතුර මෑත කාලයේ බොහෝ රසික ප්‍රසාදයට ලක් වූ සංගීතේ ටෙලි සිත්තමේ මැනේජර් මහත්තයාටත් අක්ෂි ටෙලි සිත්තමේ ඉස්කෝලෙ මහත්තයාටත් ජීවය දුන් රොහාන් රණතුංග නම් වූ ඔහු දෙවෙනි ඉනිමේ දෙවන අදිරයට සම්බන්ධ වෙමින් තවත් කාර්යබහුල පරිච්ඡේදයක් අරඹන්නට සූදානම් වන අල්ල පනල්ලේ ‘නවලිය’ සමගත් කතාබහක නියැළුණා…

චෙෆ් රොහාන් රණතුංග වෙන්න ගිය ඔබ නතර වුණේ රංගන ශිල්පී රොහාන් රණතුංග කියන තැන

අන්න ඒකෙන් මම විශ්වාස කරනවා මේ ජීවිතේ තුළ හැමදේම සිද්ධ වෙන්නෙ අපිට ඕන විදියට නෙමෙයි දෛවයට අනුව කියලා. මම ඉගෙන ගත්තෙ පන්නල ජාතික පාසලෙන්. ඒ කාලෙ අද ළමයි වගේ අපි ගාව ටාගට් තිබුණෙ නෑ ඉදිරිය ගැන. අපේ ආච්චිට අම්මගෙ අම්මට ඕනම කෑමක් හරිම රසට හදන්න පුළුවන්. ඒ වගේම ඇය නිතරම විවිධ කෑම වර්ග හදනවා. ඒ දේවල් දැකලම තමයි මටත් හිතුනෙ කවදහරි චෙෆ් කෙනෙක් වුණොත් හොඳයි කියලා. ඒ සඳහා මම ඒෂියන් හොටෙල් ස්කුල් එකට යොමු වෙලා පාඨමාලාවකුත් හැදෑරුවා හෝටල් රැකියාවකට යන්න.

ඒත් අද නියැළෙන රංගන කලාව හැදෑරුවේ නැහැ

රංගනයට යොමු වෙනවා කියන එක හිතේ කොණකවත් තිබුණ දෙයක් නෙමෙයිනෙ. පන්නල අපේ ගෙවල් අවට බොහොම හිතවත්ව ජීවත් වුණ පවුල් කීපයක්ම හිටියා. ඒ එක ගෙදරකට ගන්නවා සරසවිය පත්තරේ. විවේකයක් තියෙන වෙලාවට ඉතින් මමත් සරසවිය ඉල්ලගෙන කියවනවා. එහෙම වෙලාවක තමයි දැක්කෙ “ෆියුචර් ස්ටාර්” කියලා අනාගත තරු තෝරන තරගයක් සඳහා තරුණ තරුණියන්ට ෆොටෝස් එවන්න කියලා දාල තිබුණ දැන්විමක්. කියවලා බැලුවට පස්සෙ පිංතුරයක් යවන්නත් හිතුනා ඒත් ඒ ගැන පුංචි ලැජ්ජාවකුත් හිතේ ඇති වුණා.

කොහොම හරි මම පත්තරේ ඉල්ලගන්න ගෙදර හිටපු ශශී කියන නංගි කිව්වා අයියගෙ පෙනුම හොඳයිනෙ මේකට ඇප්ලිකේෂන් දාන්න කියලා. ඇප්ලිකේෂන් එක දාලා සතියකින් ලේක්හවුස් එකට එන්න කියල ප්‍රවීණ ඡායාරූප ශිල්පී ටෙනිසන් එදිරිසිංහ මහතා අපේ ඡායාරූප ගත්තා.

එයින් සතියක් දෙකක් ගත වෙද්දී මගේ ඡායාරූපයක් සරසවියේ පල වුණා.මාස කීපයක් ගත වෙද්දි තරගය අවසන් වෙලා ගෙදරට ලියුමක් ආවා අවසන් දහ දෙනා අතරෙ මමත් ඉන්නව ලේක්හවුස් එකට එන්න කියල. එදා එවකට සරසවිය කර්තෘ ගාමිණී සමරසිංහ මහත්මයා හමුවුණා.

රංගනයට එකතු වෙන්න අපිට අවස්ථාව දෙන බව තේරුම් කරලා මාව මුලින්ම යොමු කළේ නිමල් ජයවීර මහත්මයගෙ ටෙලිනාට්‍යයකට. බොහොම ආසාවෙන් ගියත් ඒ නාට්‍යය කෙරුණෙ නෑ.එතනදී මට හඳුනා ගන්නට ලැබුණා පාලිත තෙන්නකෝන් කියන නිෂ්පාදන කළමනාකරුව ඔහු මාව ටිවී කමර්ෂල් එකකට යොමු කළා. ලංකා බෙල් කමර්ෂල් එකට පෙනී සිටිමින් තමයි මම රංගන දිවිය ආරම්භ කළේ.

ආකර්ෂණීය ටෙලි සිත්තමකට ආරාධනා

ඔව්. ඒ සරත්මධූ මහත්මයගෙ චිත්‍රකතාවක් ඇසුරින් නිපද වූ ඉතින් ඊට පස්සෙ නාට්‍යය. ගාමිණී සමරසිංහ මහත්මයගෙ මාර්ගයෙන් හිමි වූ ඒ අවස්ථාව මගේ රංගන දිවියේ හැරවුම් ලක්ෂ්‍යය විදියට තමයි මම සලකන්නෙ.

කොහොමද ලැබුණ ප්‍රතිචාර

ඉතින් ඊට පස්සෙ විකාශය වෙද්දි තමයි මග තොටේදී බොහෝ දෙනෙක් මාව හඳුනගෙන තව කෙනෙකුට පෙන්නන්න පටන් ගත්තෙ මේ අර නාට්‍යයේ ඉන්න කෙනානෙ කියල. යන යන තැනදි ගමේ අයත් අහනවා ඒ උඹ අර නාට්‍යයේ හිටිය නේද කියල. අන්න ඒ කසුකුසුව ඒ කාලෙ හිතට ලොකු සතුටක් ගෙනදෙන කාරණයක් වුණා.

එතනින් පස්සෙ

එහි දෙවන කොටස වූ බොඳ මිදුම් නාට්‍යයෙත් චරිතයකට මට ආරාධනා ලැබුණා. එහි මගේ චරිතයටත් හොඳ ප්‍රතිචාර හිමි වුණා. ඒ කාර්තුව ගෙවිල නැවත මම පීක් එකට එන්නෙ සකුගේ කතාවෙ ගණන් සර්ගෙ චරිතය හරහා.

ආධුනික රංගන ශිල්පියෙක් විදියට රංගනයෙන් උපයන දේ ජීවත් වෙන්නට ප්‍රමාණවත් වුණාද?

ඇත්තටම ඒ ආධුනික බව නිසා බොහෝ වෙලාවට ලැබුණෙම සුළු චරිත. ප්‍රධානම දේ දෙන මුදල ලබාගන්නවා හැරෙන්නට එදා අපට මිලක් නියම කරගෙන නිර්මාණයකට සම්බන්ධ වෙන විදිහේ වාතාවරණයක් තිබුණෙ නැති එක. ඒ නිසා මම කාලයක් එයාර්පෝට් එකේ ඩියුටි ෆ්‍රී ශොප් එකක වෙළඳ විධායක නිලධාරියකු ලෙස රැකියාවක් කළා.

ඒ හරහා රංගන කටයුතුවලට බාධා එල්ල වෙන්නත් ඇති

නැහැ. ශිෆ්ට් එකට වැඩ කරපු නිසා කාලය කළමනාකරණය කරගෙන රංගන කටයුතු අත්නොහැර ඒවාට සම්බන්ධ වුණා.

පුංචි තිරයට පස්සෙ හැම කෙනෙකුගෙම සිහිනය රිදී තිරය

මමත් ඒ සිහිනය තුළ ජීවත් වෙමින් සිටියදී 2018 වසරේ තේජා ඉද්දමල්ගොඩ මහතාගේ ආශාවරී චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් වූ කාවිංග කියන හමුදා නිලධාරියාගේ චරිතය මට ලැබෙනවා. ඒ හරහා තමයි මගේ සිනමා සිහිනය සැබෑ වුණේ. එතැනින් පස්සෙ ප්‍රියන්ත කොළඹගේ මහත්මයගෙ සූරිය සුළඟ චිත්‍රපටයේ උප පොලිස් පරීක්ෂක චරිතයක් ලැබෙනවා.

පෙනුමෙන් ළාමක ඔබ හමුදා, පොලිස් චරිතවලට කොටුවෙන අවස්ථා වැඩියි කිව්වොත්

මම හිතන්නේ ඒකට හේතුව නිෂ්පාදකවරු වගේම අධ්‍යක්ෂවරු මා තුළින් යම් සැරපරුෂ බවක් දකිනවා ඇති.

අද දවස ගෙවන්නෙ කොහොමද?

අද වෙනකොට මම පූර්ණ කාලීනව රංගන කටයුතුවල යෙදෙන අතරෙ කොච්චර කාර්යබහුල වුණත් සැමියෙක්, තාත්ත කෙනෙක් කියන චරිත දෙකේ වගකීම් ඉටු කරන්නෙ බොහොම සතුටින්.

රොහාන් කියපු ඒ කතාව ඇත්තද කියල දැනගන්න අපි ඔහුගේ බිරිඳ ලසන්ති එක්කත් ටිකක් කතා කළා…

ඔව් ඒක ඇත්ත. රංගන කටයුතු නිසා මොනතරම් කාර්යබහුල වුණත් එයා අපි ගැන හොයල බලල එයාගෙන් වෙන්න ඕනේ යුතුකම් අකුරටම ඉටුකරනවා.

ඒ කියන්නෙ නළුවෙක් එක්ක පවුල් කන එක ලේසියි…

එහෙමමත් නෑ ඉතින්. කා එක්ක වුණත් පවුල් කන එක හිතන තරම් ලේසි නෑ. හැබැයි දෙන්නට දෙන්න තේරුම් ගත්තම ඒ ජීවිතේ අපහසුත් නෑ. රොහාන් රංගන ශිල්පීයෙක් බව දැනගෙනනෙ මම එයා එක්ක විවාහ වුණේ. ඒ තුළ මට ඔහු හා ජීවත්වීම අපහසු කාර්යයක් නෙවෙයි.

රොහාන් කොහොමද  ලසන්තිගෙ ජීවිතයට ආවෙ

මගේ හොඳම යාළුවෙකුගේ හස්බන්ඩ්ගෙ යාළුවෙක් තමයි රොහාන්. මුලින්ම එයාව අඳුරගත්තේ ඒ හරහා. ඊට පස්සේ අපි ටික ටික කතා බහ කළා පස්සෙ ඉතින් මම මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වැඩ කරද්දී එයා නිතර නිතර ඔෆිස් එකට ආව ගියා. ඒ යාළුකම තමයි අපිව එක වහළක් යටට ගේන තරමට දුර දිග ගියේ.

නළුවෙක් නිසා අනාගත සහකරු ලෙස ඔබ ඔහුව තෝරාගත්තා…

මුල් කාලෙ මම ඒ ගැන දන්නෙම නෑ. මොකද මම ටීවී බලන කෙනෙක් නෙමෙයි. ඒ නිසා එයාගෙ රඟපෑම් මම කවදාවත් දැකල තිබුණේ නෑ. හැබැයි රඟපානව කියල එයා කිව්වට පස්සෙ මම ටීවී බලන්න පටන් ගත්තා.

ඒ යොමුවීමත් එක්ක ඔහුගේ හොඳම විවේචිකාව ඔබ වෙනවා…

ඒක ඇත්ත. රංගන ක්ෂේත්‍රය ගැන මට ලොකු අවබෝධයක් නොතිබුණත් තේරෙන තරමින් මම එදා වගේම අදත් වෙනස් විය යුතු තැන එයා එක්ක කතා බහ කරනවා.

සූපවේදියෙක් වෙන්න සිහින මවපු සැමියාගෙන් ඉවුම් පිහුම් කටයුතු වලට ලොකු සහයෝගයක් ලැබෙනව ඇති නේද?

උයන්නෙ පිහන්නෙ නම් එයාට හිතුනොත් තමයි. විශේෂ කෑම වර්ග හදන්න ගොඩක් කැමතියි. ගෙදර දොරේ ඕනම වැඩක් කරල දීල ලොකු සහයෝගයක් දක්වනවා. ඒත් වැඩක් කරන්න කියලා කියනවට අකමැතියි.

කවදහරි දවසක රංගනයට එකතුවෙන්න සැමියා ආරාධනා කළොත්

ඒ ආරාධනාව එයාගෙන් මට ඕන තරම් ලැබිල තියෙනවා. නිතරම කියනවා හොඳ වැඩක් සෙට් වුණොත් අපි දෙන්නම එකතු වෙලා කරමු කියලා.

ඒ කියන්නෙ ඔබ රංගනයට සූදානම් ඇත්තටම මේ ෆීල්ඩ් එක හොඳයි.

අවස්ථාවක් උදා වෙලා ඒකට ඔහුගෙන් අවසරය ලැබුණොත් බොහෝවිට ඒ සඳහා යොමු වේවි.

ධම්මික හේවාවසම්

TAGGED: acting, rohan ranathunga
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy1
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

Miss world කිරුළ මට ලැබුණොත් රටට කීර්තියක් වගේම ඩොලර් ගෙන්නත් පුළුවන්

May 5, 2025

මේ දවස්වල මම අලුත් චිත්‍රපටයක රඟපානවා

April 21, 2025

බැඳපු දවසේ ඉඳලා ගාල්ලේ තමයි අපි අවුරුදු චාරිත්‍ර කරන්නේ.

April 14, 2025

ගෙදර ඉන්න වෙලාවට බලු පැටව් දෙන්නත් එක්ක තමයි වෙලාව ගෙවෙන්නේ

April 7, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?